අවුරුදු සමයේ අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවයි එම සංස්ථාව සඳහන් කළේ.

ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මෙම කාලපරිච්ඡේදය තුළ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීමට ද තීරණය කර ඇති බවයි ඛණිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

වීසා කාලය ඉක්මවූ 2,400 කට අධික විදේශිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

වීසා කාලය ඉක්මවූ 2,400 ඉක්මවූ විදේශිකයන් පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශිකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග මේ සතියේ අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර, ඒ අනුව පොලීසියේ මැදිහත්වීම මත ඉතා ඉක්මනින් මෙයට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය සඳහන් කළේ.

විදුලිය තාවකාලිකව විසන්ධි කිරීම ලබන 22 වැනි දා දක්වා අත්හිටුවයි

එළඹෙන උත්සව සමයට පෙර නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඒ අනුව ලබන 22 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අලුත් අවුරුදු සමය තුළ විවිධ උත්සව සංවිධානය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

උත්සව සමයේ ගිනිකෙළි හා මාර්ග අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්න – සෞඛ්‍ය අංශ

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උත්සව සමයේ හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර, 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බවට සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙරට සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගවලින් පිටත සිදුවීම හේතුවෙන් රියදුරන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙහෙළියගේ රීට් පෙත්සම ගැන තීරණය අප්‍රේල් 30 වැනිදා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරු වශයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කරනු ලැබීය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ අද (අප්‍රේල් 09 වැනිදා) සලකා බැළුණි.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

තමා අත් අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් දෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

 

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම රිට් පෙත්සමේ සඳහන් කර නොමැති අතර එය අධිකරණය හමුවේ කළ කරුණු වසන් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියේය.

 

තමන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථාවක ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී එම නීතිමය පියවර අනුගමනය කිරීම මග හැර පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවට පැමිණීම සම්මත නීතිමය පටිපාටිය උල්ලංඝණය කිරීමක් බවත් එය අධිකරණ බලය අවභාවිතයට ලක් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.

පෙත්සම්කරු නීතිය මගහැර තමාට රිසි අධිකරණ තෝරා මෙවැනි නඩුකර ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එම අවස්ථාවේදි ප්‍රශ්නයක් මතු කළ විනිසුරු සමරකෝන් “ඔබ මේ අධිකරණයට චෝදනා එල්ල කරනවාද?” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ” ස්වාමීනි…මා කිසිම අවස්ථාවක ඔබ තුමාගේ අධිකරණයට චෝදනා එල්ල කරන්නේ නෑ. මා චෝදනා කළේ පෙත්සම්කරුට. පෙත්සම්කරු නීතිය අවභාවිතයට ලක් කිරීම මැඩ පැවැත්විය යුතුයි .” යනුවෙන් කියා සිටියේය.

මෙම පෙත්සමට අදාළ දිවුරුම් පෙත්සම පෙත්සම්කරු විසින් අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී බව එහි සඳහන් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙත්සම්කරුට පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම සඳහා පමණක් අනුමැතිය හිමි වී තිබෙන බවත් කියා සිටියේය.
බන්ධනාගාර රෙගුලාසිවලට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කළ යුත්තේ බන්ධනාගාර නිලධාරිකු ඉදිරිපිට බවත් මෙම නඩුවට අදාල දිවුරුම් පෙත්සම අත්සන් කිරීමේදී පෙත්සම්කරු එම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරු බන්ධනාගාර පනත යටතේ වරදක්කර ඇති අතර පාර්ලිමේන්තු වරප්‍රසාද ද අවභාවිතයට ලක් කර තිබෙන බවත් චෝදනා කළේය.
ඒ අනුව අධිකරණය ඉදිරියේ පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නෛතික පදනමක් එම පෙත්සම තුළ අන්තර්ගත වී නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් සිය පිළිතුරු දේශන ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා පෙත්සම්කරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වැරදි සහගත බවත් ඔහුට එරෙහිව පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ විධිමත් සහතිකයක් ඉදිරිපත් කර නොතිබූ බවත් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ නඩුකරයේ සෙසු සැකකරුවන් සදහා ඉදිරිපත් කළ සහතිකය පෙත්සම්කරු සඳහා ද අදාළ කරගන්නා ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු චෝදනා කර සිටියේය.

ඒ අනුව පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොදු දේපළ පනත යටතේ වු සහතිකයක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බව පෙනී යන්නේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ මත පදනම්ව නඩුව අවසන් වන තුරු පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බවත් කියා සිටියේය.
පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ මහාධිකරණය හමුවේ බවත් මහාධිකරණය හමුවේ එවැනි නඩු විභාගයක් ආරම්භ වී නොමැති අවස්ථාවක මෙම පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අතරමැදි පෙත්සමක්

මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කියා සිටියේ මෙම නඩුකරයට සම්බන්ධ අපරාධමය ක්‍රියාවලිය හේතුවෙන් මහජනතාව අගතියට පත්ව ඇති බවයි.

ඒ අනුව මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන මෙම නඩුකරයට මැදිහත්වීමට ලංකා නීතිඥ සංගමය තීරණය කළ බවත් මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ සියලු මූලික විරෝධතා තමන් පිළිගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඉන්දියානු ණය ක්‍රමය යටතේ බවට පෙත්සම්කරු ප්‍රකාශ කළත් එය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් බවට කරුණු අනාවරණය වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මාතර, මාතලේ, මහනුවර වැනි රෝහල් වල ප්‍රතිකාර ගත් රෝගීන්ට සංකූලතා මතුවී තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ගත් රෝගියෙකු මියගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

සියලු කරුණු සලකා බලා මෙම පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

(උපුටා ගැනීම -BBC සිංහල සේවය )

අලුත් අවුරුදු සමය වෙනුවෙන් බස් රථ 1,400 ක් හා විශේෂ දුම්රිය 12 ක් ධාවනයට

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා මේ වනවිට ආරම්භ කර ඇති බව ප්‍රවාහන බලධාරින් පවසනවා.

ලංකා ගමනාගමන මණ්ඩලය උත්සවය සමය වෙනුවෙන් බස් රථ 1,400ක් ධාවනයට එක්කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

උත්සවය සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන), නන්දන ඉඳිපොලගේ සඳහන් කළේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අනුව මේ වසරේ සිට එම වෛද්‍ය උපාධි වැඩසටහන සඳහා දේශීය සිසුන් ගෙවීම් පදනමින් සහ උසස් පෙළ Z අගය සහ අනෙකුත් සුදුසුකම් මත පදනම්ව ඇතුළත් කර ගැනීමට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6614f24480e7b

ගම්පහ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ අද (08) සවස සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද පස්වරු 4.00 ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (08) ජනතා අයිතියට පත්කර තිබෙනවා.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි  දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බවට නිරීක්ෂණය වී ඇති  බවයි වාර්තා වෙන්නේ.

එම ප්‍රමාදය මඟහරවා ගැනීම ඉලක්ක කර  මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතිය සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6613ce50ee8e2pdf_page_0

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීම කඩිනම් කරන ලෙස උපදෙස්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම්දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වලට මාස දෙකක් සඳහා එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා දීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

අස්වැසුම ප්‍රතිලාභීන්, අභියාචනා ඉදිරිපත් කර ඇති පුද්ගලයින් අතරින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා තෝරාගන්නා පුද්ගලයින්, අස්වැසුම වැඩසටහන හරහා ප්‍රතිලාභ නොලැබෙන සමෘද්ධි ප්‍රතිලාභීන්, අස්වැසුම හෝ සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අමතර මූල්‍යාධාර ලබන වැඩිහිටි පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින් සහ නිදන්ගත රෝගී පුද්ගලයින් සඳහා මෙම සහල් මලු බෙදාදීමට නියමිතයි.