හැමෝම බලන් ඉන්නේ ආණ්ඩුව වැටෙනකම් – ඩඩ්ලි සිරිසේන

රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම රජයට තනිව සිදුකළ නොහැකි බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

සියලු දෙනා බලා සිටින්නේ වත්මන් ආණ්ඩුව වැටෙන තුරු බවත්, නමුත්, වැටෙන්නේ පාලකයින් කවුරුත් නොව රටේ සමස්ත ජනතාව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුවට සියලුම දෙනා සහයෝගය ලබාදිය යුතු බවද ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කර සිටියා.

අත පය ඇති, ඇස කන පෙනෙන සියලු දෙනා වැඩ කර උපයාගත යුතු බවත්, සෑම දේශපාලඥයාම ටික කාලයක් යන විට නිකම් කන්න දීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම රට වැටීමට හේතුවක් බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Online වැඩකරන අය​ට පසුගිය රජ​ය දාලා තිබ්බ 30% බද්ද අපි 15% ට අඩු කළා – ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

මෙරට සිට විදේශයන්ට සේවා අපනයනය කරන පුද්ගලයින් සහ ආයතන සඳහා පසුගිය රජය 30% ක බද්දක් පැනවීමට IMF සමඟ එකඟතාවයකට එළැඹ තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

ඒ අනුව වත්මන් රජය විසින් IMF සමග සාකච්ඡා කර එය 15% ක් දක්වා අඩු කිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙක් කතා නොකරන බවයි ඊයේ (25) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ලෝකයේ මේ වන විට ගෝලීය අවම බදුකරණය (Global Minimum Taxation) ලෙස ප්‍රවණතාවයක් ඇති බවත්, එම බදු අය නොකරන්නේ නම් අදාල සේවා සපයන්නන් හට අසාධාරණ වාසියක් ලැබෙන බවට සළකා අදාල සේවාව ලබාගන්නා රටෙන් එම බදු ප්‍රමාණය අය කර ගන්නා බවත් එසේවීමට ඉඩ නොදී අදාළ බදු මුදල මෙරටට ලබාගැනීමට මෙම බද්ද පනවා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙම බද්ද පැනවීමට කටයුතු කළේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් සමඟ සාකච්ඡා කර බවත් සියලුදේම සිදුකර ඇත්තේ පදනමක් අනුව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙලෙස අය කරගන්නා බදු මුදල හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවා අපනයනකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදලක් පිහිටුවීම, ඇප නොමැතිව ණය ලබාදීමේ වැඩපිළිවෙලක්, ඔවුන් සඳහා සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත් මේ හරහා ලබාගන්නා බදු මුදල්වලින් රුපියලක් හෝ අපතේ නොයවා නැවත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සංවර්ධනයට වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් Masood Imad අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහ කොමසාරිස්වරයා, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳව ද සතුට පළ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ඉෂාරාගේ මව සහ සොහොයුරා රඳවා ප්‍රශ්න කරන බව අධිකරණයට දැනුම්දෙයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ මව වන සේසත්පුර දේවගේ සමන්ති සහ සොහොයුරා වන පිංපුර දේවගේ චමිඳු තිවංක වීරසිංහ යන අය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් භාවයක් තිබූ බවත්, ඔවුන් තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සිද්ධියට පෙර වෙඩික්කරුගේ Messenger ගිණුමෙන් උසාවිය අසල දී “සංජීවට ගහනවා” යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොයුරාට පණිවිඩයක් එවා තිබූ බවත්, වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව “වැඩේ ඉවරයි” යනුවෙන් තවත් පණිවිඩයක් එවා ඇති බවත්, එසේම ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කිරීම සිදු කර ඇත්තේ අත්අඩංගුවට ගෙන තිබෙන සිය මවගේ බැංකු ගිණුම හරහා බවත්, ප්‍රහාරයෙන් පසුව ඇය මීගමුව ප්‍රදේශයේදී රෙදි මිලදී ගෙන ඇත්තේද ඇයගේ මවගේ බැංකු ගිණුම හරහා බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙච්චර වැඩි කරන්න කොහෙද මුදල් තිබුණේ කියලාත් අහනවා – නලින්ද ජයතිස්ස

අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඔවුන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මෙම මූලික වැටුප වැඩි කිරීම හරහා කිසිදු පුද්ගලයෙකුගේ වැටුප අඩුවීමක් සිදු නොවන බවයි අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම වැටුප් වැඩි කිරීම ලබාදෙන්නේ අදියර තුනකින් බවත්, එසේ වුවත් දීමනා සඳහා ගණනය කිරීම් සිදු කරන්නේ වැඩි වූ සම්පූර්ණ මූලික වැටුපටම බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පෙර පැවති ආණ්ඩුවලින් මූලික වැටුප් වැඩි කිරීමක් සිදු නොකළ බවද, වත්මන් ආණ්ඩුව විසින් මූලික වැටුප වැඩි කළ පසු මෙවැනි වැටුප් වැඩිවීමක් ලබාදීමට මුදල් කොහින්දැයි ප්‍රශ්න කරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර පත් කෙරේ

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර පත්කර තිබෙනවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් ඔවුන් සිය පත්වීම් ලිපි ලබා ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67bc6dd33cb45pdf_page_0

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නැහැ – ජනපති

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් ක්‍රියාත්මක වන බවත් පොදු මහජනතාවගේ ආරක්ෂාවට එය තර්ජනයක් බවට පත්ව නොමැති බවයි අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම පාතාල කණ්ඩායම් දීර්ඝ කාලයත් තිස්සේ වර්ධනය වී ඔවුන්ගේ සම්බන්ධතාවයන් විවිධ ආයතන දක්වාම පැතිරගොස් ඇති බවත් එය විනාශකාරී ජාලයක් දක්වා වර්ධනය වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එය මැඩ පැවැත්වීම සඳහා දැඩි උත්සාහයක් දරණ බවත් දේශපාලන රැකවරණයක් නොමැති නිසා මෙය මැඩපැවැත්විය හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එසේම මෙය හුදෙක් පාතාල කල්ලි අතර ගැටුමක්ද නැතහොත් කවර හෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කොට මෙහෙයවනවාද යන සැකය ගොඩනැගෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කාරක සභාවල විපක්ෂයේ නියෝජනය වැඩි කිරීමට අවධානය

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා කාරක සභාවල නියෝජනය වැඩිකිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින ලද කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (22) පවත්වා තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීම් පිළිබඳව පසුගිය 19 වන දින කථානායකතුමා විසින් සභාවට නිවේදනය කළ අතර මේ පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය සභානායකවරයා විසින් කථානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබූ ලිපිය මෙහිදී සභාවට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් කාරක සභාවල විපක්ෂයේ සංයුතිය තවදුරටත් වැඩිකිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් පිළිබඳව සාධනීය ලෙස සලකා බලා ඒ සම්බන්ධයෙන් වූ රජයේ තීරණය ඉතා කඩිනමින් ලබා දෙන බව ද සභානායකවරයා මෙම රැස්වීමේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අර්ජුන් ඇලෝසියස්ට නිදහස හිමිවෙයි

සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු අද (22) නිදහස් කර තිබෙනවා.

ඒ අනුව රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ඔවුන්ට මාස 4 ක සිර දඬුවමක් නියම වී තිබුණා.

අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැර ඇති බවයි වාර්තා වෙන්නේ.

කොටහේන ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මරුට

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා විමර්ශන අතරතුර දී පොලිසියට වෙඩිතැබීමට තැත් කිරීමේදී පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී සැකකරුවන් දෙදෙනාම මියගොස් ඇති අතර තුවාල ලැබූ නිලධාරියෙකු ද රෝහල්ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.