සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව ටියුෂන් ආයතනයේ හිමිකරුගෙන් CIDයට පැමිණිල්ලක්

කොටහේන සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු විසින් ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තමාගේ නමට අපහාස කරමින්, පිරිසක් විසින් හිතාමතා සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් එම පැමිණිල්ල ගොනුකර තිබුණා.

මියගිය අදාළ සිසුවිය අසනීප තත්ත්වයෙන් පන්තියට සහභාගි වීම හේතුවෙන්, තමා ඇයගේ දෙමාපියන් ගෙන්වා අසනීප තත්ත්වය සුව වූ පසුව පන්තිවලට සහභාගී කරවන ලෙස පමණක් දැනුම්දුන් බවයි එම පුද්ගලයා සඳහන් කළේ.

තමාගේ පින්තූර යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයන් එල්ල කිරීම තුළින් තමා අපහසුතාවයට පත්ව ඇති බවත්, එය කවුරුන් හෝ සිතාමතා සිදුකරනු ලබන්නක් බවට තමාට සැකයක් ඇති බවයි ඔහු වැඩිදූරටත් ප්‍රකාශ කර සිටියේ.

රුසියානු තානාපති කාර්යාලය අසළ ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධියට ජර්මන් ජාතික තරුණියක් අත්අඩංගුවට

රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් ජාතික තරුණියක් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් එම සැකකාර තරුණියගෙන් පැය 05කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ලැප්ටොප් පරිගණකයේ මුරපදය තරුණිය විසින් පොලීසියට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම කැඳවීමට දින නියමවෙයි

ශ්‍රී ලංකා ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩගත කිරීමට සහ එය පදනම් කරගෙන රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 15 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාවක් තිබේදැයි වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගෙන, මීළඟ දින අධිකරණය දැනුවත් කරන ලෙස ද වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ වෙත විනිසුරු මඩුල්ල විසින් දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Private Jet එකට වියදම් කළේ, වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් – විජිත හේරත්

ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ සිට පැමිණි විශේෂ ගුවන් යානයට ශ්‍රී ලංකා ජනතාවගේ මුදල් කිසිවක් වියදම් කර නොමැති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා ලංකාවට පැමිණි විශේෂ ගුවන් යානයට අදාළ වියදම් දැරීම සිදුකළේ, වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් බවයි අද (08) පාර්ලිමේන්තුවේදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.

ලැබුණු රාජ්‍ය ආරාධනාවක් අනුව ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ලෙස තමා සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවය සඳහාද තවත් අරාධනාවක් ලැබී තිබූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වෙසක් උත්සවය 6 වනදා දින උදෑසන පැවති බවත් එදින එයට සහභාගී වී යළි මෙරට මැතිවරණයට සහභාගීවීමට අවශ්‍ය නිසා එයට සහභාගීවීමට නොහැකි බවට ඔවුන්ට දැනුම්දුන් බවත් ඉන් අනතුරුව වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් සම්පූර්ණ වියදම දරා ලංකාවට පැමිණීමට විශේෂ ගුවන් යානයක් සූදානම් කර තිබූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මන්ත්‍රී අර්ච්චුනා​ව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කෙරේ

පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභා ගර්භයෙන් ඉවත් කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවකට පෙර කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ අද (08) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතු කරමින් ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු සභා ගර්භයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන්දියා සහ පාකිස්තාන ප්‍රහාරවලින් දෙරටේම සිවිල් වැසියන් රැසක් මරුට

අඟහරුවාදා රාත්‍රියේ සිට පකිස්ථානය විසින් එල්ල කරන ලද කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු මියගොස්, 43 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය හමුදාව පවසනවා.

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පූන්ච් සහ තංඩාර් හි සිවිල් ප්‍රදේශවලට එම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි සඳහන් වෙන්නේ.

එසේම, ගුවන් ප්‍රහාර සහ දේශසීමා වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය බව පාකිස්තානය පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, ගුවන් ප්‍රහාරවලින් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර නියමිත ගුවන් ගමන් 550 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති බව වාර්තා වනවා.

ගුවන් ප්‍රහාරවලින් පසු පාකිස්තානයේ සියලුම නියමිත වාණිජ ගුවන් ගමන් වලින් 16% ක් සහ ඉන්දියාවේ 3% ක් අවලංගු කර ඇති බවයි ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවක් වන Flightradar24 පවසන්නේ.

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

යම් කිසි පළාත් පාලන ආයතනයක එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සමස්ත සභික සංඛ්‍යාවෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ලබා නොමැති නම්, සභාපති ධුරය සඳහා පත්වන්නේ කවුද යන ප්‍රශ්නය සඳහා මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පිළිතුරු ලබාදී තිබෙනවා.

එහිදී පළාත් පාලන සහකාර කොමසාරිස්වරු විසින් පැහැදිලි ජයක් ලබා නොමැති පළාත් පාලන ආයතන වෙත ගොස්, එහි තේරීපත් වූ සභිකයන් සියල්ලම සමග සාකච්ඡා කර, ඔවුන්ගේ එකඟත්වයන් තුළ සභාපති ධුරය ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

සමහර විටෙක එහිදී නම් යෝජනා කර ඡන්ද විමසීමක් සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ හෝ සියළු සභිකයන්ගේ එකඟත්වයෙන් සභාව පිහිටුවීමට කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය තුළ දී පැහැදිලි බහුතරයක් නොමැති අවස්ථාවල මෙවැනි ප්‍රතිඵල ලැබිය හැකි බවයි මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සබරගමුව නවක වද සිද්ධියට තවත් සිසුන් හයක් රිමාන්ඩ්

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු නවක වදය හේතුවෙන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් සිසුන් 06 දෙනෙකු මැයි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (06) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිසුන් ගණන 10 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සවස 4.00 වන විට ප්‍රදේශ කිහිපයක ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන්

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

අද (06) සවස 4.00ට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ප්‍රතිශතයන් පහතින්.

* මන්නාරම – 70%

* මුලතිව් – 60%

* නුවරඑළිය – 60%

* බදුල්ල – 60%

* අනුරාධපුරය – +60%

* පොළොන්නරුව – 64%

* මොණරාගල – 61%

* කෑගල්ල – 58%

* කළුතර – 61%

* ගාල්ල – 63%

* වව්නියා – 60%

* දිගාමඩුල්ල – 63%

* ත්‍රිකුණාමලය – 67%

අනෙකුත් ප්‍රදේශවල ප්‍රතිශත යාවත්කාලීන කිරීම් තවත් සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න.

පාකිස්ථානය දෙවන වරටත් මිසයිලයක් අත්හදා බලයි

යුද පුහුණු අභ්‍යාසයක් ලෙස කිලෝමීටර් 120 ක දුරකට යැවිය හැකි මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං හා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ඇති අතර, එහිදී ඔවුන් වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියාව සහ පකිස්ථානය අතර තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංවෘත උපදේශනයක් අද (05) පැවැත්වීමට නියමිත අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් සඳහා පකිස්ථානය විසින් ඉල්ලීමක්ද සිදුකර තිබුණා.