ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්නේ නෑ – ජාතික ගමනාගමන කොමිසම

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කරනවා.

අවස්ථා දෙකකදීම ඩීසල් මිල අඩු කළද සමස්ත ලෙස ඒ අඩුවීමේ ප්‍රතිශතය 2.8%ක් පමණක් බවත්, කොමිසමට අනුව බස් ගාස්තු අඩු කිරීමක් ක්‍රියාත්මක කිරීමට නම් අවම වශයෙන් 4% ක අඩුවීමක් අවශ්‍ය වන බවයි එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ.

එසේම වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් මේ මාසය තුළ සිදු කිරීමට නියමිත බවද, එහිදී ඩීසල් මිල පහත වැටීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකොට බස් රථ අමතර කොටස්වල මිල අඩු කිරීම ඇතුළු කරුණු දොළහක් සැලකිල්ලට ගනු ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

එංගලන්ත ජාතික තරුණිය​කගේ බෑගය සොරකම් කළ සැකකරු අත්අඩංගුවට

එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20,000 ක පමණ වටිනා දෑ අඩංගු බෑගය පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ බස් රථයක් තුළදී සොරාගත් පුද්ගලයා කැලණිය පෙතියාගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බවයි පිටකොටුව පොලිසිය සඳහන් කළේ.

එම සැකකරු සොරාගෙන තිබූ ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 94 හැවිරිදි වියේ පසු වුණා.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචිව සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

‘හුනුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ ඔහුගේ වේදිකා නාට්‍ය සඳහා ඔහු සංගීතය සපයා තිබෙනවා.

“යුද්දෙට මම ගියා ගෑනි ගෙදර තියා” ගීතයද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ නිර්මාණයන් අතර ප්‍රසිද්ධ නිර්මාණයක්.

රටක් ලෙස වැටී සිටි අප දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණයි – ජනපති

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවයි උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ නිවේදනය පහතින්.

ආචාර්ය පුන්සර අමරසිංහට ඇප

අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු මුදාහැර ඇති බවයි වාර්තා වෙන්නේ.

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මැතිවරණ කොමිසම සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

මෙරට අමෙරිකානු තානාපති Julie Chung හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අතර හමුවක් සිදුව තිබෙනවා.

රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති බවයි සඳහන් වෙන්නේ.

ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මීට පෙර එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබුණා.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන ලෙස ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විජයදාස රාජපක්ෂට වාරණ නියෝගයක් නිකුත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ එම පක්ෂයේ සාමාජිකයෙක් වශයෙන් පෙනී සිටීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ලසන්ත අලගියවන්න විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂට මීට පෙරද තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

අවුරා ලංකා සභාපති තාඹුගල ඇප මත මුදා හැරේ

රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගලව ඇප මත මුදාහැර තිබෙනවා.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (27) ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැක පිට අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.