ඉන්දීය අගමැති අප්‍රේල් 5 දිවයිනට

එළැඹෙන අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ලන්ඩන් සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවා අද ක්‍රියාත්මක නොවන බව දැනුම්දෙයි

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද පැය 12:50ට පිටත් වීමට නියමිතව තිබූ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ පැය 20:40 ට පිටත් වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ.

එමෙන්ම හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

පාසල් සිසුන්ට පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝ කරයි

2025 වර්ෂයට අදාළව පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන අප්‍රේල් 10 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

ශානිගේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් මස 16 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

මෙම පෙත්සම ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම ඔක්තෝම්බර් මස 16 වැනිදා කැඳවන ලෙසයි නියෝග කර තිබෙන්නේ.

මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක් – අතිරේක සොලිසිටර් ජනරාල්

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව තම සේවාදායකයා අභියාචනාධිකරණය ඉදිරියේ නඩුකරයක් ගොනුකරමින් සහනයක් අපේක්ෂා කළ බවත් එය ප්‍රතික්ෂේප වූ වහාම අද පෙරවරුවේ අධිකරණයට පැමිණ භාර වූ බවයි සඳහන් කළේ.

සැකකරු පොලිස්පතිවරයා වශයෙන් “යුක්තිය” යනුවෙන් විශාල මෙහෙයුමක් කළ බවත් එහිදී අපරාධ ක්‍රියාවලට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වන විටත් බන්ධනාගාරගත කර තිබෙන අතර සැකකරු බන්ධනාගාර ගත කළහොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු විය යුතු බවත් තම සේවාදායකයා ඕනෑම කොන්දේසියක් මත ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිට තිබෙනවා.

මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම ඉල්ලීමට දැඩි ව විරෝධය පළ කර තිබෙනවා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ “”ස්වාමීනී… අද පෙරවරුවේ මට ආරංචියක් ලැබුණා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන මේ සැකකරු ටයිකෝට් වලින් සැරසි බෙන්ස් රථයකින් ඇවිත් මාතර උසාවිය තුළ වාඩිවෙලා ඉන්නවා කියලා. ඒක සැලවීමෙන් පසුවයි මා මේ අධිකරණයේ පෙනී සිටින්න තීරණය කළේ. මේ මෝසම ගැන අපට දැනුම්දීමක් නොකර හොර පූසා වගේ උසාවියට ඇවිත් පාලු ගෙයි වලන් බිඳලා ඇප අරගෙන යන්න මේ සැකකරු හිතාගෙන ඉන්න ඇති. මම උසාවියට එන අවස්ථාවෙත් මේ සැකකරු ටයිකෝට් වලින් සැරසිලා ඉදිරිපෙළේ බංකුවක වාඩිවී සිටියා. ස්වාමීනී මම අහන්න කැමතියි. මොහු බංකුවක වාඩිවෙලා ඉන්නේ කොහොමද? ඔහු සිටිය යුත්තේ කූඩුවේ. මොහු අපරාධකාරයෙක්. අපරාධකරුවෙකු උසාවියට එන්න ඕනේ බිම දිගේ බඩගාගෙන. මෙහෙම සිංහ ලීලාවෙන් ඇවිත් ඉන්න බෑ. මොහු ෆෝන් ඕෆ් කරගෙන යටිකූට්ටු ගේම් ගහමින් දින විස්සක් පමණ අධිකරණය මගහැර හැංගිලා සිටියා. සංවිධානාත්මක අපරාධකරුවන් හැටියට සැලකෙන මාකඳුරේ මදුෂ්, හරක් කටා වැනි අපරාධකරුවන්ටත් නොදෙවෙනි පුද්ගලයෙක් තමයි මොහු. ඒ වගේම මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහු උසාවියට ආවේ නහය ළඟටම වතුර ගලාගෙන ආවට පස්සේ. මේ සැකකරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ ඔබතුමාවයි. ඔබතුමා අධිකරණ ශාලාවේ දොර අගුළු වහගෙන කුමන්ත්‍රණය කරනවා කියලත් ඒ පෙත්සමේ චෝදනා කර තිබුණා.” යනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් වරයා සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා” ස්වාමීනි..මේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඔබතුමා නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ප්‍රභාකරන් හොයනවා වගේ විශාල පොලිස් කණ්ඩායමක් මොහු සොයා මෙහෙයුම් ආරම්භ කළා. මොහුට තිබෙන සමාජ බලයත් ආගමික බලයත් පාවිච්චි කරගෙන ඊයේ දවස වනතුරු මොහු හැංගිලා හිටියා. මේ සැකකරු පදිංචිව සිටින ලිපිනය ලෙස දාලා තිබිච්ච ලිපිනයේ ඉන්නේ හාමුදුරු නමක්. පසුගිය දින කීපයේදීම මෙයා ගැන පොලිසිය නිලමේවරු, දේශපාලකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කළා. මොහු ඩීල් දාලා තියෙන්නේ ඒ වගේ පුද්ගලයොත් එක්කයි. මේ සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී මත්පැන් බෝතල් 795 ක් සොයාගෙන තිබෙනවා. කෝටියකට වඩා වටිනා මත්පැන් බෝතල් සොයාගත්තා. හැම්පර් විතරක් එකසිය ගානක් තිබ්බා. රජයේ සේවකයින්ට තුටු පඬුරු ලබාගන්න බැහැ. එසේ නම් ඔහු ඒවා ලබා ගත්තේ කොහොමද? මොහුගේ නිවස ගෙයක් නෙවෙයි ඒක ඉස්කාගාරයක්. කිසිම දේපළක් මොහුගේ නමට ලියාපදිංචි වෙලා නැහැ. එහෙත් ඔහුට ගෙවල් අටක් පමණ තිබෙන බව අපි හොයාගෙන තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක් කියලා.” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් වරයා මෙම සැකකරු අධිකරණය මගහැර කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකු බවත් සමාජයට පණිවිඩයක් දිය හැකි තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිට තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මොහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කරන බවට නියෝග කර තිබෙනවා.

ආයේ නම් පක්ෂ වෙනුවෙන් පාරට බහින්නේ නෑ, මම ඉගෙන ගත්ත පාඩම හොඳටම ඇති – දමිතා

තමා අවුරුදු 43ක් පුරා කලාවෙන් දිනාගත් දේ දේශපාලනය නිසා අවුරුදු දෙකහමාරක් තුළ නැතිව ගිය බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා.

ඒ අනුව, තමා මේ විට දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී ඇති බවත්, මිනිසුන්ට සේවය කිරීමට දේශපාලනය කිරීමටම අවශ්‍යතාවක් නොමැති බවයි අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

තමා මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පාරට බැසීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත්, පක්ෂ වෙනුවෙන් යළිත් ඉදිරිපත් නොවන බවත්, ඉගෙනගත් පාඩම හොඳටම ප්‍රමාණවත් බවයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

අද රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමක්

අද (18) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවත්, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩිතැබීමක්

කොළඹ ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලටත්, අනුරාධපුරය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලටත් එම වැසි තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

බටලන්ද වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද වාර්තාව තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව එම වාර්තාව මඟින් තමාට ඇති චෝදනාව වන්නේ අමාත්‍යවරයා ලෙස පොලිස් අධිකාරීවරයා මඟින් පොලිස් නිලධාරීන්ට බටලන්ද නිවාස සංකීර්ණයේ නිවාස ලබාදීම සුදුසු නොවන බවත් නිවැරදි ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට අදාළ නිවාස භාරදී ඔහු හරහා නිලධාරීන්ට නිවාස ලබාදීම බවයි අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

අදාළ ක්‍රියාව නිසා තමා සහ නලීන් දෙල්ගොඩත් අනියමාකාරයෙන් වගකිව යුතු බවට කොමිෂන් වාර්තාවේ සඳහන් වන බවත් ඒ හැර අදාළ වාර්තාවේ දැක්වෙන වෙනත් කිසිඳු කරුණක් තමාට අදාළ නොවන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කළ බවත් ඒ අවස්ථාවේ රටේ ආර්ථික මරමස්ථාන ආරක්ෂා කිරීමේ වගකීම හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට පැවරූ බවද ඔහු සඳහන් කළා.

බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය, වෙළඳ කලාපය ඇතුළු ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් එම ප්‍රදේශයේ පැවති බවත් එහි ආරක්ෂාවට හමුදාව කැඳවූ බවත් එහි ආරක්ෂක අංශවලට රැදී සිටීමට ලංකා පොහොර නිෂ්පාදන සංස්ථාවට අයත් අතහැර තිබූ නිවාස හා ගොඩනැගිලි කිහිපයක් ලබාදීමට තීරණය කළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

එවක පැවති භීෂණ කාලයේදී සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහරදී ස්ථානාධිපතිවරයා මරා දැමූ බවත් එම අවස්ථාවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති රංජන් විජේරත්න තමාට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පැවති නිවාස කිහිපයක් ලබාදෙන ඉල්ලීමක් කළ බවත් ඉන් අනතුරුව තමා ඈවරකරුට කතා කර අදාළ නිවාස කැළණිය පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩට ලබාදීමට පියවර ගත් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව 1994 ජනාධිපතිවරණයෙන් පසු බටලන්ද ප්‍රදේශයේ වදකාගාරයක් තිබුනේදැයි සෙවීමට කොමිසමක් පත්කළ බවත් ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳවූ අතර තමාද සාක්ෂිකරුවෙකු ලෙස එයට සහභාගී වූ බවත් බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් පදනම් කරගෙන බවයි ඔහු පවසා සිටින්නේ.

එමෙන්ම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු 25 කින් පසුව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමේ සම්ප්‍රදායක් මෙරට හෝ කිසිඳු විදේශ රටක නොමැති බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.