කොකේන් තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙක් අත්අඩංගුවට

නීති විරෝධිව මෙරටට රැගෙන ආ කොකේන් තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් කොකේන් කිලෝ 04 ග්‍රෑම් 855ක් මෙලෙස රැගෙනවිත් ඇති අතර එහි වටිනාකම රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් වාහන සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලිස් විමර්ශන

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් මෙම සිද්ධියට සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිරි දළදා ප්‍රදර්ශනයට එන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ණ සූදානමින් පසුවන බවත්, දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 50කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති බවයි එම සංගමය පවසා සිටින්නේ.

ඒ අනුව, නගරයේ ආහාර පරිහරණ ස්ථාන සියල්ල පරීක්ෂා කිරීම, දන්සැල් හා වීදි ආහාරහල් අධීක්ෂණය, කසළ බැහැර කිරීම, පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක කටයුතු යන සියල්ල පිළිබඳව අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා.

news images

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් හේතුවෙන් රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

ලොරියේ පසුපස රෝදය ගැලවී යෑමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් මාතර දෙසට ගමන් කරන මංතීරුව අවහිර වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16 කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ වුණා.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටි අතර අද දින ප.ව 5.00 දක්වා ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාකරදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

GovPay මගින් දඩ ගෙවීමෙන් තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් සිදුවන්නේ නැහැ – තැපැල්පති

රජය විසින් හඳුන්වා දී ඇති GovPay දඩ ගෙවීම් ක්‍රමවේදය හරහා තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් සිදු ‍‍නොවන බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

ඒ අනුව ඒ හරහා තැපැල් දෙපාර්තමේන්තු ආදායමේ යම් කොටසක් පමණක් අහිමිවීම සිදුවන බවයි අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් එකතු කරන ලද ආදායම් ලබාදෙන්නේ ද රජයටම බවයි තැපැල්පති රුවන් සත්කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට විශේෂ වැඩසටහනක්

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීමත්, ව්‍යාප්තවීමත් වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්, විශේෂිත සුරාබදු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් සහ කොළඹ, උතුරු මැද හා වයඹ විශේෂ මෙහෙයුම් ඒකකවල නිලධාරීන් ද යෙදවීමට සැලසුම් කර ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා සඳහන් කළේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ හදිසි කෙටි දුරකථන අංකය වන 1913 වෙත සහ 071-4395603 සහ 071-8008029 යන අංක වෙත ද මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ලබා දෙන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි – රනිල්

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවයි අද (16) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම තීරු බද්දේ එක බලපෑමක් වන්නේ රැකියා අහිමිවීම බව ද, එයට සම්බන්ධ පිරිස් ද මේ හරහා බලපෑමට ලක්වන අතර, බෝඩින් කාමර ලබාදෙන පිරිස්, කඩ සාප්පු පවත්වා ගෙන යන පිරිස් වෙත ද අවධානමක් ඇති බව ද, සෑම කෙනෙකුගේම ආදායමට මෙයින් පහර වැදෙන බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙරට ආර්ථිකයට ද පහරක් මේ තුළින් වැදෙන බවත්, අපට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවීම හේතුවෙන්, ණය ගන්නා ප්‍රමාණය වැඩිවන අතර, මේ අර්බුදය නිසා රුපියලේ අගය තවත් අඩුවනු ඇති බවත්, ආර්ථිකයේ වර්ධන වේගය අඩුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

දින හයක් තුළ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 273 ඉක්මවයි

අලුත් අවුරුදු සමයේ ගතවූ දින 06 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම කාලය තුළ එමගින් රුපියල් මිලියන 273ක ආදායමක් උපයාගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය සඳහන් ක‍ළේ.

ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව සඳහා අද (16) දිනයේ අධිවේගී මාර්ගවල සියලුම කවුළු විවෘතව තබා ඇති බවද, අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන යම් ආපදාවකට ලක් වුවහොත්, 1969 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අධිවේගී මාර්ගය දින තුනක් තුළ මිලියන 134 ක ආදායමක් ලබයි

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය පවසනවා.

ඒ අනුව පසුගිය අප්‍රේල් 11,12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන තුන්ලක්ෂ අසූ හත්දහසක් ධාවනය කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.