වෛද්‍ය වර්ජනය අත්හිටුවීමට තීරණය කෙරේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි  සඳහන් වෙන්නේ.

හෙට පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය අයවැය තෙවනවර කියවීමේ අවසන් දිනය වන මාර්තු 21 වනදා දක්වා කල් තබන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පාසල් දරුවන් සහ වාර ප්‍රවේශපත්‍ර ඇති අය මග හරින රියදුරන් ගැන 1958 අංකයට දැනුම්දෙන ලෙස ඉල්ලීමක්

පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය කරන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම්දෙන ලෙස අමාත්‍ය බිමල් රත්නායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඕනෑම පුරවැසියෙකුට ඒ සම්බන්ධයෙන් අදාළ අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.

මෙම කරුණ පිළිබඳව තමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

නුගේගොඩ සිට නිරුවතින් යතුරු පැදි​යෙන් ගිය තරුණයෙක් කඩුගන්නාවේදී අත්අඩංගුවට

නිරුවතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, කඩුගන්නාව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කළ බවයි ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ඔහුව මනෝ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීමටත් නියෝග කර තිබෙනවා.

විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා ඇරඹෙයි

විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස 18 වනදා සිට දින 10 ක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

සමාරම්භක දිනයේ දළදා ප්‍රදර්ශනය පස්වරු 3.00 ට ආරම්භ වී පස්වරු 5.00 ට අවසන් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව සෙසු දිනවලදී දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට හිටපු බුද්ධි අංශ නිලධාරි දෙදෙනෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී තිබූ අතර සිද්ධියට අදාළව මීට පෙර හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.

රට තුළ කිසිඳු තෙල් හිඟයක් නැහැ, ඇතිවෙන්න ඉඩ දෙන්නෙත් නැහැ – අනිල් ජයන්ත

මෙරට තුළ කිසිඳු තෙල් හිඟයක් නොමැති බවත්, තෙල් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.

යම් වෘත්තීය සමිති කණ්ඩායමක් විසින් ලබාදුන් ප්‍රකාශයක් හරහා මෙම ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බවයි අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බෙදුම්කරුවන් ඉන්ධන ඇනවුම් සිදු කරන්නේ තනි තනිව බවත්, කිසිඳු අවස්ථාවක වෘත්තීය සමිතියක් ලෙස ඉන්ධන ඇනවුම් සිදු නොකරන අතර සාමාන්‍යයෙන් දවසකට ඇනවුම් 1200 ක් ලැබුණද මෙම දින දෙකට පමණක් ඇනවුම් 1800 ක් පමණ ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වෙළඳපොළ තුළ හිඟයක් මවා, යම් අනවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා නම්, එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත්වෙ

අද (28) මධ්‍යම රාත්‍රියෙන් පසුව තෙල් බෙදුම්කරුවන් ඛණිජ තෙල් බෙදා ඇනවුම් කිරීමෙන් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්නේ සංගමය පවසනවා.

ඒ අනුව පවතින ඛණිජ තෙල් බෙදා හැරීම පමණක් සිදුකරන නමුත් තෙල් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකරන බවයි අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ.

ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වනවිට හිමිවන 3% ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමට එරෙහිව මෙම පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියා හා බහරේන් තානාපතිවරුන් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවී තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස වයි.කේ.ගුණසේකරගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.

එසේම බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එස්.එස්. දිසානායකගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනපති සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර හමුවක්

රුපියල් බිලියන 1400 ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%- 4% ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බවයි දිස්ත්‍රික් ලේකම්වරු සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කෙහෙල්බද්දර පද්මේගේ බිරිඳගේ නිවස වීඩියෝගත කළ දෙදෙනා මාර්තු 06 දක්වා රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේගේ බිරිඳගේ පන්නල පිහිටි නිවස විඩියෝගත කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් දෙදෙනා මාර්තු මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (27) නියෝග කර තිබෙනවා.

එම නිවැසියන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට ලද තොරතුරකට අනුව පන්නල පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී අදාළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.