ට්‍රම්ප්ගේ නව තීරු බදු හේතුවෙන් ආර්ථිකයට සිදුවන බලපෑම තවදුරටත් අධ්‍යයනය කරමින් සිටිනවා – IMF

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ඇති වන සාර්ව ආර්ථික බලපෑම පිළිබඳ තවමත් අධ්‍යයනය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියේවා පවසනවා.

ගෝලීය වෙළෙඳාම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන උණුසුම සමනය කරමින්, අවිනිශ්චිතතාවය අවම කරන ලෙසට, අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ එහි සියලු වෙළෙඳ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි ප්‍රකාශයක් සිදුකරමින් ඇය සඳහන් කරන්නේ.

අමෙරිකානු තීරු බදු පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය මේ මස අවසානයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වසන්ත රැස්වීමේදී නිකුත් කරන බවද ඇය පවසා සිටියා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංශෝධිත වෙළඳ ප්‍රතිපත්තිය යටතේ එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට 44% ක තීරු බදු පැනවීම සිදුකර තිබෙනවා.

රාජාංගණයේ සද්ධාරතන හිමියන්ව සංඝභාවයෙන් නෙරපයි

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයාබැලීමක් සිදුකර ඇති අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව රාමඤ්ඤ මහා නිකාය සඳහන් කළා.

උන්වහන්සේ පවත්වාගෙන ගිය Youtube නාලිකාවක් තුළින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ පාර්ශව රැසකගේ විවේචනයට ලක්ව තිබුණා.

අවුරුද්දට ගමට යන්න ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා 8 වනදා සිට ආරම්භ වෙයි

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කළේ ඒ සඳහා අතිරේක බස් රථ 500ක් යොදා ගන්නා බවත් කොළඹ, කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට අතිරේක බස් ගමන් වාර ධාවනයට එක් කරන බවයි.

සභාපතිවරයා සඳහන් කළේ උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවා ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

ගම්බිම් බලා යන ජනතාවට ලබන 10 වැනිදා සිට අතිරේක දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල , බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, අනුරාධපුරය ඇතුළු ගමනාන්ත කිහිපයක් සඳහා එම දුම්රිය ගමන් වාර යොදවන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

ගොඩාක් අයගේ address වැලිකඩට මාරුවීමට නියමිතයි – බිමල්

පසුගිය වසරේ සැප්තැම්බර් 21 ජනතාව විසින් ‘පෙනය පුප්පා’ පෙන්වූ බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ හේතුවෙන් දූෂිතයින්, ජාවාරම්කාරයින් සහ සොරුන් බය කර, තල්ලු කර දමා ඇති බවත්, නමුත් තරගය තවම අවසන් වී නොමැති බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

බොහෝ පිරිසකගේ ලිපිනයන් වැලිකඩට මාරුවීමට නියමිත බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් රෝහල්ගත කරයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

උග්ගල්බොඩ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ මාර්ග බාධකයක දී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමකට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එක් පුද්ගලයෙක් පොලිස් නිලධාරියෙකුගෙන් ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ගැටුමක් ඇතිව තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

IndiGo ගුවන් සේවය තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දෛනික සෘජු ගුවන් ගමන් හඳුන්වා දෙයි

IndiGo ගුවන් සේවය තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දෛනික සෘජු ගුවන් ගමන් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව වසර 47 කට පසුව යාපනය හා ට්‍රිචී ගුවන් තොටුපල අතර මුල්ම මගී ගුවන් යානය ඊයේ (30) දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළගාවී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ගුවන් යානයෙන් මගීන් 27 ක් ට්‍රිචී සිට පැමිණි අතර, ආපසු එම ගුවන් යානය පිටව යද්දී යාපනයෙන් මගීන් 36 ක් ට්‍රිචී ගුවන් තොටුපල වෙත රැගෙන‍ ගොස් තිබෙනවා.

මෙම ගුවන් සේවාව හරහා පස්වරු 1:25 ට තිරුචිරප්පල්ලි සිට පිටත්වන ගුවන් ගමන පස්වරු 2:25 ට යාපනයට පැමිණෙන බවත්, යාපනයේ සිට පස්වරු 3:05 ට පිටත්වන ගුවන් ගමන   පස්වරු 4:05 ට තිරුචිරප්පල්ලි වෙත පැමිණෙන බවයි සඳහන් වෙන්නේ.

‍මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

උප දුම්රිය ස්ථානවල සහන සේවා කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු ඉවත්වීමට තීරණය කරයි

කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සෘජු වශයෙන් බලපා ඇති ගැටළු කඩිනමින් විසඳීමට පියවර නොගැනීම සහ දුම්රිය ස්ථානාධිපති සේවයේ දැනට පවතින අධික පුරප්පාඩු පිරවීමට නවක බඳවා ගැනීම් කඩිනම් නොකිරීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියා මාර්ගය ගන්නා බවයි එම සංගමය සඳහන් කළේ.

ඒ සඳහා ගන්නා ලබන වෘත්තිය ක්‍රියාමාර්ගයන්වල පළමු පියවර ලෙස මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

අප්‍රේල් 21 ට පෙර පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට CID ය උත්සාහ දරනවා – ජනපති

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදු කෙරෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව අප්‍රේල් 21 වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිපදෙනෙකු හෙළිදරව් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

දෙයියන්දර ප්‍රදේශයේ මේ වනවිට පැවැත්වෙන ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රක්ෂිතයක තිබී T56 ගිනි අවියක් සොයා ගැනේ

මාතලේ පොලීසියේ නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුමකදී මාතලේ සුදු ගඟ රක්ෂිතයේ තිබී T56 ගිනි අවියක් සහ පතොරම් ගැබ් 2ක් සොයාගෙන තිබෙනවා.

ගමන් මල්ලක දමා සඟවා තිබියදී එය සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමට සමගාමීව එම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාසල් ළමයින් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලබාදුන් වවුචරයේ කාලය දීර්ඝ කෙරේ

පාසල් ළමයින් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලබාදුන් රුපියල් 6,000ක වවුචරයේ වලංගු කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එහි වලංගු කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images