අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කරගැනීම පිළිබඳව ජනපති මූලිකත්වයෙන් සාකච්ඡා

අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

අවාර සමය තුළ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් අළෙවිකරණ ක්‍රමවේද භාවිතයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළට ඔසවා තැබීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ඇති කිරිමෙන් එම ක්ෂේත්‍රයේ මානව සම්පත වැඩිදියුණු කිරීම හා සංචාරක කර්මාන්තයට විදෙස් ආයෝජන ආකර්ෂණය කිරීම යන කාරණා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි සඳහන් වන්නේ.

සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කාර්යාලය මූලික කරගත් ඒකකයක් පිහිටුවීමටද අපේක්ෂා කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශ කර සිටියේ.

වසරේ මුල් මාස පහේ විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 03 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙස සඳහන් වනවා.

ඒ අනුව 2025 වසරේ මුල් මාස 05 තුළ දී මෙරටට ලැබුණු සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 3.1ක් බවයි එහි දැක්වෙන්නේ.

මෙය 2024 වසරේ පළමු මාස 05 තුළ වාර්තා වූ ප්‍රේෂණ වටිනාකම වන ඩොලර් බිලියන 2.624 හා සැසඳීමේ දී 18.2% ක වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන්.

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරියට ඇප

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (05) අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් “දූෂණය” නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවී තිබෙනවා.

ඇයව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා – ජනපති

දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක්වුවද, පැරණි නිලධාරී යාන්ත්‍රණයේ යම් කොටස් පැරණි පුරුදුවලින් ගැලවීමට අසමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ හේතුවෙන් RMV ආයතනයෙන් අයතු මුදල් සමඟ නිලධාරීන් හමුවන බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පාතාල නායකයින්ට ගුවන් බලපත්‍ර සෑදු නිලධාරීන් හමුවන බවත්, රේගුවෙන් නීති විරෝධීව භාණ්ඩ පිට කර ගැනීමට උදව් කළ පිරිස් හමුවන බවත්, පරිසර අමාත්‍යංශයෙන් නිසි අනුකූලතාවයෙන් තොරව බල‍පත්‍ර ලබාදීම් වාර්තා වන බවයි අද (05) පරිසර දිනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

මෙම ක්‍රමය පරිවර්තනය කිරීම සඳහා දේශපාලන අධිකාරිය ලෙස තම පූර්ණ සහයෝගය ලබාදෙන බවද, නිලධාරී යාන්ත්‍රණය ද පැරණි පුරුදු අතහැර අලුත්වීමේ කාලය පැමිණ ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

නිලධාරී යාන්ත්‍රණයට තමා නැවත නැවත ප්‍රකාශ කරන්නේ වෙනස් වන ලෙස බවත්, වෙනස්වීමට සූදානම් නොමැති නම් සහතික වශයෙන් එය වෙනස් කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රක‍ාශ කර සිටියේ.

මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී, පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ජනපති

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්, ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක් බවට පත්කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා – අධ්‍යාපන අමාත්‍යාංශය

චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කර ගන්නා සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, මේ වනවිට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා වූ දේශපාලන මැදිහත්වීම සම්පූර්ණයෙන් නතර කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

එවැනි තත්ත්වයක් තිබියදී, පාසල්වලට ළමුන් ඇතුළත් කිරිමේදී ඇතැම් තැන්වල අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබි ඇති බවත්, එවැනි අක්‍රමිකතා ඇත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ත්‍රිපෝෂ සඳහා බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

දේශීයව බඩඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන, වසරකට අවශ්‍ය ලෙස නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට මෙසේ අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසික අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්, අධ්‍යාපන, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විතව මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව විවිධ ඩිජිටල් අධ්‍යාපන මුල පිරීම් ආරම්භ කර ඇති නමුත් ඒවායේ පවතින අසංවිධිතතාව හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිවී ඇති බවත්, මේ හේතුවෙන් වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ඒකාබද්ධ ඩිජිටල් ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් තීරණය පහතින්.

news images

රට කඩා වැටීමට හේතු ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පෙන්වලා දීලා තියෙනවා – ජනපති

රට කඩා වැටීමට හේතු වූ සාධකයක් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබාදුන් තීන්දුවකින් පෙන්නුම් කර ඇති බවත්, මෑතකදී වංචා දූෂණ සඳහා දඬුවම් ලබාදීමේදී ද එය පෙන්නුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් ‍හා පොදු ජනයා රට මෙවැනි ආර්ථික කඩා වැටීමකින් අත්දැකීම් ලබාගත යුතු බවයි ‍‍‍’බදු ශක්ති’ නමින් ක්‍රියාත්මක බදු සතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

රජයට පැවරී ඇති වගකීම වන්නේ, රට කඩා වැටීමට හේතු වූ සාධක හොඳින් හඳුනාගෙන, ඒවා නැවත සිදුවීම වැළැක්වීම බව ද, එලෙස කඩා වැටීමට හේතුවූ ප්‍රධාන කාරණයක් වන්නේ නිසි පරිදි බදු ප්‍රතිසංස්කරණ ඇති කර, බදු එකතු කර ගැනීමට අසමත්වීම බව ද ජනාධිපතිවරයා‍ ප්‍රකාශ කළා.

එම අසමත්වීම අප විසින්ම නිර්මාණය කරගත් කාරණයක් බවත්, කිසිඳු ආර්ථික තීරණයක් දේශපාලන මූලධර්ම මත සිටිමින් නොගන්නා බවත්, සියලු ‍ආර්ථික තීන්දු තීරණ ගනු ලබන්නේ ආර්ථික මූලධර්ම මත බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා – ජනපති

බදු ගෙවන සියලු දෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බවයි ‘බදු ශක්ති’ නමින් ක්‍රියාත්මක වන බදු සතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

රට තුළ සාමකාමී පද්ධතියක් පෙනෙන්නට තිබුණ ද ඊට යටින් කළු පද්ධතියක් ඇති බවත්, එම කළු පද්ධතිය යම් ජාවාරම්කාර ව්‍යාපාරික ප්‍රජාවක් නියෝජනය කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එසේම එම කළු යාන්ත්‍රණය තුළ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, නීති විරෝධී සන්නද්ධ අවි ගත් පුද්ගලයින් හා මාධ්‍ය ද ඇති බවද, මෙම කළු යාන්ත්‍රණය බිඳින බවට ජනතාවට තමන් සහතිකයක් ලබාදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

සියලු දෙනාම නීතියට යටත්වන පරිසරයක් නිර්මාණය කරන බවත්, බදු ගෙවීමට සෑම පුද්ගලයෙකුටම ආරාධනා කරන බවත්, ඔවුන් ගෙවන බදු මුදල් සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

එක රුපියලක් හෝ නාස්ති කරනවා හෝ වංචා කරනවා නම්, ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට උපරිම මැදිහත්වීම සහතික කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.