පානදුර ඩිපෝව ජාතික තලයේ ඩිපෝවක් බවට පත්කිරීම අරමුණයි – චතුරංග

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කර ජාතික තලයේ ආදර්ශ ඩිපෝවන් බවට පත් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

මෙම ඩිපෝ සංවර්ධනය කර මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම හා ඉහළ ආදායමක් ඉපැයීම මගින් ලාභදායී ආයතන බවට පත්කිරීම එහි අරමුණ බවයි ඊයේ (29) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වන්නේ ඩිපෝව හරහා සිදුවන ක්‍රියාවලිය, එහි ආදායම් වැඩිකිරීම, වියදම් කළමනාකරණය සහ වෙනත් ආදායම් උත්පාදනය කර ගැනීමට ඇති අවස්ථා සොයා බලා, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට මූලික වීම බවද ඔහු ප්‍රකාශ කළා.

පානදුර බස් ඩිපෝව ක්‍රමානුකූලව සංවර්ධිත ඩිපෝවක් ලෙස පරිවර්තනය කරමින්, සමාජීය ප්‍රවාහන අවශ්‍යතාවයේ සාධනීය කොටස්කරුවන් බවට පත්කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මින් ඉදිරියට කැබිනට් මාධ්‍ය හමුව ආවරණය කිරීමට දෙන්නේ මාධ්‍ය හැඳුනුම්පත ඇති අයට පමණයි – කැබිනට් ප්‍රකාශක

මින් ඉදිරියට කැබිනට් මාධ්‍ය හමුව ආවරණය කිරීමට ඉඩ ලබා දෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් හැඳුනුම්පත් නිකුත් කළ මාධ්‍යවේදීන් සඳහා පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී තමාට ඇත්තේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමටත් නිශ්චිත ප්‍රශ්න කිහිපයක් ඇසීම සුදුසු බවත් කැබිනට් මාධ්‍ය හමුවේදී යම් සංයමයක් පවත්වාගත යුතු බවයි අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් ‍කළේ.

මෙය අයාලේ යාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පාර්ශවවලින්ම චෝදනා එල්ලවන බවද අමාත්‍යවරයා ප්‍රක‍ාශ කළා.

සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු ලබාදිය නොහැකි බවත් අමාත්‍යංශ මට්ටමින්ද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර මාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම හරහා මාධ්‍ය මර්දනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉදිරියේදී මාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව ආදී දේ ලබාදීමට සැලසුම් කර ඇති බවත් එහිදී මාධ්‍යවේදීන් හඳුනාගැනීමට ඇති එකම දෙය වන්නේ අමාත්‍යංශය මඟින් නිකුත් කළ හැඳුනුම්පත පමණක් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රෝයල් පාක් මිනීමැරුමේ සිද්ධියේ විත්තිකරු සිංගප්පූරුවේ නොමැති බව අධිකරණට දැනුම්දෙයි

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, පසුව ජනාධිපති සමාව ලැබූ ජූඩ් ශ්‍රිමන්ත නැමති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බව එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා.

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට අදාළ පෙත්සමක් අද (29) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම වග උත්තරකරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට අදාළ ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙම වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව රජයේ නීතිඥවරයා සඳහන් කළා.

මෙම වගඋත්තරකරු සොයා ගැනීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා සඳහන් කළේ.

පෙත්සම යළි ජූලි මස 28 වන දා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරයාට නියෝග කර තිබෙනවා.

නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීම මැයි 07 සිදු කෙරේ

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගැනීම මැයි 07 සිදුකරන බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

සෙනසුරාදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු කාදිනල්වරු රැස්වී මෙම දිනය තෝරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය සඳුදා ස්වර්ගස්ථ වූ අතර අවසන් කටයුතු සෙනසුරාදා දිනයේ සිදුකළා.

සිරි දළදා වන්දනාවෙන් පසු නුවර වැව පිරිසිදු කෙරේ

දින දහයක් පැවැත්වුනු “සිරි දළදා වන්දනාව” වැඩසටහනෙන් පසු මහනුවර වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක් Clean Sri Lanka ලේකම් කාර්යාලය සහ නාවික හමුදාව එක්ව ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙහිදී නුවර වැවට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් ඇසුරුම් ඇතුළු කැළිකසළ ඉවත් කර, නුවර වැව යළි යථා තත්ත්වයට පත් කළ බවයි සඳහන් වන්නේ.

ස්වේච්ඡා කණ්ඩායම් සහ මහජනතාවගේ සහාය ද මෙම ක්‍රියාන්විතය සඳහා හිමිවුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

news images

news images

සිරි දළදා වන්දනාව අවසන් වෙයි

දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව අද (27) පස්වරුවේ සාර්ථකව අවසන් වුණා.

අද දිනයේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා කාලය තුළ සැදැහැවතුන් 76,000ක පිරිසකට සිරි දළදා වන්දනාවට එක්වීමට අවස්ථාව උදාවූ බවයි වාර්තා වෙන්නේ.

වසර 16 කට පසු දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව පසුගිය 18 වනදා සිට උදා වූ අතර ගතවූ දින 10 ක කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දළදා වන්දනාව සඳහා එක්ව තිබුණා.

“සිරි දළදා වන්දනාව” අද පස්වරු 5.30ට අවසන් වීමෙන් පසුව මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද අද පස්වරුවේ ආරම්භ කර තිබුණා.

මම Vitz ලක්ෂ 12 ට දෙනවා කියලා කිව්වලු, ඔප්පු කළොත් මම සජබෙට එනවා බැල මෙහෙවර කරන්න – නලින් හේවගේ

තමා ලක්ෂ 12 කට Vitz කාර් දෙන බවට යම් තැනක ප්‍රකාශ කර ඇත්නම් එය ඔප්පු කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට අභියෝග කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසනවා.

ඒ අනුව එලෙස තමා ප්‍රකාශ කර ඇති බවට ඔප්පු කළහොත් තමා ඇමතිකමෙන්, මන්ත්‍රීකමෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් ඉවත්වන බවයි ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එලෙස තමා ඉවත්වී කියන ඕන බැල මෙහෙවරකමක් සිදු කිරීමට සමගි ජන බලවේගයට පැමිණෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

A/L ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව ආරම්භ වේ

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.

වතිකානු වේලාවෙන් උදෑසන 10.00 ට (මෙරට වේලාවෙන් පස්වරු 1.30ට) පමණ අවසන් කටයුතු ආරම්භ වූ අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ සිට ශාන්ත පීතර චතුරශ්‍රය වෙත රැගෙන යනු ලැබුවා.

කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති ජියෝවානි බැටිස්ටා රේ කාදිනල්තුමා විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය මෙහෙයවනු ලබනවා.

එරට වේලාවෙන් උදෑසන සිට අගරදගුරුවරුන්, බිෂොප්වරුන්, කතෝලික පූජකවරු ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්වීමට පටන් ගත් අතර, ඉන් පසුව, විවිධ රටවලින් පැමිණි රාජ්‍ය නායකයින් හා ගෞරවනීය අමුත්තන් පැමිණීමත්, පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමත්, ඉන්පසු අසුන් ගැනීමත් සිදුවුනා.

චාල්ස් රජු වෙනුවෙන් විලියම් කුමරු අවමංගල්‍යයට සහභාගී වන අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ස්වීඩනයේ කාල් ගුස්ටාෆ් රජු සහ සිල්වියා රැජින, නෝර්වේහි ඔටුන්න හිමි හාකොන් කුමරු සහ ඔටුන්න හිමි මෙට්-මාරිට් කුමරිය, එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර්, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හා අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් ආදී ප්‍රභූවරුන් ඇතුළු 200,000 ක පමණ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වනවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින්ම නියම කරන ලද උපදෙස් වලට අනුකූලව, මෙම අවමංගල්‍ය උත්සවය පෙර පාප්වරුන්ගේ අවමංගල්‍ය උත්සවවලට වඩා සරලව සිදු කරන බවයි සඳහන් වන්නේ.

පැය භාගයක් හෝ විනාඩි 45 කාලයකින්  අවමංගල්‍ය සභාව අවසන් වන අතර පාප් වහන්සේගේ දේහය රැගත් මන්දගාමී පෙරහැරක් උන්වහන්සේගේ අවසන් විවේක ස්ථානය වන සැන්ටා මාරියා මැගියෝර් බැසිලිකාව වෙත ගමන් කරනු ඇති.

news images

news images

news images

දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුවට සහාය වීමට දිලීප පීරිස් සහ රජිත පෙරේරා ද නම් කෙරේ

සේවය අත්හිටුවීමට ලක්කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශනවලට සහාය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

මෙම කමිටුව අද (25) පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම මෙම කමිටුවට සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන අය ද නම් කොට තිබෙනවා.

අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා කර තිබෙන අතර, කමිටුව 28 වැනි දින නැවත රැස්වීමට තීරණය කළ බවයි සඳහන් වන්නේ.