මිහින්තලා පුද බිමේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය,පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් වැඩ බලන පොලිස්පතිවරයාලට ලිපියකින් දන්නා ඇත.

පොලිස්පති,
ප්‍රියන්ත වීරසූරිය මහතා,
331 ඕල්කට් මාවත,
06 වන මහල,
කොළඹ.
2025.03.15.

පොලිස්පතිතුමනි,

මිහින්තලා පූජාභූමියේ ආරක්ෂාව සම්බන්ධවයි.
ලක්දිව බුදු දහම ප්‍රතිෂ්ඨාපනය කළ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය යනු අමිල වූ පුරාවිද්‍යා ස්මාරකයන් සහිත දිනපතාම දෙස් විදෙස් ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වන උතුම් ස්ථානයකි. මීට වසර 2333 කට පෙර මෙරට විසූ රාජරාජමහාමාත්‍යාදීන් ඇතුළු ලක්වැසි සියලු ජනයා බෞද්ධ දර්ශනයේ හර පද්ධතිය චරිතායනය කර ගනිමින් ස්වකීය ජීවිතවල පරිවර්තනීය වෙනසක් ළඟා කර ගත්තේ මේ පින්බිම කේන්ද්‍ර කරගෙන ඇතිවූ බෞද්ධාගමික සංස්කෘතිකමය වෙනස හරහාය. එවැනි ඉතා සුවිශාල අතීත වටිනාකමක් ඇති මෙම පින්බිම හා පින්බිම වන්දනා කිරීමට හා දැක බලා ගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අතීතයේ පටන් දිවි හිමියෙන් කැපවී ක්‍රියා කළ පිරිස බොහෝය. එහිදී පූජා භූමියේ පෞරාණික ස්මාරක සහිත ස්ථානයන් සේම පූජාභූමිය දැක බලා ගැනීමට හා වන්දනා කිරීමට පැමිණෙන දෙස් විදෙස් ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සහයෝගය සුළුපටු නොවන බව මා සිහිපත් කරන්නේ කෘතඥතා පූර්වකවය.
උක්ත සඳහන් කළ අයුරින් අතීතයේ දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මිහින්තලා පුණ්‍ය භූමිය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූවද මීට වසර කිහිපයකට පෙර සිට පූජා භූමිය කෙරෙහි දක්වන්නේ කුඩම්මාගේ සැලකිලිය. මිහින්තලේ පොලිස් ස්ථානය යටතේ මෙම පූජා භූමියෙහි ආරක්ෂාව සැලසෙන අතර වර්තමානය වන විට මෙම ආරක්ෂක කටයුතු දැඩි ලෙස පැහැර හරිමින් ක්‍රියා කරන ආකාරය දැකගත හැකිය. මා විසින් කොතෙකුත් මේ ගැටලු පිළිබඳව මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු ඒ ඒ අදාළ නිලධාරීන්ට හා පාර්ශවයන් වෙත අවස්ථා කිහිපයකදීම කරුණු ඉදිරිපත් කළ ද එය මේතාක්ම බිහිරි අලින්ට වීණා වාදනය කරන්නාක් හා සමාන වූ නිශ්ඵල කරුණක්ම විය.
මිහින්තලේ පොලිස් ස්ථානයට අනුබද්ධව රාජමහා විහාර මැදමළුව පොලිස් මුරපොළ හරහා උඩමළුවෙහි පිහිටා ඇති ධාතු මන්දිරය, සේල චෛත්‍යය සහිත ප්‍රධාන මළුව, මිහිඳු මහා සෑය හා මිහින්තලා මහා සෑය, මැදමළුව, මැදමළුව රථ ගාල හා මාර්ග බාධකය, මැදමළුවට යන මාර්ගයේ ඇති රථ ගාල හා මාර්ග බාධකය, කළුදිය පොකුණ, රාජගිරි ලෙන් කන්ද, කටු සෑය, ප්‍රධාන පඩිපෙළ ආරම්භයේ ඇති රථ ගාල හා මාර්ග බාධකය, පඩිපාමුල ඇති මුර කුටිය, වතුර මල අසල ඇති රථ ගාල ආදී සියලු තැන්හි ආරක්ෂාව වෙනුවෙන් නිලධාරින් යෙදවීම මීට වසර කිහිපයකට පෙර දී නිවැරදිව සිදුවිය. නමුත් වර්තමානයේ දී ඒ කිසිදු ස්ථානයකට ප්‍රමාණවත් පරිදි නිලධාරීන් සේවයට නොයොදවා ක්‍රියා කරන අයුරු දැකගත හැකිය. මෙම ස්ථාන වලින් කිහිපයකට හෝ රාජකාරියට නිලධාරීන් යෙදවූව ද එම අතලොස්සක් වූ නිලධාරීන්ම විශේෂ රාජකාරී සඳහා යෙදවීමට කටයුතු කිරීම හේතුවෙන් අදාල ආරක්ෂක නිළධාරීන් නොමැතිවයාම නිසා මෙහි ආරක්ෂාව දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් කළ යුතුය.
වර්තමානයේ රටෙහි බොහෝ ප්‍රදේශවලින් වාර්තාවන විවිධ අපරාධ හා මනුෂ්‍ය ඝාතන පිළිබඳව සලකා බැලීමේදී මෙම ඓතිහාසික ස්ථානය තුළද එවැනි ක්‍රියා සිදු නොවනු ඇතැයි සහතික කළ නොහැකිය. ඊට කදිම නිදර්ශනය වන්නේ මෑතකදී මිහින්තලා පියගැටපෙළ අසලදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි වලට සම්බන්ධ යැයි පවසන අපරාධකරුවා සම්බන්ධ සිදුවීමයි. එම සිදුවීමෙන් පැහැදිලි වන්නේ පාතාලයට සම්බන්ධ අපරාධ පවා දැන් දැන් මෙම පූජා භූමිය තුලද සිදුවෙමින් පවතින බවයි.
මං පහරන්නන්, මාල කඩන්නන්, ස්ත්‍රී දූෂකයන්, මස් පිණිස සතුන් මරන්නන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ආදී බොහෝ අපරාධකරුවන්ගේ අපරාධවලට නිදහස් තෝතැන්නක් බවට මිහින්තලා පූජාභූමිය පත්වෙමින් තිබීම පිළිබඳව මා අතිශය කණගාටුවට පත්වෙමි. අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමන්ගේ දැනුවත් කිරීම් ලෙස පූජා භූමිය තුළ සවි කර තිබූ ‘රථ වාහන නවතා තැබීම තහනම් – රථ වාහන ඇතුළු වීම තහනම්’ ආදී දැනුවත් කිරීමේ පුවරු පවා ත්‍රී රෝද රථවලින් පැමිණ ජනතාව විසින් පටවාගෙන සිය නිවෙස් වලට රැගෙන ගොස් ඇත. ප්‍රදේශවාසී ඇතැම් ජනතාව වර්තමානය වන විට මිහින්තලය පොලිස් ස්ථානය හා එහි සේවයෙහි නියුතු ඇතැම් නිලධාරීන් පිළිබඳව දක්වන ආකල්පය හා ගෞරවය පිළිබඳව එයින් මනාව පැහැදිලි වේ. පොලිස් නිලධාරීන් කෙරෙහි ජනතාව තුළ තිබිය යුතු යහපත් වූත්, සදාචාරමත් වූත්, ආකල්ප දිනෙන් දින හීන වෙමින් පැවතීම කණගාටුදායකය.
එසේම පූජා භූමිය සම්බන්ධයෙන් ලබා දී ඇති පොසොන් කමිටු තීරණ බොහොමයක් මිහින්තලා පුරාවිද්‍යා කලාප කාර්යාලය භාර නිලධාරියා හා එම කම්කරුවන් විසින් අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන අයුරු දැක ගත හැකියි. පොලිසිය විසින් යොදා ඇති මාර්ග බාධක ගලවා හොර රහසේ ඉවත් කිරීම සම්බන්ධයෙන් මිහින්තලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින් සංවර්ධන කමිටුවේදී මේ සියලු බාධකයන් ඉවත්කොට සියලු මාර්ගයන් විවෘත කරන ලෙස මිහින්තලේ රථ වාහන පොලිසියට දැන්වූ බවයි. පොසොන් කමිටු රැස්වීම් වලදී සාකච්ඡා කර තීන්දු කරගත් එම තීන්දු තීරණයන් සංවර්ධන කමිටුවේදී වෙනස් කළ බවට විහාරාධිපති හිමියන් වන මා හට හෝ දැනුම් නොදීම හාස්‍යජනකය. එම මාර්ග බාධක ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට ඇතැම් වාහන ස්මාරකයන් උඩ පවා ඒවාට හානි වන අයුරින් හා අගෞරව වන අයුරින් ගාල් කර තිබෙන අයුරු දැකගත හැකිය. ජනතාවගේ සහ පූජා භූමියේ ආරක්ෂාව පිණිස පොසොන් කමිටු රැස්වීම් වලදී නීත්‍යානුකූලව ලබාගත් එම තීන්දු තීරණයන් වෙනස් කරමින් ජනතාවගේ හිතසුව පිණිසම යැයි සලකා සංවර්ධන කමිටු රැස්වීමේදී ලබාගත් ආරක්ෂාව පිණිස ස්ථාපනය කර තිබූ මාර්ග බාධක ඉවත් කිරීම පිළිබඳව මාගේ කිසිදු විරෝධතාවක් නොමැති අතර පුරාවිද්‍යා ස්මාරකයන් සහිත පුරාවස්තූන්වල හා ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව මින් ඉදිරියට වගකීම පැවරෙන්නේ මිහින්තලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරීන් හට ද? මිහින්තලේ පුරාවිද්‍යා කලාප භාර නිලධාරිතුමා ඇතුළු සේවකයන් හට ද? එසේත් නොමැතිනම් කුමන පාර්ශ්වයකට ද? යන්න පිළිබඳ මා හට පවතින්නේ ප්‍රශ්නාර්ථයකි.
මෙවැනි ඇතැම් පුද්ගලයින්ගේ අත්තනෝමතික හැසිරීම් හේතුවෙන් ජනතාව නීතිය කෙරෙහි පවතින විශ්වාසය අවතක්සේරු කිරීමට පෙළඹීමක් මෙන්ම පොලිසිය හා ජනතාව අතර පවතින අන්‍යෝන්‍යය අවබෝධය හා විශ්වාසය පළුදු වීමට හේතුවක් ද වනු ඇත.
ඇතැම් අවස්ථාවන්වලදී අප විසින් දරන්නා වූ යම් යම් අදහස් පදනම් කරගනිමින් සමාජයේ විවිධ මතවාද ගොඩනැගුණ නමුදු ඒවායෙන් ඉහළ නිලධාරීන් වෛරය පිරිමසා ගැනීමට කටයුතු නොකළ පසුබිමක, ප්‍රාදේශීය වශයෙන් පවතින ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා ආදියෙහි සේවය කරන ඉහල නිලධාරියාගේ සිට කම්කරුවා දක්වාම පෞද්ගලික මතිමතාන්තර පෙරටු කරගනිමින් මා හට රිදවීමට හැකි යැයි සිතා සිදුකරන නිෂ්ඵල උත්සාහයන් හේතුවෙන් අගතියට පත්වන්නේ මා නොවන බව ද තරයේ සඳහන් කරමි. ඒ හේතුවෙන් ස්ථානයෙන් හා ජනතාවගෙන් පළිගැනීම කෙතරම් අශිෂ්ට සම්පන්න හැසිරීමක් වන්නෙහි ද?
මා විසින් මෙම කාරණා පිළිබඳව ඔබතුමන්ව දැනුවත් කිරීමට අදහස් කළේ මිහින්තලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා හා එම නිලධාරීන් හට කොතෙකුත් මේ පිළිබඳව දැනුවත් කළ ද ඒ වෙනුවෙන් කිසිදු සහනදායී පිළිතුරක් මේ ගැටලු වෙනුවෙන් මේතාක් ලබා නොදීමට අපොහොසත් වීම නිසාය. මිහින්තලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු වගකිවයුතු නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් ලිස්සා යාමේ ආඳා න්‍යායක් අනුගමනය කිරීම හේතුවෙන් මේ ගැටලු පිළිබඳව ඔබතුමාව දැනුවත් කිරීමට පෙළඹුණු බව නැවත නැවත සිහිපත් කරමි.
පූජා භූමියේ හා මහජනතාවගේ ආරක්ෂාව හා ගෞරවය පිණිස පමණක්ම මා විසින් මෙම කරුණු ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධයෙන් මා හට ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමට හෝ පෞද්ගලික අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට කිසිදු අදහසක් හෝ යටි අරමුණක් නොමැති බවද සිහිපත් කරන්නෙමි.
අවසන් වශයෙන් මා සඳහන් කරනුයේ, මිහින්තලයේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් හා ඇතැම් වගකිවයුතු නිලධාරීන් විසින් මේ වන විට අපරාධකරුවන්ට පාරාදීසයක් ලෙස නිර්මාණය කර දී ඇති මෙම වටිනා පින්බිම තවදුරටත් කෙළෙසීමට ඉඩ නොතබා ජනාධිපතිතුමන් හා ආරක්ෂක ඇමතිතුමන් ආදී වගකිවයුතු පාර්ශවයන්ද මේ පිළිබඳ දැනුවත් කර පූජා භූමියේත් මහජනතාවගේත් පුරාවිද්‍යා ස්මාරකයන්ගේත් ආරක්‍ෂාව තහවුරු කිරීමට සුදුසු ක්‍රියාමාර්ගයක් කඩිනමින් ගනු ඇතැයි විශ්වාස කරන අතර පූජාභූමියට හෝ වන්දනාමාන කිරීම සඳහා දෛනිකව පැමිණෙන දෙස් විදෙස් ජනතාවට යම් වූ හෝ කරදරයක් පීඩාවක් ඇති වුවහොත් එහි සියලු වගකීම මිහින්තලේ පොලිස් ස්තානාධිපතිවරයා විසින් භාරගත යුතු බවටත් සිහිපත් කරන්නෙමි.
තෙරුවන් සරණයි!

මෙයට සසුන් ලැදි,
ඓතිහාසික මිහින්තලා රාජමහා
විහාරාධිපති හා භාරකාර

පාසල් සිසුන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව හෙට (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වන දා දක්වා දීර්ඝ කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු 17 දක්වා රිමාන්ඩ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටයි අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට

අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මියගොස් තිබෙනවා.

අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නෑ – අතිරේක සොලිසිටර් ජනරාල්

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ කරුණු සලකා බැලීම අද (12) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුකෙරුණා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවත්, ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

තම සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදෙන්නේ නම්, ඔහු විමර්ශනවලට සහායවීම සඳහා අධිකරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද නීතීඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළ නමුත්, ඔහු පසුගිය පෙබරවාරි 27 වනදා සිට අධිකරණය මග හරිමින් මගහැර සැඟවී සිටින පුද්ගලයෙක් බවත්, ඔහු පොලිස්පති ධූරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නොවන පුද්ගලයෙක් බවයි.

එසේම මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදුකිරීමට ගිය බවට සඳහන් කළ ද, එය සැක සහිත බවත්, W15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනී ගොස් තිබෙන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

අදාළ සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයාට පොලිස්පතිවරයා ලෙස ඔහු මැදිහත් වී පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබාදී ඇති බවත්, පසුව එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා දැනුවත් කර, තවත් ලක්ෂ 25 ක මුදලක් ලබාදී තිබෙන බව අනාවරණය වී ඇති බවත්, එවක මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන ටිරාන් අලස්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකියි – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පවත්වා තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින්, ඒවා ඵලදායීව යෙදවීම පිළිබඳව සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති හැකියාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික, සමාජීය, පාරිසරික සහ භෞතික වශයෙන් ඒකාබද්ධ සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කෙහෙළියගේ බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝගය ඉවත් කිරීම ගැන නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කෙරේ

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන්නේ ද? නැති ද? යන තීරණය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය දැනුම් දී තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අරගල සමයේ තම සේවාදායකයාගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු රුපියල් ලක්ෂ නවසිය පනහක වන්දි මුදල හා ඔහුගේ විශ්‍රාම වැටුප දැනට අධිකරණය මගින් තහනමට ලක් කර තිබෙන තම සේවාදායකයාගේ පාර්ලිමේන්තු බැංකු ගිණුමට බැර වී තිබෙන බවයි සඳහන් කර ඇත්තේ.

අදාළ බැංකු ගිණුමට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙන අතර, එම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි අධිකරණය එහිදී දැනුම් දී ඇත්තේ.

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්.කේ.එස්.යූ. ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු හා ඒ. ප්‍රේමශංකර් යන තිදෙනා අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 09ක් තුවාල ලබයි

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ බූම් ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

තුවාල ලැබූ අය මීරිගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.