ජනපති වියට්නාම ජනපති හමුවෙයි

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති Luong Cuong අතර හමුව අද (05) සිදුව තිබෙනවා.

වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද (05) උදෑසන පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, එම ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පිළිගැනීමේ උත්සවයේදී දෙරට නායකයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ ජාතික ගී වලට ‍ගෞරව දැක්වීමෙන් අනතුරුව, දෙරටේ නියෝජිතයින් හඳුන්වාදුන් අතර, ඉන් පසු ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා.

news images

news images

news images

news images

සබරගමුව සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සිසුන් 4 ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙක් අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.‍

කළුතරදී මැතිවර​ණ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

කළුතර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල වූ අපේක්ෂකයාව කළුතර නාගොඩ රෝහල ඇතුලත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා ශ්‍රී ලංකන් ගුවන් යානයක් විශේෂ පරික්ෂාවකට

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

ඉන්දු කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසක් අදාළ ගුවන්යානයෙන් පැමිණි බවට ලද තොරතුරක් මත මෙම පරික්ෂා කිරීම සිදුකරන බවයි සඳහන් වෙන්නේ.

අද (03) පෙරවරු 11.59ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවූ UL122 දරණ යානය මෙලෙස පරික්ෂා කිරීම සිදුකර ඇති අතර ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක ඒකක එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

නවක වදයට මුහුණ දෙන සිසුන් හට ඒ පිළිබඳව දැනුම්දීම සඳහා සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එක් එක් විශ්ව විද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත්කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කර සිටියේ.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු රාජ්‍ය විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන් කොළඹට කැඳවා ඇති බවද, අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඉන්දියාවේ පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ බහුකාර්ය වරාය විවෘත කෙරේ

ඉන්දියාවේ කේරලයේ විජින්ජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහුකාර්ය වරාය අද (02) විවෘත කරනු ලැබුවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි විසින් මෙම වරාය විවෘත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙය එරට පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ඉතිහාසයට එක්වෙනවා.

කොළඹ වරාය හරහා දැනට යොමු කරනු ලබන භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව මෙම වරාය නිර්මණය කර ඇති අතර, මේ වන විට කොළඹ වරාය හා ඩුබායි වරාය ඉන්දියාවේ ප්‍රතිනැව්ගත කරන භාණ්ඩවලින් 70% ක් හැසිරවීම සිදුකරනු ලබනවා.

Photo Story: LTTE සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං තොගයක් භාරදෙයි

යුද හමුදාව විසින් පසුගිය කාලයේ විවිධ විමර්ශන කටයුතු සඳහා රදවාගෙන තිබූ භාණ්ඩ තොගයක් අදාළ විමර්ශන නිමවීමෙන් අනතුරුව රජය වෙත භාරදීම යුද හමුදා මූලස්ථානයේදී අද (02) සිදුකර තිබෙනවා.

යුද්ධය අවසන්වීමෙන් අනතුරුව LTTE සංවිධානයේ බැංකුවල හා එම සංවිධානය සතුව තිබී යුද හමුදාව මගින් තම භාරයට ගෙන විමර්ශන සඳහා මෙතෙක් රඳවා තබාගෙන තිබූ රත්‍රං, රීදී හා මැණික් ඇතුළු ස්වර්ණාභරණ  මෙලෙස භාරදුන් භාණ්ඩ අතර වන බවයි යුද හමුදාව සඳහන් කළේ.

ඒ අනුව ස්වර්ණාභරණ සහිත පාර්සල් 120ක් අද දිනයේදී පොලීසිය වෙත භාරදීම සිදුකර ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම භාණ්ඩ පාර්සල් පොලිස් ආරක්‍ෂාව යටතේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මගින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

news images

news imagesnews images

කාශ්මීරයේ ප්‍රහාරය ගැන පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.

අදාළ පෙත්සම මඟින් ඉල්ලා තිබුණේ, පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කරන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ මෙවැනි පියවරක් හරහා සන්නද්ධ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමනු ඇති බවත් මෙතරම් සංවේදී කරුණක් සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කිරීමට පෙර එහි බරපතළකම සොයාබැලිය යුතුව තිබූ බවයි.

සබරගමුව සරසවි සිසුවා මියගියේ නවක වදය ලබාදීම නිසාදැයි පොලීසිය විමර්ශන අරඹයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීම නිසා බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළ වැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෙම සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමද යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබාදුන්නේ නම් එම පුද්ගලයන් හඳුනාගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.

නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබ යම් සිත් තැවුලකින් පසුවන්නේ නම් 1926 අමතා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය හරහා පැය විසිහතර පුරා ඔබට සහනයක් ලබාගත හැකියි.

මිලියන 77ක වංචාවකට අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් සහ සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයෙකු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් නියෝග කර තිබෙනවා.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා, රුපියල් මිලියන 77ක වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හැර සිටි‍ සැකකාර සහකාර අධ්‍යක්‍ෂකවරිය පසුගිය 07 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, සබරගමු පළාත් ලේකම්වරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙකු මඟින් භාර වී තිබුණා.

එසේම ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු කාර්මික නිලධාරිවරයෙක්, ලිපිකරුවකු සහ ලේකම්වරයෙකු ද මීට පෙර මෙම වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි පැවසෙන්නේ.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77 කට අදාළව මුදල් වෙන්කර ගෙන ඇතත්, ඒ සඳහා මාර්ග හෝ ක්‍රිඩාංගණ ඉදිකර නොතිබීම සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්ෂණයකින් මෙම වංචාව හෙළිවී ඇති අතර, 2016 සහ 2017 වර්ෂවලදී මෙම මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77ක් සිදුකර ඇතැයි අසත්‍ය ලේඛන ඉදිරිපත් කර මෙම මූල්‍ය වංචාව සිදුකර ඇතැයි සබරගමු පළාත් සභාව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.