විශ්ව විද්‍යාලවලට අයදුම් කරන සිසුන්ට දැනුම්දීමක්

2024 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා වන අයඳුම්පත් කැඳවීම මැයි 30 මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

හැකි සෑම සිසුවෙකුටම අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත යොමුකරන ලෙස දැනුම් දෙන අතර, www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිස සිය අයදුම්පත යොමුකළ හැකි බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට එරෙහිව අන්ත​රේ විරෝධතා පා ගමනක

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගනිමින් සිටින බවයි සඳහන් වෙන්නේ.

විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා කොටුව ලෝටස් වටරවුමෙන් මාර්ගය වසා දැමීටම පියවර ගෙන ඇති අතර මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ජනපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති අතර හමුවක්

මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට හා සමාජ සුභසාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහාය ලබා දෙන බව ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති සිංහ Fabrício Oliveira ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවැති සාකච්ඡාවේ දී ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර සිංහ සමාජය විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ සිදු කරමින් තිබෙන  ආහාර සුරක්ෂිතතා වැඩසටහන්, විවිධ ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩසටහන් සහ අධ්‍යාපනික ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමටද සභාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ සහතික වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

දේශපාලන සුන්බුන් එකතු වෙලා බලය පිහිටුවන්න එයාලට ජන වරමක් ලැබිලා නැහැ – ජනපති

දේශපාලන සුන්බුන් බවට පත්ව ඇති දේශපාලන පක්ෂවලට එක්වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජනතාව ජන වරමක් ලබා නොදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතාව තම පක්ෂයට ලබාදුන් බහුතර ජන බලයට ගරු කරමින්, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කරන බවයි අරලියගහ මන්දිරයේ පැවති පළාත් පාලන නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

ගැසට් කළ විගසම පළාත් පාලන ආයතන 152ක බලය තහවුරු කිරීමේ හැකියාව තිබෙන බවත්, තවත් සභා 115ක බලය ද පිහිටුවිය හැකි බවත්, ජාතික ජන බලවේගයට තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සඳහා ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක සඳහන් කළා.

T56 වර්ගයේ ගිනිඅවියක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් පමණයි – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුවද සත්‍ය වශයෙන්ම රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය වසරේ සියලුම ඖෂධ මිලදී ගැනීමට යොමුකළ මුදලටත් වඩා වැඩි මුදලක් මෙම වසරේ යොමුකර ඇති බවත් පවතින ගැටලුව විසඳීමට හැකි ක්‍රමය වන්නේ මධ්‍යම බෙහෙත් ගබඩාව තුළ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉක්මන් මිලදී ගැනීමක් ලෙස මාස තුනත් හයත් අතර ආරක්ෂිත තොගයක් ලබාදෙන ලෙස රජයට යෝජනා කර ඇති බවත් එය  ඉතාමත්ම නීත්‍යානූකූල ආකාරයෙන් සිදු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි වැඩිදුරටත් සඳහන් කළේ.

ට්‍රම්ප් යුරෝපා සංගමයට 50%ක තීරුබදු පනවයි

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව, ජුනි 01 වැනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුරෝපා සංගමය පිහිටුවා ඇත්තේ වෙළෙඳාම සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් වාසි ලබා ගැනීම සඳහා බවයි.

තීරුබදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී. හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් පුද්ගල මට්ටමේ දෙවන රැස්වීම මෙය වන අතර, එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් අතර පැවැත්වූ මාර්ගගත  සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම පුද්ගල මට්ටමේ හමුවට අවශ්‍ය පසුබිම සකස් වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවලින්, වෙළෙඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා සොයා බැලීමට හා ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵල ලබා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන්.

මෙම සංචාරයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමක් කැඳවා තිබුණු අතර, ඉදිරි සාකච්ඡාවලින් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සහතික කිරීම සඳහා අවධානය යොමු කළ යුතු ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික උපාය මාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිර්මාල් විග්නේෂ්වරන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දර්ශන පෙරේරා යන අය මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නිල නිවේදනය පහතින්.

news images

කතරගම ඇසළ මංගල්‍යය ජුනි 26 සිට ඇරඹෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසළ මංගල්‍යය ජුනි 26 වැනි දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ජුනි 26 වැනි දින පෙරහැර ආරම්භ කර, ජුලි 10 දක්වා පෙරහැර පවත්වා, ජුලි 11 වැනි දින මැණික් ගඟේ දිය කැපිමේ මංගල්‍යය සිදුකර පෙරහැර මංගල්‍යය අවසන් වන බවයි බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සඳහන් කළේ.

පාද වන්දනාව සඳහා පිවිසිමට කුමන හා යාල වන උද්‍යානය බැතිමතුන් සඳහා විවෘත කිරීම ජුනි 20 සිදු කරන බවද වනජීවි නිළධාරින් මෙහිදී සඳහන් කළා.

ඇසළ මංගල්‍යය වෙනුවෙන් පොලිස් නිළධාරින් 1,200 ක් යොදවන බවත්, රථ වාහන පරීක්ෂාව සහ මත්ද්‍රව්‍ය වැටලීම් ආදිය පොලිසිය විසින් සිදු කරන බවයි මාතර තංගල්ල කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා සඳහන් කර සිටියේ.

පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව අදාළ ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බවයි එම මූලස්ථානය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

news images