රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ චූදිතයන් සිව්දෙනෙක් නිදොස් කොට නිදහස් කෙරේ

රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) තීන්දු කර තිබෙනවා.

2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ගම්පහ මහාධිකරණය මේ බව සඳහන් කර තිබෙනවා.

ගම්පහ නැදුන්ගමුවේ පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගත ජලය අපවිත්‍රවීම නිසා එම කම්හල ඉවත් කරන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් 2013 ජූලි මස 27 වැනිදා සිට දින පහක් පුරා පැවැති සාමකාමී විරෝධතාවයට 2013 අගෝස්තු මස පළමු වැනිදා යුද හමුදාව විසින් පහර දී වෙඩි තැබීමක් සිදුකළා.

එම ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය අතර තවත් පාසල් සිසුහු 10කට ආසන්න ගණනක් ඇතුළු 50ක පමණ පිරිසක් තුවාල ලැබුවා.

උසස්පෙළ පන්ති ජූනි 04 වනදා ආරම්භ වෙයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමුකර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහ කොට්ඨාස කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවද සඳහන්.

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට අති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල මඟින් මොන්ටේගු සරච්චන්ද්‍ර ඉල්ලා තිබෙනවා.

අදාළ පැමිණිල්ල ඇතුළත් ලිපිය පහතින්.

6645beb31e738 6645beb30f144

මිලියන 9කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ ආවේක්ෂණ රාජකාරීවලදී මෙරටට එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි තිබී මත්පෙති 150ක්, කුෂ් ග්‍රෑම් 466ක් සහ කොකේන් ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 9කට ආසන බවයි සඳහන් වෙන්නේ.

රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව මාළිගාකන්ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට මෙලෙස මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

විරෝධතාකරුවන් ඩීන්ස් පාර, ටී බී ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවයි අදාළ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අධ්‍යාපන නිලධාරීන් 1000කට ශිෂ්‍ය භට බලකායේ තනතුරු

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගීතා හා පරිපූරක හමුදා පනතේ V වන කොටස යටතේ පරිපූරක හමුදාමය ආයතනයක් වශයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

664354b322d76

කෙහෙළිගේ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබ තිබුණා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙසත් එදින පෙත්සම මුල සිට යළි සලකා බැලීමටද අධිකරණය නියම කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

නෙළුම් කුළුණේ Base Jump සිදුකරමින් සිටි විදේශිකයෙකු තුවාල ලබයි

කොළඹ නෙළුම් කුළුණේ Base Jump සිදුකරමින් සිටි විදේශිකයෙකු වහලකට ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා.

Base Jump කිරීම සඳහා නෙළුම් කුළුණෙන් පහළට පැන ඇති විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම ප්‍රමාද වීම නිසා ඔහු මෙසේ වහලයක් මතට ඇද වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබූ විදේශිකයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

අද (13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

මෛත්‍රී ශ්‍රීලනිප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පක්ෂ සභාපති ධුරයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.