මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

2021 දී ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් ආනයනය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස ඔහුට වරෙන්තු නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මහින්ද නිදොස් කොට නිදහස් කර ගැනීමේ ධාර්මික යුද්ධය ආරම්භ කළා, යුද්ධයට නායකත්වය දෙන සෙන්පතියා නාමල් – පසන් කස්තුරි

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට හේතුවූයේ ඔවුන් විසින් එල්ල කළ අභූත චෝදනා බව පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි පවසනවා.

ඒ අනුව නව ආණ්ඩුව පත්වි මාස 6 ක් ගතවන විට එම චෝදනා ඔප්පු කිරීමට නොහැකි වන විට ඡන්දය ලබාදුන් ජනතාව සිදුකළ චෝදනා ඔප්පු කරන ලෙස ආණ්ඩුවට රතු එළියක් දල්වා ඇති බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම මාස 6 වැනි කෙටි කාලයක් තුළ කිසිවෙකුත් නොසිතූ අයුරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා මිලියනයකට ආසන්න පිරිසක් එක්වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් කර ගැනීමේ සටන ආරම්භ කරන ලෙස ඡන්දය ලබාදුන් ජනතාව කොළ එළියක් ලබාදි ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර ගැනීමේ සටන ආරම්භ කර ඇති බවත් එය ධාර්මික යුද්ධයක් බවත් එම යුද්ධයට නායකත්වය ලබාදෙන සෙන්පතියා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බවයි දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි වැඩිදුරටත් ප්‍රකා‍ශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, නාමල් රාජපක්ෂට එරෙහි චෝදනා ඔප්පු කරන ලෙස ඉල්ලා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි සහ පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය නියෝජනය කරමින් නීතිඥයින් කීපදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෝටියක් වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ, ටිරාන්ට, දේශබන්දුට කෝටි 30 ක් දුන්නේ නැති නිසා – හරක් කටා

අද (14) අධිකරණ කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ‘හරක් කටා’ තංගල්ල බන්ධනාගාරය තුළ රඳවා ගැනීමට මාසයකට කෝටියක් වැය වන බවට පසුගියදා පුවත්පත් වාර්තාවල දැක්වූ කරුණු සම්බන්ධයෙන් එහිදී ඔහු මාධ්‍ය වෙත සිය ප්‍රතිචාරය දක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ඔහු සඳහන් කරන්නේ, “කෝටියක් වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ, ටිරාන් අලස්ටයි, දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි 30 ක් දුන්නේ නැති එකට…” ලෙසටයි.

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යතුරුපැදි පැදවූ 36 ක් අත්අඩංගුවට

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36 ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස් කිරීම් සහ යතුරුපැදි සඳහා අමතර කොටස් සවිකරමින් රථවාහන නීති උල්ලංඝනය කළ යතුරුපැදි 36ක් ද මෙහිදි පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී අත්අඩංගුවට ගත් යතුරුපැදිකරුවන් බහුතරයක් පුහුණු වීමේ රියදුරු බලපත්‍රය සහිත වයස අවුරුදු 18 -20 අතර පිරිස් වන අතර මෙම පිරිස ගාල්ල, වැලිගම, අකුරැස්ස, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් යතුරුපැදි මෝටර් රථ කොමසාරිස්වරයා හමුවට ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කුෂ් කිලෝ 46 ක් සමග බ්‍රිතාන්‍ය තරුණියක් අත්අඩංගුවට

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 46 ක් වන අතර මෙහි වීදි වටිනාකම රුපියල් මිලියන 460 කට ආසන්න වන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමක් අතරතුර ඇයව නවතා පරීක්ෂා කිරීමේදි ඇගේ ගමන් මළු තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී හමුව තිබෙනවා.

අලදෙණියේදී වන්දනා බස් රථයක් අනතුරට පත්වී 20 ක් රෝහලට

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (12) රාත්‍රි කාලයේදී අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

විදුලිසැර වැදී දැරියක් මරුට

මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දැරියක් මියගොස් තිබෙනවා.

වෙසක් පොහොය වෙනුවෙන් විදුලි බුබුළු වැලකට එම නිවසේ ඉදිරිපිට සවිකර තිබු හෝල්ඩරයකින් විදුලිය ලබාගැනීමට යාමේදී අදාළ දැරියට විදුලිසැර වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒම අවස්ථාවේ අසල්වාසීයෙකු විසින් අදාළ දැරිය බේරාගෙන පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි දැරියක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව සොයා පොලිස් පරීක්ෂණ

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ තිබු යම් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.

අනතුරින් මේ වන විට පිරිමි පුද්ගලයින් 16 හා කාන්තාවන් 05ක් ඇතුලත්ව පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් සඳහන් කළේ.

‍මේ අතර කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන ඇති අතර පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන තිබෙනවා.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙනගොස් තිබෙනවා.

news images

news images

news images

අදාල සිතාසි ම​ට ලැබුණේ නැහැ – සේමිණි ඉද්දමල්ගොඩ

තමාව අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ තමන්ට අයත් පුද්ගලික ආරක්ෂක සේවා ලබාදෙන ව්‍යාපාරයේ සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් පිලිබද ඇති වු ගැටලුවක් පිළිබඳව අධිකරණය මඟින් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබීම සම්බන්ධ ගැටලුවක් නිසා බව ප්‍රවීණ රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ පවසනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිය සැමියාගේ මෝටර් රථය අනතුරට ලක්වූ බවත් ඔහු සමඟ වැලිකඩ පොලීසියට ගිය අවස්ථාවේදී වරෙන්තු වගයක් ඇති බවට පවසා තමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් ඒ මොහොත වන තෙක් තමා ඒ සම්බන්ධයෙන් දැන නොසිටි බවයි අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

අදාළ නඩු සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබුණු බවත් ඒවා ලබාදී තිබුණේ එම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පැරණි කාර්යාලයට වන බවත් ඒ සම්බන්ධයෙන් තමාගේ කිසිදු දැනුවත්වීමක් නොමැති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙම සිතාසි 07 ට අදාළ නඩු සම්බන්ධයෙන් පවතින සියළු ගෙවීම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවත් ඊට අදාල සියලුම ලියකියිවලි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.

රජයේ සේවකයන්ට ලබා දෙන ආපදා ණය ප්‍රමාණය ලක්ෂ හතර දක්වා ඉහළට

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ් අනුව, එහි දැක්වෙන්නේ 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප් වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බවයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය 2025 මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.