දේශපාලනමය වශයෙන් වංචාව හා දූෂණය ලංකාවෙන් සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා – හඳුන්නෙත්ති

ශ්‍රී ලංකාව තුළ දේශපාලනමය වශයෙන් වංචාව හා දූෂණය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

නුදුරේදීම රාජ්‍ය අංශය ඇතුළුව අනිකුත් සෑම ක්ෂේත්‍රයක් තුළම මේ තත්ත්වය ඇති කරන බැවින් විශේෂයෙන්ම විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ ව්‍යාපාරික ස්ථානයක් වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

කැනඩාවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා මහ කොමසාරිස් Eric Walsh සමග පැමිණි කැනේඩියානු ව්‍යාපාරික දූත පිරිසක් හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළකළා.

මෙහිදී මේ වන විට නව රජය විසින් විදේශීය ආයෝජකයන්ට සපයා ඇති පහසුකම් පිළිබඳව දූත පිරිස දැනුවත් කළ සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි හා ග්‍රැෆයිට් කර්මාන්ත ක්ෂේත්‍රවල අගය එකතු කිරීමට තාක්ෂණික සහාය ලබාගැනීම සඳහාත්, එම ක්ෂේත්‍රවල ආයෝජනය සඳහාත් කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

මෙරට තීරුබදු අඩු කළ හැකි කරුණු ගැන දක්වා අමෙරිකානු ජනපතිට ලිපියක් යොමු කළා – ජනපති

එක්සත් ජනපදය විසින් පනවන ලද බදු යම් ප්‍රමාණයකින් බලපෑමක් සිදුවීමේ අනතුරක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව මෙරට තීරුබදු අඩු කළ හැකි ආකාරය දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ‍‍ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කළ බවයි අද (08) ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

අදාළ ලිපිය ධවල මන්දියට ගොස් ඇති බවත් නියෝජිත කණ්ඩායමක් යොමු කරමින් සාකච්ඡා කිරීමටද කටයුතු සිදු කරමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

‍පවතින තත්ත්වයේ බලපෑම අවම කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමත් එන ඕනෑම තත්ත්වයක මුහුණදීමට ජාතිය සූදානම් කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අපි මේ ගැටලුවට මුහුණ දියයුතු වන්නේ ජාතියක් හැටියට – ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

භූ දේශපාලනයේ මේ මොහොතේ අහිතකර තත්ත්වයක් නිර්මාණයවී ඇති බවත් මෙරට අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹී තිබෙන බවයි අද (07) ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එය විසඳාගැනීම සඳහා උත්සහා සහ සාකච්ඡා කරමින් සිටින බවත් එවැනි අභියෝගයකට මුහුණ දී, අපේ රටේ ආර්ථිකය නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් නොවන ආකාරයෙන් ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි සැලසුම් සකස් කරමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙය අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් බවත් මෙම ප්‍රශ්නයට අපි මුහුණ දියයුතු වන්නේ ජාතියක් ලෙස බවත් එවැනි ප්‍රශ්නයක් ඇතිවීම වැළැක්වීම සඳහා උපරිම මැදිහත් වන අතර එවැනි ප්‍රශ්නයකට මුහුණදීම සඳහා ජාතියක් ලෙස සූදානම් වියයුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමෙරිකාව පැන වූ තීරු බදු ගැන සාකච්ඡා කිරීමට අමාත්‍ය විජිත හේරත් ජුලි ජන්ග් හමුවෙයි

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් හමුවී තිබෙනවා.

එහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිනිය සමග සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

news images

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

පසුගිය 04 වනදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය සත්සර නිමේශ්ට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටි සත්සර නිමේශ් නැමති තරුණයා මියයාමට එරෙහි විරෝධතාවක් මේ වන විට රාජගිරිය ගුවන් පාලම අසළදී පැවැත්වෙනවා.

දිගින් දිගටම සිදුවන පොලිස් ප්‍රචණ්ඩත්වයට හා ඝාතන හෙළා දකිමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

විරෝධතාකරුවන් සඳහන් කරන්නේ පොලිස් අත්අඩංගුවේ සිටි මියගිය සත්සර නිමේශ් තරුණයාට යුක්තිය ඉටු කරන ලෙසයි.

news images

news images

බූස්ස බන්ධනාගාරයේදී මිය ගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරේ

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී මිය ගිය රැඳවියාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) ගාල්ල, කරාපිටිය රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

‍හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ, 46 හැවිරිදි මෙම රැඳවියා සිර මැදිරිය තුළ තුවාල ලබා වැටී සිටියදී සොයාගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිර මැදිරියේ සිටි සෙසු රැඳවියන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් තිබෙන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය ද විමර්ශන ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්.

රට දැනුවත් නොකර කිසිදු ආකාරයේ ගිවිසුමක් රජය විසින් අත්සන් කරන්නේ නෑ – ටී.බී. සරත්

රටට දැනුවත් නොකර කිසිදු ආකාරයේ ගිවිසුමක් තම රජය විසින් අත්සන් නොතබන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.

විනිවිදභාවයකින් යුතුව, අත්සන් කරන සියළුම ගිවිසුම් පිළිබඳව ඊයේ සිටම රජය ප්‍රකාශය‍ට පත් කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මින් පෙර බලයේ සිටි පාර්ශ්වයන් සිදුකළ ආකාරයෙන් යටි ගනුදෙනු, කොමිස් ගැසීම් කිසිවක් තමන් සිදු නොකරන බවත්, ඔවුන්ගේ ඇති පුරුද්ද අනුව ඒවා පිළිබඳව කියවමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.

15 හැවිරිදි දැරියක් අපයෝජන​ය කිරීම සම්බන්ධයෙන් සිසුන් පිරිසක් අත්අඩංගුවට

15 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 7 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළු පාසල් සිසුන් 5 ක් හා තවත් දෙදෙනෙකු බවයි සඳහන් වෙන්නේ.

සමූහ දූෂණයට ලක් වූ බව කියන පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් වන අතර පාසල් සිසුන් පස්දෙනා අවුරුදු 15 ත් 16 ත් අතර වයස්වල සිටින අතර, අනෙක් දෙදෙනා අවුරුදු 17 ත් 19 ත් අතර වන බවයි වාර්තා වන්නේ.