ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමුවෙයි

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තාවී ඇති බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සදහන් කළේ.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවද ඔහු ප්‍රකාශ කළා.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණිය වන Suchata Chuangsri විසින් දිනාගෙන තිබෙනවා.

මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැණුනා.

මෙහිදී ඉතියෝපියාවේ හසෙට් ඩෙරෙජේ ඇඩ්මාසුට පළමු අනුශූරතාවය හිමිවූ අතර, පෝලන්තයේ මාජා ක්ලජ්ඩා දෙවන අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වුණා.

2025 ලෝක රූ රැජින සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවැදුනු අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතරට පිවිසීමට නොහැකිවීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට සිදු වුණා.

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Miss World 2025 අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අනුදි ගුණසේකර වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් සුබ පැතුම් එක්කර තිබෙනවා.

අද (31) දින පස්වරුවේ සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙවර ලෝක රූ රැජින තරගයේ අවසන් මහා උළෙල අද ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී පැවැත්වීමට නියමිතයි.

අදාළ X පණිවුඩය පහතින්.

news images

Miss World 2025 : අවසන් මහා තරගය අද

2025 Miss World තරගාවලියේ අවසන් මහා තරඟය අද (31) සවස ප.ව. 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

රටවල් 100කට අධික සංඛ්‍යාවකින් රූප රාජිනියන් 100කට අධික දෙනෙකු මෙම තරගය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ අනුදි ගුණසේකර මෙම තරගාවලිය තුල කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.

Miss World තරගාවලියේදී පසුගිය මාසය පුරාවට, රූ රැජිණියන් විසින් ක්‍රීඩා අභියෝගතා, දක්ෂතා ප්‍රදර්ශනය කිරීම්, Head-to-Head Challenge, Top Model Competition, සහ Multimedia Challenge ඇතුළු තරග මාලාවකට සහභාගී වුණා.

මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබන අතර, පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත ඉන් 18 දෙනෙකු දැනටමත් ඒ සඳහා තෝරාගෙන තිබෙනවා.

එම ‍තෝරාගත් 18 දෙනා අතර ශ්‍රී ලංකා රූ රැජින වන අනුදි ගුණසේකර තේරී නොමැති නමුත්, අද පැවැත්වෙන අදියරේදී දක්වන දක්ෂතා අනුව ඇයට අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම 40 දෙනාගෙන් ඇරඹී, එක් එක් මහාද්වීප කළාපයෙන් පස් දෙනෙකු ‍ලෙස 20 දෙනෙකු දක්වා අඩුවන අතර, පසුව එක් එක් මහාද්වීප කළාපයෙන් අවසන් තරගකරුවන් දෙදෙනෙකු බැගින් තෝරා ඉහළම 08 දෙනා තෝරා ගනු ලබනවා.

අවසාන වටයේදී, සෑම මහාද්වීපයකින්ම එක් නියෝජිතයෙකු බැගින් කිරුළ සඳහා තරඟ කිරීමට නියමිතයි.

ඔවුන් අතරින් ජයග්‍රාහකයා 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳිනු ලබන අතර, අනෙක් අය පළමු, දෙවන සහ තෙවන අනුශූරයන් ලෙස නම් කරනු ලබනවා.

කොළඹ මාර්ග කිහිපයක ගස් කඩා වැටීම් වාර්තා වෙයි

අයහපත් කාලගුණය නිසා කොළඹ මාර්ග කිහිපයකටම ගස් කඩා වැටීම් සිදුව ඇති බව පැවසෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ

අයහපත් කාලගුණයෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 29,451 ක් වාර්තා වෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද (30) පස්වරු 4.00 වන විට විදුලිය බිඳ වැටීම් 29,451 ක් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව අදාළ විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩල සේවකයින් මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වෙන්නේ.

විදුලිය බිඳ වැටීම් සම්බන්ධ තොරතුරු 1987 දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේකට අනුර කුමාර ජනාධිපතිවරයාට ස්තූති කරන්න ඕනෙ – හර්ෂ

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව රටේ ජයග්‍රහණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මෙම නඩු තීන්දුව හරහා පෙන්නුම් කරන්නේ විනිසුරු මඩුල්ලට නොබියව තමන්ට සුදුසු යැයි හැ‍‍ගෙන තීන්දුවක් ලබාදීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ස්තූතිවන්ත විය යුතු බවයි SLVLOG නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

දූෂණය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු බවට පත්වීම නිසා, අනෙකුත් අයටත් පාඩමක් වන ලෙස සලකා දැඩි තීන්දුවක් ලබාදී ඇති බවත්, කවුරුන් හෝ මින් ඉදිරියට මෙවැනි දෙයක් සිදුකර ලිස්සා යාමට කටයුතු කරන්නේ නම් එසේ කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

දූෂණය නැති කළ හැකි නම්, රටේ අනාගතයට එය සුබවාදී වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා T-10 තරග පාවා දීමේ සිදුවීමට Galle Marvels හිමිකරුට අත්හිටවූ සිර දඬුවම්

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරග පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත්, ලංකා T10 ලීගයේ Galle Marvels කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඔහුට රුපියල් මිලියන 06ක දඩයක් ද නියම කර ඇති අතර, රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට ද මහනුවර මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඊට අමතරව, විමර්ශනවල කොටසක් ලෙස තක්කාර්ගේ ජංගම දුරකථනයෙන් දත්ත බාගත කර පරීක්ෂා කරන ලෙස ICC දූෂණ විරෝධී ඒකකය කළ ඉල්ලීමකට මහනුවර මහාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.

සාමය වෙනුවෙන් යුද්ධ කළා නම්, ශ්‍රී මහා බෝධියට, දළදා මාලිගාවට ගහන්න ඕන නෑනේ – සරත් ෆොන්සේකා

සෑම පාර්ශ්වයක්ම යුද්ධ කළේ සාමය වෙනුවෙන් බවට ජනාධිපති අනුර කුමාර දිසානායක රණවිරු සැමරුමේදී සිදුකළ ප්‍රකාශය තමන් අනුමත නොකරන බව ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා පවසනවා.

සාමය සඳහා ශ්‍රී මහා බෝධියට හෝ දළදා මාලිගාවට පහරදීමේ අවශ්‍යතාවක් නොවන බවත්, ප්‍රභාකරන් හැසිරුණු ආකාරය අනුව ඔහු යුද්ධ කළේ සාමය වෙනුවෙන් බවට කිසිවෙකුත් විශ්වාස නොකරන බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

හමුදාව පිරිස් බලයෙන් අඩු කිරීමට තමා එකඟ නොවන බවද, හමුදාව විසුරුවා හැර ඉතුරු කරන බිලියන 80 කින් පමණ රට හැදීමට නොහැකි බවද, තවත් ටික කාලයක් ගතවූ විට රෝහල්ද වසා දැමිය යුතු බවට ඔවුන් පවසනු ඇති බවද සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.

රට තුළ මහජන ආරක්ෂාවේ හිඩැසක් පවතින බවත්, වෙඩි තැබීම් සිදුවන්නේ ඒවා වැළැක්වීමට ඇති ආයතනවල යම් දුර්වලතාවයක් තිබෙන නිසා බවත්, මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති දක්ෂ පුද්ගලයින් එම ආයතන භාරගත යුතු බවයි ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේ.

මෙරට ආර්ථිකය 2018 තිබුණු තත්ත්වයට යන්න තවත් අවුරුදු දෙකක් තුනක් ගතවේවි – මහ බැංකුවේ සහකාර අධිපති

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2018 තිබුණු මට්ටමට පැමිණීමට තව වසර දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර පවසනවා.

ඒ අනුව 2019 – 2023 යන වසර පහක කාලය තුළ ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත්තේ 2021 වසරේදී පමණක් බවත්, සෙසු සෑම වසරකදීම වාර්තා වන්නේ ආර්ථිකයේ සංකෝචනය වීමක් බවයි 2024 වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹු වන ශ්‍රී ලංකා ආර්ථිකය මැයෙන් ඊයේ (27) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති දේශනයෙන් අනතුරුව පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය ‍හේතුවෙන් ආර්ථිකය ඉතා පහළ මට්ටමක පැවති බවද ඔහු ප්‍රකාශ කළා.

2018 වසරේ දී රු. ට්‍රිලියන 13.2ක් ලෙස පැවති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය, 2023 වසර වන විට රු. ට්‍රිලියන 11.9ක් දක්වා අඩු වී ඇති බවත්, එය 2024 වසරේ දී රු. ට්‍රිලියන 12.5ක් දක්වා වර්ධනය වී ඇති බවත් ඔහු පවසා සිටියා.