සවස දුම්රිය ගමන්වාර 30 ක් පමණ ධාවනය කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

දුම්රිය ගමන්වාර 30 ක් පමණ අද (10) සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස් මුදලිගේ සඳහන් කළා.

වර්ජනය මැද වුවද උදෑසන දුම්රිය ගමන් වාර 30 ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි එසැණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් තවදුරටත් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතව සිටිනවා.

ක්ලබ් වසන්ත ඝාතනයට සැකපිට Tattoo ආයතනයේ හිමිකරු ඇතුළු 6 ක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩිතැබීම සිදුවූ Tattoo ආයතනයේ හිමිකරුද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගල‌යෙක් මියගොස් තවත් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබුණා.

මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවනයට විවෘත වෙයි

මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවන කටයුතු සඳහා සකස් කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

අද (09) උදෑසන පානදුර සිට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිලි පැනීමකට ලක්ව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම අවහිරවී තිබුණා.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 5 ක් අවලංගු වූ අතර සවස් වන විට දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත මරුට

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 ක් රෝහල් ගත කෙරේ

අතුරුගිරිය නගරයේ මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ සියලු දෙනා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

හිරුණිකා අභියාචනයක් ඉදිරිපත් කරයි

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ ඉල්ලීම ලබන 4 වනදා කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති හෙට පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට තීරණය කරයි

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වුණා.

වෘත්තීය ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට කටයුතු කරන බවත් දෙමාපියන් මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

රංගේ බණ්ඩාරගේ පුත්‍රයා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) අලුයම 4.30 පමණ කරුවලගස්වැව, 07 කණුව, මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරෙන් ත්‍රීවිල් රථ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව කරුවලගස්වැව පොලීසිය සඳහන් කළා.

සරත් ෆොන්සේකාගේ සේවය අනාගතයේදී රටට ලබාගන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා – ජනපති

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට තවත් මේ රටට සේවය කළ හැකි බවත්, එතුමාගෙන් ලබා ගැනීමට ඇති එම සේවය අනාගතයේදී රටට ලබාගන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව” නම් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එකවෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

හමුදා ජීවිතයේ වුවත්, සිවිල් ජීවිතයේ වුවත්, දේශපාලනයේදී වුවත් එතුමා ශක්තිමත් චරිතයක් ලෙස බොහෝ අභියෝගයන්ට මුහුණ දී ජයගෙන ඇති බවත්, එතුමා කුමන ස්ථානයකදීවත් සටන අත් නොහැර එය කරගෙන යන අයෙක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හිරුණිකාට බරපතළ වැඩ සහිත වසර 3 ක සිර දඬුවමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් ඇය වැරදිකරු බවට තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.