ජාතික උද්ධමනය සෘ​ණ 4.0% දක්වා පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සෘණ 4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය සෘණ 1.0% සිට සෘණ 2.5% දක්වා පහළ ගොස් තිබෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ආහාර නොවන උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සෘණ 2.9% සිට සෘණ 5.2% ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

67b85153aee48pdf_page_4

සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු 07 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊට අමතරව වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රියදුරා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය අවසර ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුගේ නම වැරදියට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුගේ නම  මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් සඳහන් තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ දසුන් පෙරේරා සඳහන් කළේ, ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් නොවන බවයි.

මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එක් පුද්ගලයෙකු නොව, පුද්ගලයින් දෙදෙනකු බවත් මේ හේතුවෙන් මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ පවුලේ ඥාතීන්ට නීතිමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද ගැටලු රැසකට මුහුණපෑමට සිදුවී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස නීතිඥවරුන්ට දන්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉදිරි කාලය තුළ පාතාලය අවසන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති

ඉදිරි කාලය තුළ පාතාලය අවසන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා යම් කාලයක් ගතවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවන බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67b725f9d4894pdf_page_0

IMF විධායක මණ්ඩලය පෙබරවාරි 28 රැස්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන පෙබරවාරි 28 දින රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහිදී ශ්‍රී ලංකා රජයේ 2025 අයවැය යෝජනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට කොපමණ ආකාරයකින් අනුකූල වන්නේද යන්න වග තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තුන්වන සමාලෝචනයට අනුමැතිය ලැබුණහොත්, එක්සත් ජනපද ඩොලර් මිලියන 333ක පමණ මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පවතින උණුසුම් කාලගුණය සමඟ ජලය ප්‍රවේශමෙන් භාවිතා කරන්න – ජල සම්පාදන මණ්ඩලය

මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන් හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එසේම, උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින්, එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සම සේ බෙදාහැරිය යුතු බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පෙන්වා දෙනවා.

එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවම කොට, අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

දැන් හරි අපි ඉදිරිපත් කරලා තිබ්බ සමාජ, වෙළඳපො​ළ, ආර්ථික ක්‍රමවේදයට එකඟ වෙච්ච එකට අපි සන්තෝස වෙනවා – හර්ෂ

පසුගිය ආණ්ඩුව හා වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය තුළ කිසිඳු වෙනසක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව පෙර රජයයන් හඳුන්වාදුන් සමාජ, වෙළඳපොළ, ආර්ථික ක්‍රමවේදයට වත්මන් ආණ්ඩුව මේ අවස්ථාවේදී හෝ එකඟවීම ගැන සතුටු වන අතර, එය ජයග්‍රහණයක් ලෙස දකින බවයි අද (17) අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජාතික ජන බලවේගය මෙය වටහා ගැනීමට තිබුණේ දශක ගණනාවකට පෙර බවත්, එය එසේ වූයේ නම් මෙවැනි අවුල්කාරී තත්ත්වයක් ඇති නොවන බවත්, රට සාර්ථකව ඉදිරියට ගොස් තිබෙනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පාන්පිටි මිල පහළට

හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාන්පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කරන බවයි එම සමාගම් නිවේදනය කරන්නේ.

මේජර් තනතුරින් පහළ සියලු යුධ හමුදා සෙබළුන්ගේ පාස්පෝට් රෙජිමේන්තුවට භාරදෙන ලෙස නියෝගයක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් තනතුරට පහළින් සිටින සියලුම සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදෙන ලෙසට නියෝග කර තිබෙනවා.

පරිපාලන කටයුත්තකට අදාලව මෙම පියවර ගෙන ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් ක⁣ළේ.

ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය මත ඕනෑම වෙලාවක නැවත එම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෙබළුන්ට හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදෙස් රටක සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ බිරිඳ දිවයිනට රැගෙන එයි

විදෙස් රටක සැඟව සිට අත්අඩංගුවට පත් වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ බිරිඳ මෙරටට රැගෙන විත් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඊයේ (15) රාත්‍රියේ අදාළ සැකකරුවන් මෙරටට රැගෙන ආ බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67b16add19e2dpdf_page_0