O/L පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද සිට ආරම්භ වෙයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද (28) ආරම්භ වනවා.

ඒ අනුව අද සිට දින 10 ක් එම අදියරේ ඇගයීම් සිදුකෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරුපත්‍ර වලින් 80% ක් පමණ මේ වනවිට පරීක්ෂා කර අවසන්ව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

නීති ශිෂ්‍ය සංගමයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක්

“නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණ” යන මැයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිපත්ති පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව මෙම වැඩසටහන හෙට (28) පෙරවරු 10.30 සිට නීති විද්‍යාල ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය හා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ග්‍රාම නිලධාරීන් දින දෙකක් රාජකාරීවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ග්‍රාම නිලධාරීන් අද (27) හා හෙට (28) යන දින දෙක තුළ සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

2016 වසරෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව, ඉන්ධන දීමනාව, නිල ඇඳුම් දීමනාව, සන්නිවේදන දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ.

ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අමතරව මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ගුරු-විදුහල්පති වර්ජනය හෙටත් පැවැත්වෙයි

කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් හෙට (27) ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව, ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කර තිබුණා.

ඔවුන් විරෝධතා පා ගමනින් යාමට උත්සාහ කිරීමත් සමග පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙයි

ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹ තිබෙනවා.

ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ මෙම ගිවිසුම මගින් සැලකිය යුතු ණය සහනයක් හිමිවන බවයි වාර්තා වෙන්නේ.

උත්තර පත්‍ර සමීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට නිර්දේශ ලැබී තිබෙනවා – අධ්‍යාපන අමාත්‍යංශය

අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

තවද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වු මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තීය සමිති දැනුවත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන ලද යෝජනාව කොමිසම විසින් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව එම ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ ඊට අදාල අනෙකුත් කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවේ නිර්දේශ පරිදි හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

667a7974d6745

ජනපති බදාදා ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පවසනවා.

ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම තවත් දින 105 කින් මැතිවරණයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද (24) සිට විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් අද සිට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ලේකම් අජිත් කේ. තිලකරත්න සඳහන් කළේ.

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක අතර වැඩ වර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අන්‍යධන සේවකයින් සහ රාජ්‍ය වැටුප් කමිටුව අතර සාකච්ඡාවක් හෙට (25) පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

එසේම සිය ගැටලුවලට විසදුම් නොලැබෙන්නේ නම්, අනිද්දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් බව විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ සඳහන් කළා.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (25) හා අනිද්දා (26) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව එම කමිටුවේ විධායක සභික සම්පත් දේශප්‍රිය සඳහන් කළා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට හා අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම්ව සිටින අතර, රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උදුගොඩ සඳහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

සංස්පර්ශ 2024 – සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් තරග අවසන් වෙයි

සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරන ‘සංස්පර්ශ 2024’‍, සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් තරග අද (23) අවසන් වුණා.

අද කොළඹ D.S සේනානායක විද්‍යාලයේදී පැවති මූලික වටයේ තරග සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජය කරමින් තරගකරුවන් 2500 කට අධික පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ‘සංස්පර්ශ 2024’‍, සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ මීළඟ අදියර මහනුවර දිස්ත්‍රික්කයේ කිංස්වුඩ් විද්‍යාලයේ දී ජුනි 29 වනදා පැවැත්වීමට නියමිතයි.