සාමකාමීව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමුකර සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව දෙරට අතර කටයුතු සාමකාමීව සිදුකරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ඉල්ලා සිටින බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ද කටයුතු කරන බවත් එලෙසම ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබාදී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

ජනපති ජර්මනියේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් හමු වෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (13) පෙරවරුවේ බර්ලින්හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ දී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් (Tourism and Travel Industry Associations) සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් (Outbound Travel/Tour Operators) සමඟ හමුවකට එක්වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය  ගෙන ඇති සාධනීය පියවර පිළිබඳව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා විශේෂයෙන් සංචාරක පහසුකම් වැඩි කිරීම, ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පෙන්වා දෙමින් තිරසාර සංචාරක ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බව සඳහන් කර තිබෙනවා.

එහිදී, සංචාරක කර්මාන්තයේ මානව සම්පත සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, සංස්කෘතික හා පාරිසරික සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය, පරිසරය ආරක්ෂා කර ගැනීම ආදි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ඉන්දියාවේ ගුවන් අනතුරට ජනපති ශෝකය පළ කරයි

ඉන්දියාවේ සිදු වූ ගුවන් අනතුරින් දිවි අහිමි වූ ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැඹුරු ශෝකජනක මොහොතේ, ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

එයාර් ඉන්දියා ගුවන් යානයේ (AI171) ඛේදජනක අනතුර ගැන මම දැඩි ලෙස කණගාටු වන බවත් යානයේ සිටි සියලු දෙනාගේ පවුල්වලට අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.

news images

පොලිස් ස්ථානාධිපතිවරුන් 34 කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 34 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව අදාළ ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇති බවයි එම මූලස්ථානය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

news images

Photo Story : ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.

Bellevue Palace වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහාද එක්වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

news images

news images

news images

news images

කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම ගැන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් මේ වන විට කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යන විමර්ශනයට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඇය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබාදුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි

2019 වසරේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196.8ක් ප්‍රවාහනය කරමින් සිටියදී උතුරු මුහුදේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි ධීවරයින් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුවක් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව යළි විභාග කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණයට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ගනු ලැබූ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමට අවසර ලබා දෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සිර දඬුවමට එරෙහිව නලින් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000  සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරු කර වසර 25 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇති බවයි සඳහන් වෙන්නේ

අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවත් ඒ අනුව අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ.

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා CID අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැදවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී අනාවරණයවී තිබෙන්නේ, ජනාධිපති   පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවයි.

පොදු සමාව යටතේ අනීතිකව සිරකරුවන් නිදහස් කිරීම ගැන තොරතුරු හෙළිවෙමින් තිබෙනවා – පොලීසිය

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

පසුගිය වෙසක් පොහොය දිනයේ පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව තවත් සිරකරුවන් කිහිපදෙනෙකු හට බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදී නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06 වැනි දින ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යොමු කර තිබූ බවයි එහි සඳහන් වෙන්නේ.

එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එසේම මේ දක්වා සිදුකළ විමර්ශන අනුව මෙම පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතින බවත් එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට පෙරද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් නිදහස් කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බවයි ‍පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images