අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය ජනපති විසින් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියන්ට පිරිනමයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහ නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියන් වෙත පිළිගන්වා තිබෙනවා.

මෙම සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මේ සඳහා මහ නාහිමිවරුන්, ජනාධිපති අනුර කුමාර දිසානායක, මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් සැඟව සිටිනවා නම් ඔහුගේ දේපළ පවරාගන්නවා – සුනිල් වටගල

මේ වන විට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් ඔහුගේ දේපළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පවසනවා.

ඒ අනුව ඔහු තවදුරටත් සැඟව සිටින්නේ නම් ඔහුට එරෙහිව ගැනීමට නීතියේ ප්‍රතිපාදන තිබෙන බවයි අද (09) මෝදර පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු නීත්‍යානූකූල කටයුත්තක් සිදු කර ඇත්නම් සැඟව සිටීමට කිසිඳු හේතුවක් නොමැති බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට අඩුමිලට නව මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට පියවර

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බව පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර සඳහන් කළා.

එමගින් රජයට හිමිවන බදු ආදායම අහිමි වී ඇති අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වැලිගම පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කෙරේ

වැලිගම පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

2023 වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරනවා – ජනපති

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා, අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පිරිනමමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පසුගිය කාලය පුරා අප රටේ කාන්තා දින සැමරුම් පවත්වමින්, බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟූ බවත්, නමුත් වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවූ බවයි ඔහු සඳහන් කරන්නේ.

ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩ නැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත් වන බව ද, ඒ මහා කාර්යයට රජයක් ලෙස කෘතගුණ පෙරළා පිරිනමන බව ද, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර තබා ඇති බවද ජනාධිපතිවරයා සිය කාන්තා දින පණිවුඩය මගින් පෙන්වා දෙනවා.

සාකච්ඡාවට පමණක් බඳුන් වූ කාන්තාවගේ දේශපාලන නියෝජනය, සහභාගිත්වය සහ භූමිකාව ඉහළ නංවමින් පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් විසි දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වීම මෙරට දේශපාලනයේ හැරවුමක් බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව “සියලු කාන්තාවන් හා ගැහැනු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම” යන තේමාව යටතේ “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” යන ‍තේමාවෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව සිහිපත් කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටින්නේ.

නිල නිවේදනය පහතින්.

news images

2024 අවසන් කාර්තුවේ විදුලිබල මණ්ඩලයේ ලාභය 99%කින් පහතට

පසුගිය 2024 දෙසැම්බර් 31 දිනට අවසන් වන කාර්තුව තුළදී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ අනුව, 2024 දෙසැම්බර් 31 දිනට අවසන් වන කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රු. බිලියන 111.80 ක් ලෙසින් වාර්තා වී ඇති අතර, එය 2023 සමාලෝචිත කාර්තුවේ ආදායම් අගය වූ රු. බිලියන 156.25ට වඩා 28% ක පහළ යාමක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එසේම 2023 දෙසැම්බර් කාර්තුවේදී රු. බිලියන 78.22 ක් ලෙසින් සටහන් වී තිබුණු මණ්ඩලයේ දළ ලාභය පසුගිය කාර්තුව තුළදී රු. බිලියන 4.49ක දළ අලාභයක් දක්වා 106% කින් පහළ ගොස් තිබෙන අතර, මණ්ඩලයට රු. බිලියන 3.04 ක මෙහෙයුම් අලාභයක් විඳ දරා ගැනීමට පසුගිය 2024 අවසන් කාර්තුවේදී සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2024 දෙසැම්බර් කාර්තුව තුළදී වාර්තා කර ඇති ශුද්ධ ලාභය රු. මිලියන 603ක් වශයෙන් වාර්තා වී ඇති අතර, මෙය 2023 අවසන් කාර්තුවේ ශුද්ධ ලාභ අගය වූ රු. බිලියන 77.97ට වඩා 99% ක පහළ යාමක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මණ්ඩලයේ ආදායම පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.

news images

විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට මෛත්‍රීගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳව තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

වසර 05ක කාලය තුළ තමා විසින් රුපියල් මිලියන 384ක් වියදම් කර ඇති බවට පෙනී ගියද, ඇතැම් රාජ්‍ය නායකයන්ගේ මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවයි නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

2015 සිට 2019 දක්වා තමා විසින් කරන ලද විදේශ සංචාර සියල්ලම සඳහා තමා සහභාගි වූයේ තමාට ලද ආරාධනා අනුව, රාජ්‍ය සංචාර හා නිල සංචාර වශයෙන් බවත්, එම සෑම සංචාරයකදීම රටේ ජනතාවට වාසියක් වන ආකාරයේ ගිවිසුම් 300කට වඩා අත්සන් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මඟින් සඳහන් කර තිබෙනවා.

එම සංචාර කිසිසේත් තමාගේ විනෝදයට ගිය ඒවා නොවන බවත්, තමා විසින් සිදුකර ඇති නිල විදේශ සංචාර සඳහා වැය වූයේ යැයි ප්‍රකාශ කර ඇති රුපියල් මිලියන 384ක මුදලට වඩා එම නිල සංචාරවලදී රටට ලැබුණු ආර්ථික වාසිය රුපියල් කෝටි සිය ගණනකට වඩා විශාල බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news imagesnews images

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබෙනවා.

කොල්ලුපිටිය හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතර මෙම පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම මාර්ගයේත් කාර්යාල දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය කල් දමයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය ලබන 17 වනදා දක්වා කල් දැමූ බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තියට ද බලපාන බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර තිබුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ වන්දි අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව අධිකරණයට දැනුම්දෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුකර තිබෙනවා.

නීතිමය මූලධර්මයන්ට අනුව වන්දි අය කර ගත යුත්තේ ඊට වගකිව යුතු නෞකා කාර්ය මණ්ඩලයෙන් හා එය අයත් සමාගමෙන් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, එම වන්දි අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් පරිසරයට මෙන්ම ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ.