ප්‍රතිදේහ එන්නත් ලෙස ලබාදී ඇත්තේ විෂ බැක්ටීරියා සහ ලුණු වතුර බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රදේහ එන්නත් තුළ තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියා සහ ලුණු බවට ජර්මනියේ රසායනාගාරයකදී සිදුකළ පරීක්ෂණ‍කදී තහවුරුවී ඇති බව නීතිපතිවරයා අද (19) අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සහ රිටොක්සිමැප් යන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම ‍ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් ජර්මනියේ ප්‍රතීතකරණ විද්‍යාගාරයක සිදුකළ පරීක්ෂණ වාර්තාවේ අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

එහි දක්වා ඇති පරිදි හිමියුන් ඉමියුනෝග්ලොබියුලින් යැයි යොමු කළ ද්‍රවණයේ කිසිඳු ඖෂධමය ගුණාත්මකභායකින් යුතු නොමැති බවත් හිමියුන් ඉමියුනෝග්ලොබියුලින් නමින් මිනිසුන්ට ලබාදීමට මිලදීගෙන ඇත්තේ මිනිස් සිරුරට අහිතකර විෂ බැක්ටීරියා ඇතුළත් ද්‍රවණයක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

එසේම පිලිකා ‍ඖෂධයක් වන රිටොක්සිමැප් නමින් තිබී ඇති ද්‍රවණයේ පිළිකාවකට එරෙහිව සටන් කළ හැකි කිසිඳු ප්‍රෝටීන අඩංගු අන්තර්ගතයක් තිබී නොමැති බවත් එහි තිබී ඇත්තේ සෝඩියම් ක්ලෝරයිඩ් එසේත් නොමැති නම් ලුණු බවට පෙන්වාදුන් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රතිදේහ එන්නත් ලෙස මනුෂ්‍ය ශරීරයට අහිතර විෂ ජලය සහ ලුණු වතුර ලබාදී ඇති බවත් මේ සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1444 ක මුදලක් වියදම් කර ඇති බවයි.

බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමයි

අද (19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

ඒ අනුව සභාව පිහිටුවීමට අද සූදානම් කර තිබුණද, බේරුවල නගර සභාවට තේරී පත්වූ සජබ මන්ත්‍රීවරුන් 06 දෙනාගෙන් 04 දෙනෙකුට ඒ බව දන්වා එවන ලිපිය නොලැබීම නිසා එම මන්ත්‍රීවරුන් හතරදෙනා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනු බවයි සඳහන් වන්නේ.

එහිදී අදාළ ලිපි නිසියාකාරව ලබාදී, දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන ලෙස එහිදී අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී බේරුවල නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් මන්ත්‍රී ආසන 07ක්, සමගි ජන බලවේගය විසින් මන්ත්‍රී ආසන 06ක් හා ජාතික ජන බලවේගය විසින් මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තා‍.

පරණ දේශපාලනය තවමත් බූවල්ලෙක් වගේ හැම තැනම අඬු විහිදුවාගෙන ඉන්නේ – ජනපති

සෑම තැනකම බූවල්ලෙක් මෙන් අඬු විහිදුවාගෙන ඇති පැරණි දේශපාලනය නව පරිවර්තනයකට ලක් කරන්නේ කෙසේදැයි වන අභියෝගය ආණ්ඩුව හමුවේ ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ගමන් කරමින් තිබූ දේශපාලනය, තීරණාත්මක පරිවර්තනයකට ලක්වෙමින් ඇති බවත්, පැරණි දේශපාලනය හරහා දීර්ඝ කාලයක් බලය ‍හෙබවීම හේතුවෙන්, එම බලය විසින් නතු කරගත් ආයතන ව්‍යුහයන් රාශියක් ඇති බවයි අද (18) මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

තවමත් එම බූවල්ලාගේ අඬු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නොහැකි වී ඇති බව තමන් පිළිගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියා.

ආණ්ඩුව විසින් බලය ලබා ගැනීම යන කාරණය නිසා ආර්ථිකයට සමීප සංවිධාන, ආයතන, පුද්ගලයින් හා ක්ෂේත්‍රවල යම් තැති ගැන්මක් ඇතිවූ බවද, විකෘති කරන ලද අදහස් ගොඩනගා තිබුණු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

අත්පත් කර ගන්නා ලද දේශපාලන පරිවර්තනය ස්ථාවර කර ගැනීමට නම් මෙම අභියෝගයට මුහුණ දී එය සමනය කරගත යුතු බවත්, එසේ නොමැතිව දිගු කාලීන ආණ්ඩුකරණයට ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය නොවන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය යන අයට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන්, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ඔවුන් තිදෙනා එක් සැකකරුවෙකු රුපියල් 50,000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග නියෝග කර තිබුණා.

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන්, ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

2029 සාමාන්‍ය පෙළ විභාගය නව විෂය නිර්දේශය යටතේ පවත්වනවා – අගමැතිනිය

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන විෂයභාර ඇමතිනී හරිනි අමරසූරිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් ඊයේ (16) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී පවත්වා ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

2026 වසරේ සිට 01 සහ 06 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශය හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේදී 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුකූලව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බවයි පැවසෙන්නේ.

09 වන ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදියර 1 යටතේ, ‘විමසිලිමත් බවින් සිටින ලෙසට’ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර හා බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල, අයගම හා රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාව සඳහා තරග කළ කිසිඳු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරයක් ලබා ගැනීමට නොහැකි වුණා.

ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජන බලවේගයට සභික ධුර 29ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 05ක් හිමි වූ අතර මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක්, සර්වජන බලයට සභික ධුර 02ක්, එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක් හා ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ 05ට සභික ධුර දෙක බැගින් 04ක් හිමි වුණා.

මීට අමතරව එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ ස්වාධීන කණ්ඩායම් අංක 02ට එක් සභික ධුරය බැගින් හිමිවී තිබුණා.

සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වනවා.

දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන ජූලි මස 2 දා උදෑසන 10.00 ට වෙන්දේසි කරන බවයි කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් සඳහන් කර තිබෙන්නේ.

ලීසිං සමාගමට අයවිය යුතු 104,229,342ක මුදලක් අයකර ගැනීමේ අරමුණින් එම ආයතන තුන ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට තීන්දු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සමාගමට අය විය යුතු 108,309,342ක මුදලින් රුපියල් 4,080,000ක පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති බැවින් ඉතිරි මුදල අය කරගැනීමේ අරමුණින් 2022 වසරේ නොවැම්බර් මස 10 වනදා ලබා දුන් නඩු තීන්දුව අනුව මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි.

ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබයි

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව ඇයට සුළු තුවාල පමණක් සිදුව ඇති බවත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.

ඇය ඊශ්‍රායලයේ Bat Yam ප්‍රදේශයේ සේවය කර ඇති බවයි  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ ක‍ළේ.