Cute වෙනුව​ට ඉංග්‍රීසි භාෂාවට නව වචනයක් හඳුන්වාදෙයි

අතිශයින් හුරතල් යමක් හෝ හුරතල් යමෙකු දුටු විට ඇති වන හැඟීම පළකිරීම සඳහා Oxford ශබ්දකෝෂය නව වචනයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව “Gigil” යන වචනය මෙලෙස හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පිලිපීනයේ ‘ටගාලොග්’ භාෂාවෙන් මෙම වචනය උපුටාගෙන තිබෙන බව සඳහන්.

Oxford ශබ්දකෝෂයේ වචන 600,000 කට වඩා අඩංගු වන අතර, එය ලෝකයේ ඉංග්‍රීසි භාෂාව සඳහා වූ වඩාත්ම පුළුල් ශබ්ද කෝෂවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.

ණය කියන්නේ හරියට සමහර ගෑණු ළමයි වගේ, හොඳට ඉන්නකම් හොඳයි, නරක් වුණොත් නරකටම නරකයි – සුනිල් හඳුන්නෙත්ති

මෙරට කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් ණය අර්බුදයකට මුහුණ දී සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

රට තුළ පැවති අර්බුදයන් සහ අසංවිධානාත්මක ව්‍යාපාර කර්මාන්ත ක්‍රමයත් හේතුවෙන් ‍රට තුළ ව්‍යාපාර කර්මාන්ත විශාල ප්‍රමාණයක් බිඳ වැටී ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ව්‍යාපාරිකයින් ණය අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා සෑම මසකම බැංකුවල ප්‍රධාන නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවද, එයින් හොඳ ප්‍රගතියක් ලබා ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රාජ්‍ය අනුග්‍රහය යනු ණය නොවන බවත්, ණය යනු හරියට සමහර ගෑණු ළමයින් වාගේ බවත්, ‘හොඳට ඉන්නකම් හොඳයි, නරක් වුණොත් නරකටම නරකයි’ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අපිට දැන් තියෙන්නේ ගම සුද්ද කරන වැඩේ – එරංග ගුණසේකර

රටේ ජනතාව ජාතික වශයෙන් පාර්ලිමේන්තුව ශුද්ධ කළ අයුරින්, මෙවර පළාත් පාලන මැතිවරණයේදී තිබෙන්නේ ගම පිරිසිදු කිරීම බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව තිබෙන්නේ රටේ ජනතාව සමඟ බවත්, නගර සභාවල හා ප්‍රදේශීය සභාවල ද බලය ජනතාව අතට ලබාගත යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ වෙනුවෙන් ජනතාව ඉතාමත් උනන්දුවෙන් මැදිහත්වෙමින් ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සත්ත්ව සංගණනයේ වාර්තාව 28 වැනිදා ප්‍රකාශ කරනවා – කේ.ඩී. ලාල්කාන්ත

සත්ත්ව සංගණනයට අදාළ සමස්ත වාර්තාව 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

එය සම්පූර්ණයෙන්ම නිරවුල් වාර්තාවක් ලෙස ගත නොහැකි බවත්, තවත් කීප අවස්ථාවකදීම සංගණන කටයුතු සිදුකළ යුතු බවයි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ.

‘වන සතුන් කළමනාකරණය’ යන මාතෘකාව ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වන බවද, මෙරට තුළ එවන් මාතෘකාවක් ක්‍රියාත්මක නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කළමනාකරණය කිරීමට නම් සතුන් පිළිබඳ ගණනය කිරීමක්, නිශ්චිත ඉලක්කමක් අවශ්‍ය වන බවත්, ඒ සඳහා කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

ආරම්භක පියවරේදී සියල්ලම සම්පූර්ණ වන්නේ නැතිමුත් මෙයින් සාපේක්ෂ පිළිතුරක් ලබා ගැනීමට හැකිවනු ඇති බවත්, එමගින් සත්ත්ව කළමනාකරණයට අදාළ පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදන යෝජනාවට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, A බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 414,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Lanka IOC PLC වෙත ප්‍රදානය කිරීමටත්, B බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 389,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Chevron Lubricants Lanka PLC වෙත ප්‍රදානය කිරීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

පාතාල කල්ලි අතර ගැටුමක් සිදුවෙන්නේ, ඒකෙන් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

ජනතාවගේ ආරක්ෂාව රජය විසින් සහතික කර ඇති බවයි අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වන විට සිදුවෙමින් ඇත්තේ පාතාල කල්ලි අතර ගැටුමක් බවද, එමගින් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු සිදු කරමින් ඇති බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වසරේ කිසි ලෙසකත් වාහනවල බදු අඩු වෙන්නේ නෑ – දුමින්ද හුලංගමුව

මෙම වසර තුළ වාහන ආනයන බදු සංශෝධනක් සිදු නොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පවසනවා.

මේ හේතුවෙන් මෙම වසර තුළ වෙළෙඳෙපොළේ වාහන මිල ගණන්වල ද වෙනසක් සිදු නොවනු ඇති බවයි ඊයේ (24) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

අදාළ බදු මේ වනවිට ගැසට් කර ඇති බවද, එම බදු සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බවද දුමින්ද හුලංගමුව සඳහන් කළා.

වාහන ආනයනය හරහා රජය බලාපොරොත්තු වන බදු ආදායම් ඉලක්කයට යාමට හැකි වේ යැයි බලාපොරොත්තු වන බවත්, වාහන ආනයනය හරහා රුපියල් බිලියන 300 – 350ක පමණ බදු ආදායමක් අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් රජය ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්වෙලා – අන්තරේ

වත්මන් රජය අධ්‍යපනය සහ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව සහ රැකියා විරහිත උපාධිධාරීන් අයාලේ යාම නවත්වා ඔවුන්ට රැකියාවක් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් මැදිහත්විය යුතු බවයි එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේ.

බලයට පත් කරගත් නව රජය මිනිසුන් වෙනුවෙන් දේවල් සිතාබලා ලබාදෙනු ඇති බවට අතපය හතර බැඳගෙන බලා නොසිට සැබෑ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් මහ පාරට බැසිය යුතු බවත් එම අරගලය වෙනුවෙන් සංවිධානය විය යුතු අතර එම අරගලයේ තීරණාත්මක ඕනෑම අවස්ථාවක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය සිට ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළා.

රැකියාවක් කිරීම යනු මිනිසෙකුගේ අයිතියක් බවත් එය ආණ්ඩුවක් මැදිහත්වී ලබාදිය යුතු බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් වැඩිදුරටත් සඳහන් කළා.

වැටුප් ගැටළුවට නම්‍යශීලී විසඳුමක් ලබාදුන් ජනාධිපති තුමාට ස්තූතියි! – GMOA

අයවැය තෙවැනි වර කියවීමේදී යෝජනා කළ සංශෝධනයක් ඔස්සේ තම ඉල්ලීම් සඳහා විසඳුමක් ලබාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ සෞඛ්‍ය ඇමතිවරයාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) කෘතඥතාවය පළ කර තිබෙනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මෙම විසඳුම රජයට අමතර බරක් නොවන අතර, තම අමතර සේවා හා නිවාඩු දිනයන් සඳහා ලැබෙන ගෙවීම්වලින් තුනෙන් එකක් රට වෙනුවෙන් කැප කිරීමට වෛද්‍යවරුන් එකඟ වී ඇති බවයි.

මුලින් අයවැය යෝජනා අනුව අමතර සේවා ගෙවීම් අඩු කර තිබූ අතර, රජයේ වෛද්‍ය නිිලධාරීන්ගේ සංගමය එයට විරෝධය දක්වීීීීමෙන් පසු, ඒ පිළිබඳ සංවාද කිහිපයකට පසුව මුලින් තිබූ පැයකට 1/80 සහ නිවාඩු දිනයකට 1/20 ගෙවීම් අනුපාත යළි පදනම් කරගෙන, එයින් තුනෙන් දෙකක් පමණක් දැනට ලබාදීමට රජය එකඟ වී තිබෙනවා.

මෙම ගැටලුවට තම යෝජනා සහ සංවාද තුළින් ඉතා ධනාත්මක සහ නම්‍යශීලී විසඳුමක් ලබාදුන් බවත්, ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගෞරවනීය ස්තූතියි ජනාධිපතිවරයාට පුද කර සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වැලිගම නිවසකින් පතුරම් තොගයක් සොයාගනී

වැලිගම, කොක්මාදූව ප්‍රදේශයේ නිවසක් තුළ තිබූ පතුරම් තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පුෂ්පාරාම උපකඳවුරේ නිලධාරින් සිදුකළ වැටලීමකදී, එම් 16 වර්ගයේ පතුරම් 6ක්, ටී 56 වර්ගයේ පතුරම් 60ක් සහ ටී 56 හිස් පුහුණු පතුරම් 9ක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම නිවසේ හිමිකරු, විදේශගතව සිට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයෙකුගේ සමීපතමයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.