බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු මැයි 05 සහ 06 වසා තැබේ

මැයි මස 05 වැනිදා සහ 06 වැනිදා යන දෙදින බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය පවසනවා.

ඒ අනුව එම ආයතනවල නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යෙදවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කවුළු නැවත විවෘත කරන පළමු දිනයේදී දඩ මුදල් ගෙවීමකින් තොරව, නියමිත ගාස්තුව පමණක් ගෙවා, වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශෝකය පළ කිරීමට ජනපති වතිකානු තානාපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව සිය ශෝකය පළ කර තිබෙනවා.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අග රදගුරු Brian N. Udaigwe හිමිපාණන් විසින් පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව, උන්වහන්සේ සමඟ කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

පළාත් පාලන මැතිවරණයට අදාළව පාසල් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු සඳහා යොදා ගන්නා පාසල් ගොඩනැගිලි හා අනෙකුත් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ සියලුම පාසල් මැයි 05 වැනිදා නිවාඩු ලබා දෙන අතර, මැයි 07 පාසල් නැවත ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද පෙට්ටි හා අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කරන හා ආපසු භාර ගන්නා මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

news images

news images

සිරි දළදා වන්දනාව සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කෙරේ

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණය ද ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දහවල් වන විට 250,000කට ආසන්න සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාවට පැමිණ ඇති අතර, ඉදිරි දිනවල මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම තත්ත්වය තුළ, සැදැහැවතුන් හැසිරවීමේ කටයුතු පොලීසියට පමණක් සිදුකළ නොහැකි බැවින්, යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඒ සඳහා යොදා ගැනීමට අද (23) පෙරවරුවේ රැස්වූ සිරි දළදා වන්දනා කමිටුව විසින් තීරණය කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රියක් ගම්පහ දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් අතරතුර අහසට වෙඩි තබයි

අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා තිබෙනවා.

මේ වනවිට හටගත් නොසන්සුන්තාව තරමක් දුරට පාලනය කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා මේ වන විට පොලිස් විශේෂකාර්ය බලකාය කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හෙට මගහැර සිරි දළදා වන්දනාවට මහනුවරට පැමිණෙන්නැයි වන්දනාකරුවන්ට දැනුම්දීමක්

හෙට (23)  දිනයේ  “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීම සඳහා අද (22)  සවස 06.00 පමණ වන විට 80,000 කට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත එක් රැස්ව සිටින බව පොලීසිය පවසනවා.

ඒ අනුව හෙට (23) උදෑසන වන විට එම සංඛ්‍යාව 100,000 ඉක්මවා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ.

එසේම දහවල් කාලය වන විට මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් හෙට දිනය හැර තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීමට හැකියාව පවතින බැවින් හෙට දිනය මඟහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මගින් සැදැහැවතුන්ට අපහසුතාවයකින් තොරව වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බවට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

පාස්කු වාර්තාවේ කොළ අඩුයි නම්, මාස 07 ක් ඕක තියාගෙන මොකද්ද කළේ? – නාමල්

ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවට පැවසූ වාර්තාව ‍හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමයේ පාර්ලිමේන්තුවට සභාගත කළ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

වත්මන් ජනාධිපතිවරයා විසින් එම වාර්තාව අලුත් වාර්තාවක් ලෙස නැවත භාරදී ඇති බවත්, රජයෙන් ‍මේ ගැන විමසූ විට පෙර වාර්තාවේ කොළ අඩු නිසා නැවත ඉදිරිපත් කළ බවට ප්‍රකාශ කරන බවත්, කොළ අඩු නම්, මාස 07 ක් තිස්සේ සිදුකළේ කුමක්දැයි ගැටලු සහගත බවයි ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එවක සිටි බුද්ධි අංශ ප්‍රධානීන් අද ආණ්ඩුවේ තනතුරු දරමින් රැකවරණය ලබන බවත්, ප්‍රධාන බෝම්බකරුගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි බවත්, ‍පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කිරීමට යන්නේ මොවුන් දමා දැයි ගැටලු සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් විමසා සිටියේ.

දේශබන්දුට 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක්

එළඹෙන අප්‍රේල් 25 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරි අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙන යාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබෙනවා.

ඉකුත් අප්‍රේල් මස 10 වැනිදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව, මාතර මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව CID යට භාරදෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව, ඉදිරි විමර්ශන සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව එම වාර්තාව මෙලෙස භාරදී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය යහපාලන රජය විසින් අදාළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ අතර එහි වාර්තාව මෙලෙස භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.