කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන වාහන නවතා තැබීම ගැන දැනුම්දීමක්

කටුනායක ගුවන් තොටුපොළෙහි පැමිණීම් පර්යන්තය පිටත වාහන නවතා තැබීම ක්‍රමවත් කිරීම සඳහා ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රියදුරෙක් නොමැතිව වාහන එම ස්ථානයේ නවතා තැබීම තහනම් වන අතර, ආගමන ගුවන් මගීන් රැගෙන යෑමට පැමිණි වාහන අදාළ රථගාල් වල සිට නියමිත වේලාවට පමණක් පැමිණීමේ පර්යන්තය පිටතට පැමිණිය යුතු බවයි සඳහන් වෙන්නේ.

රියදුරු සහිතව ද පරිශ්‍රය තුළ වාහන තදබදයක් ඇතිවන පරිදි විනාඩි 30කට වඩා එම ස්ථානයේ ගැවසෙන වාහන සඳහා ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යනවිට විශේෂ ගාස්තුවක් අය කරන බවයි ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා සමාගම සඳහන් කළේ.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව REMAL සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමගින් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති REMAL සුළි කුණාටුව අද (26) පෙරවරුව වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නැවත දැනුම්දෙනතුරු ධීවර කටයුතු සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6652e5d76d6f5 6652e5d730f5b

සියලුම ජනතාවගේ නිශ්චල සහ චංචල දේපොළ ගැන තොරතුරු ලබාදීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල අයිතිය හිමිකම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු සහ කොටස් වෙළෙඳපොළේ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු නිලධාරීන් විසින් පරිශීලනය කරන ලද තොරතුරු ආදිය ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන බැංකු නොවන මූල්‍ය ආයතන ද ඇතුළත්ව ඕනෑම මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යන සියලුම ජංගම ගිණුම් පිළිබඳ තොරතුරු සහ ණය හා අත්තිකාරම් පිළිබඳ තොරතුරු ද ලබාදිය යුතුයි.

යම් තැනැත්තෙකු හෝ රජයේ ආයතනයක් විසින් මෙම නිවේදනයේ සඳහන් අප්‍රේල් 01 වන දිනට පෙර යම් තොරතුරක් පවත්වාගෙන ගොස් නොමැති නම් මේ වසරේ ජුලි 01 වනදා සිට එම තොරතුරු පවත්වාගෙන යාම ආරම්භ කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවීමට නොහැකි නම්, එම සමාගම්වල බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදෙනවා – රංජිත් සියඹලාපිටිය

රුපියල් 1350 ක මූලික වැටුප හා රුපියල් 350 ක විශේෂ දීමනාව සමග රුපියල් 1700 ක් දක්වා වතු සේවක වැටුප් වැඩි කිරීම පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

යම් සමාගමක් එම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවත්, අදාල සමාගමට එවැනි වැටුපක් ගෙවා ගැනීමට නොහැකි වන්නේ බාහිර ගැටළුවක්ද, නොඑසේ නම් අභ්‍යන්තර ගැටළුවක්ද යන්න එම කමිටුව මගින් සොයා බැලීම සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වීම අදාළ සමාගම්වල අභ්‍යන්තර ගැටලුවක් නම්, එම සමාගම් සමග ඇති බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදීමට රජය සූදානමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කණගාටුව – ලං.වි.ම. ඉංජිනේරු සංගමය

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආපදා තත්ත්වයන් යටතේ විදුලිය බිඳ වැටීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, එම බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරලීම සදහා මේ වනවිට ලංවිම සේවයේ යෙදී සිටින සීමිත තාක්ෂණික කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් කැපකිරීම් සිදුකරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

රජය, විෂය භාර අමාත්‍යවරයා සහ ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පුරප්පාඩු සඳහා නිසි බඳවා ගැනීම් සිදුකිරීමට හා දැනට සේවයේ නියුතු සේවකයින් රඳවා තබා ගැනීම සඳහා කිසිදු සාධනීය පියවරක් නොගත් බවත්, සේවකයින් හට රැකියාව එපා වෙන තැනට පත්කර සේවය හැර යාමට මඟ සැලැසූ බවත්, සේවකයන් නොමැති වීමෙන් සිදුවන බිඳවැටුම් යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් වල වගකීම ඔවුන් ඍජුවම භාරගත යුතු බවත් එම සංගමය අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින්.

66515188c6a47pdf_page_0

6651518923e50pdf_page_1

මිනිරන් පතල් අත්පත්කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා – Press Trust of India

ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් අත්පත්කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව Press Trust of India නම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Lithium-ion සහ අනෙකුත් බැටරිවල ඇනෝඩ සඳහා බහුලව භාවිතා කිරීම හේතුවෙන් මිනිරන්වල ඉල්ලුම ඉහළ යමින් පවතින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ මූලික සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචි මාර්ග පැවසූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

අදාළ වාර්තාව මෙතැනින් සහ පහතින්.

665040c5dd594

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවයි සඳහන් වෙන්නේ.

බුද්ධ රශ්මි වෙසක් කලාපය මෙවර CBL Munchee අනුග්‍රහයෙන් ගංගාරාමයේදී

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොළඹ ගංගාරාම විහාරස්ථානය ඒකාබද්ධව පවත්වනු ලබන “බුද්ධ රශ්මි” වෙසක් කලාපය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර මෙම වෙසක් කලාපයේ බැතිබර දායකත්වය වෙනුවෙන් CBL Munchee ආයතනයද එකතුවී සිටිනවා.

මෙම වෙසක් කලාපය මැයි මස 23‍, 24‍ හා 25 යන දිනවලදී කොළඹ ගංගාරාමය අබියස පැවැත්වීමට නියමිතයි.

මෙවර වෙසක් කලාප 420 ක් හා තොරණ 321 ක් ඉදිවෙයි

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එසේම දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීම නියමිත බවත් වාර්තා වෙනවා.

වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

සුරාසැල් හෙට සහ අනිද්දා වැසෙයි

වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් දින දෙකක් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මැයි 23 සිට 24 යන දෙදින මෙලෙස වසා තැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.