සංචාරකයින් සඳහා e-Visa ක්‍රමය අද සිට ක්‍රියාත්මකයි

සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට e-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආරම්භයේදී භාෂා පහකින් e-Visa අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.

මාර්ගගත ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම් www.srilankanevisa.lk වෙබ් අඩවිය හරහා සිදු කෙරෙන බවද සඳහන්.

නව ක්‍රමවේදය හරහා සංචාරක වීසා මාස 6ක කාලයකට ලබා ගත හැකි බවයි හර්ෂ ඉලුක්පිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

අවුරුදු සමයේ නීති කැඩූ වෙළඳුන් 700 කට නඩු පැවරීමට පියවර

අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා වැටලීම් 700ක් සිදුකල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම වැටලීම්වලදී නීතියේ රැහැනට කොටුකර ගත් පිරිසට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පවරන බවයි එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ සඳහන් කළේ.

භාණ්ඩ මිලදී ගැනීමේදී මිල වෙනස් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් සහ මිලදී ගන්නා භාණ්ඩයට බිල්පතක් ලබා ගැනීමටද පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පහළට – බේකරි හිමියන්

මෙම වසරේ කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

බිත්තර නිෂ්පාදකයින් අසාමාන්‍ය ලෙස බිත්තර මිල ඉහළ දැමීම මෙම තත්ත්වයට හේතුවූ බවයි එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

ඒ අනුව බිත්තර ආනයනය නැවැත්වීමක් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, එසේ නතර කිරීමක් සිදු කළහොත් යළි බිත්තර මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර එම අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි පොලීසිය සඳහන් කළේ.

බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බවත් මේ හේතුවෙන් රථවාහන නීති රීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනිද්දා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මකයි – ලංගම

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අනිද්දා (17) දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, පවතින පෞද්ගලික බස් රථ වලින් 25% ක පමණ බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක්කරන බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර දියත් කරයි

ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම යුධමය තත්ත්වය පිළිබදව අමෙරිකාව ඇතුළු රටවල් රැසක අවධානය යොමුව ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් ද කැදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Kristalina Georgieva යළිත් IMF කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට

දෙවන වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව ලෙස සේවය කිරීම සඳහා Kristalina Georgieva තෝරාපත් කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ඒකමතික තිරණයකට අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව Kristalina Georgieva ට ලබන ඔක්තෝම්බර් 1 වනදා සිට තවත් අවුරුදු 05ක් එම ධූරය හිමි වනවා.

පොලිස් නිලධාරීන් සීමාව ඉක්මවා බලය පාවිච්චි කළොත් ඒවාට පුද්ගලිකව වගඋත්තර බඳින්න වෙනවා – පොලිස්පති

පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී සීමාව ඉක්මවා බලය පාවිච්චි කළහොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව වගඋත්තර බඳින්නට සිදුවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට එම සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, අදාළ චෝදනාව එල්ල කරන අයද නීතිවිරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ වෙනත් කටයුතු සම්බන්ධව පෙර වැරදි ගණනාවක් ඇති පවුලක අය බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අහංගම ප්‍රදේශයේදී ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස් භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු 47 හැවිරිදි ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

අද (12) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

6618883b93b2d 6618883b816f1