පළාත් පාලන ආයතන 161 ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හෙට

පළාත් පාලන ආයතන 161 ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හෙට (23) දිනයේදී නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ගැටලු පවතින සෙසු පළාත් පාලන ආයතන 178 සඳහා සභිකයන් නම් කර එවන ලෙස අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

ලබන ජුනි 02 වැනිදා වන විට පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ.

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඌව හා නැගෙනහිර යන පළාත් සහ හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සහ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

news images

ඉස්සරහට මේ සිදුවන සිදුවීම් ඩබල් වෙන්න පුළුවන් – චමල් රාජපක්ෂ

දැනට සිදුවෙමින් පවතින අපරාධ ක්‍රියා ඉදිරියේදී දෙගුණ විය හැකි බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනපතා සිදුවන සිදුවීම් වලින්ම වටහා ගත හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

සියලු දෙනා මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටිය යුතු බවද රණවිරු සැමරුමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

Miss World තරගාවලියේ Head 2 Head Presentations තරගය සඳහා අනුදි සහභාගී වෙයි

අද (21) පැවති Miss World තරගාවලියේ Head 2 Head Presentations තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර සහභාගී වුනා.

තමන්ගේ ජීවන අරමුණ වන්නේ ධම්ම පදයෙහි ඇති “සබ්බ පාපස්‌ස අකරණං – කුසලස්‌ස උපසම්පදා – සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන ශාසනං” ලෙස දක්වා ඇති පරිදි යහපත් ලෙස ජීවත්වීම බවයි ඊට තරග වදිමින් සිදුකළ කතාවේදී ඇය සඳහන් කළේ.

භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ලෝක සිතියමෙහි පහසුවෙන් සොයා ගැනීමට නොහැකි කුඩා රටක් වුවද, තමන්ගේ රටේ ජනතාවගේ හදවත්, ආත්මයන් සහ බලාපොරොත්තු ඉතා විශාල බවත්, රටක් ලෙස අපගේ රට, ස්වභාවික විපත්, වසංගත සහ ආර්ථික අර්බුදයන්ට මුහුණ දුන්න ද, තම රටේ ජනතාව ඉතා ශක්තිමත් බවද ඇය එම කතාවේදී සඳහන් කළා.

එසේම තමන් ප්‍රජා සේවය අරමුණු කර ගනිමින් “සහේලි” නමින් පදනමක් ආරම්භ කර ඇති බවත්, එම පදනම හරහා ශ්‍රී ලංකාවේ ඔසප් අධ්‍යාපනය, ඔසප් සෞඛ්‍යය සඳහා ප්‍රතිපත්තිමය උපදේශනය සැපයීම සහ පරිත්‍යාග සිදු කිරීම අරමුණු කර ගෙන ඇති බවද ඇය එහිදී සඳහන් කළා.

ලෝක රූ රැජින තරඟයට සහභාගී වීම යනු ඊට තරගවදින සියල්ලන් දැනටමත් ලබා ඇති ජයග්‍රහණයක් බව ඇය විශ්වාස කරන බවත්, ඒ හරහා තමන්ට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකිවූ බවත් ඇයගේ කතාවේදී වැඩිදුරටත් සඳහන් කළා.

බලය වෙනුවෙන් උතුරෙත් දකුණෙත් යළි ජාතිවාදය කරළියට පැමිණ තිබෙනවා – ජනපති

බලය ලබා ගැනී‍ම වෙනුවෙන් උතුරේත් දකුණේත් යළි ජාතිවාදය හිස ඔසවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අප අතර ජීවත්විය යුතුව තිබූ විශාල පිරිසක් යුද්ධය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කළ බවත්, ඔවුන්ගේ දෙමව්පියන් හා ඥාතීන්ද මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකර ඇති බවත්, ජාතියක් ලෙස අප සියලු දෙනාම ඔවුන්ව අනුස්මරණය කළ බවයි අද (19) රණවිරු සැමරුම් දිනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

යුද්ධය යනු විශාල ඛේදවාචකයක් හා විනාශයක් බවද, සටන් කරන ලද කිසිවෙක් යුධ වැදුනේ යුද්ධ අපේක්ෂාවෙන් නොවන බවද, ඔවුන් සියලු දෙනාම යුද්ධ කරන ලද්දේ සාමය අපේක්ෂ‍ාවෙන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

අප මව්බිම, උතුර – දකුණ භේදයකින් තොරව යුද්ධයේ ඛේදවාචකයේ නටබුන් විශාල ප්‍රමාණයකින් ගො‍ඩනැගී ඇති බවත්, දකුණේ මෙන්ම උතුරේද යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් අදටත් තමන්ගේ ස්වාමියාගේ, දරුවාගේ ඡායාරූපයක් තබා ගනිමින් විලාප දෙන බවත්, අපගේ වගකීම වන්නේ රට තුළ යළි මෙවැනි යුද්ධයක් ඇතිවීමට ඉඩ ලබානොදීම බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

අපගේ පරම්පරාව යුද්ධ කර ඇති බවත්, අපගේ පරම්පරාවට සැකය, කෝපය, වෛරය ඇතිවී ඇති බවත්, නමුත් අපගේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක් හා සැකය, කෝපය, වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.

නමුත් විටින් විට බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම හා බලය තර කර ගැනීම වෙනුවෙන් යුද්ධය, ගැටුම්, ජාතිවාදය උපයෝගී කරගෙන ඇති බවත්, ගෝරනාඩුවලට බිය නොවී සාමය සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

උතුරේත් දකුණේත් බලය වෙනුවෙන් ජාතිවාදය නැවත කරළියට පැමිණ ඇති බවද, යුද්ධය අවසන් වුවද, මාතෘ භූමියට පූර්ණ වශයෙන් නිදහස අත්පත් කර ගැනීමට තවමත් හැකියාව ලැබී නොමැති බවද, ගැටුම් නොමැති, අවිශ්වාසය නොමැති, වෛරය නොමැති රටක් නිර්මාණය කිරීම තුළින් පූර්ණ නිදහස අත්පත් කරගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ අනුව ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පවත්වා තිබෙනවා.

මේ සඳහා  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක අතුළු රණවිරුවන් විශාල ප්‍රමාණයක් සහ ඔවුන්ගේ ඥාතීන් රැසක් සහභාගීවී තිබෙනවා.

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ අනුව ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පවත්වා තිබෙනවා.

මේ සඳහා  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක අතුළු රණවිරුවන් විශාල ප්‍රමාණයක් සහ ඔවුන්ගේ ඥාතීන් රැසක් සහභාගීවී තිබෙනවා.

news images

news images

news images

ප්‍රදේශ දෙකකදී යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහන් දෙකක්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් දෙකක් අද (18) වැල්ලවත්ත සහ වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල වෙරළ තීරයේදී එම සැමරුව පැවැත්වෙන අවස්ථාවේ පිරිසකගෙන් විරෝධයක් එල්ල වූ අතර එහි ආරක්ෂාවට පොලීසියද යොදවා තිබුණා.

මේ අතර වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් පැවති අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

news images

news images

news images

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ අද (18) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

විදුලි ගාස්තු 18.3%කින් ඉහළ දැමීමට යෝජනා කෙරේ

විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.

ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි කිරීම සිදු කරන ලෙසයි ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙන්නේ..

විදුලි බල මණ්ඩල යෝජනාව සමාලෝචනය කර මේ සම්බන්ධයෙන් එළැඹෙන 20 වනදා වන විට මහජන අදහස් විමසීම සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමට අයැදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා, ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතු බවයි සඳහන් වන්නේ.

මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියා.

වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.