බස් රථයක්, කැබ් රථයක සහ ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙක් මියගොස් 20 ක් තුවාල ලබයි

අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේ ලොරි රථයක් හා බස් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කුඩා දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින් එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයකද බස් රථය ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් සපයන සේවාවන් සිදුකරන වේලාවන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අදාළ දිනවල ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම  එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාවද එම දිනවල සිදු නොකරන බවයි ආගමන විගමන පාලක ජනරාල් (වැ.බ) බී.එම්. ඩී. නිලූෂා බාලසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් සමඟ දෙනෙක් අත්අඩංගුවට

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ට්‍රක් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් සතුව තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජාතික දේශපාලනය මෙන්ම, ගමේ දේශපාලනය ද පිරිසිදු කළ යුතුයි – ජනපති

රට සංවර්ධනය කිරීමට නම් ගමේ පාලනය ද දූෂණයෙන් තොර විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සමන්තුරෙයි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

ජාතික දේශපාලනය මෙන්ම, ගමේ දේශපාලනය ද පිරිසිදු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

දෙවිනුවර ද්විත්ව ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය අත්අඩංගුවට

දෙවිනුවර ද්විත්ව ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා දෙවිනුවර දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට දී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මෙම ගිනි අවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, යටියන පාර, කැකුනදුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේ දි T-56 වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් සොයා ගෙන තිබෙන අතර, එය අදාළ වෙඩි තැබීම සඳහා යොදා ගත් ගිනි අවිය යැයි සැක කෙරෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

ලක්ෂ 22ක නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දුම්වැටි තොගය රැගෙන ආ ගුවන් මගියා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි පැවසෙන්නේ.

ඔහු අද අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව සඳහන්.

ඔහු රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 15,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 75 ක් සඟවා තිබූ බවත්, එහි වටිනාකම රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් පමණ වන බවයි දැක්වෙන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට කැඳවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඔහු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, චාමර සම්පත් හිටපු අමාත්‍යවරයා ගැන තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ක්‍රියා කර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවන බවයි හිටපු ජනාධිපතිවරයා එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

තමා අදාළ ප්‍රකාශය කර පැය 18 ක් ගතවීමට පෙර අල්ලස් කොමිසමෙන් කැඳවීම ලැබුණු බවත්, රාජකාරි පැය තුනක පමණ ඉතා කෙටි කාලයකදී එය සිදු කිරීම ලෝක වාර්තාවක් තැබීමට සමාන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එසේම, තමා කැඳවීමට දින ලබා දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත්, මෙම කාලසීමාවේදී ඔහු ද, ඔහුගේ නීතීඥයින් ද කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලා සිටීමට පියවර ගෙන ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්.

news images

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ ප්‍රධාන සැකකරු අප්‍රේල් 21 දක්වා රිමාන්ඩ් කෙරේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අප්‍රේල් 21 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු අද (10) යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සැකකරු විසින් අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට පසුගිය මාර්තු 10 වනදා අතවර කර තිබුණු අතර, පසුව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 සේවාව දින තුනක් අත්හිටුව‍යි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක සේවාව අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල අත්හිටුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එක්දින සහ සාමාන්‍ය සේවාවන් සැපයීම සඳහා ටෝකන් පත් එම දිනවල දහවල් 12 දක්වා නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2018 වසරේදී වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරියා, එම ඝාතන සිද්ධියට අදාළ විමර්ශණ නොමග යවන ආකාරයෙන් කටයුතු කළ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.