ජීවන් තොණ්ඩමන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත්වරිය විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබෙනවා.

පසුගිය මැයි (30) දින අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණිවැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් අධිකරණය හමුවේ අද (22) කරුණු වාර්තා කර තිබුණා.

එම අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබාදී තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත්කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 12 වනදා පැවැත්වීමට ද අධිකරණය නියෝග කළා.

අධිවේගයේ අනතුරක්:පහකට තුවාලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්න දුව අතර කිලෝමීටර් 92 ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 5 කු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.

මාතර සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ  මෝටර් රථයේ රියදුරුට නින්ද යාමත් සමගම මැද ආරක්ෂිත යකඩ වැටේ මෝටර් රථය ගැටී  එම දිසාවටම  පිටුපසින් පැමිණි මෝටර් රථය හා ගැටී මෙම අනතුර වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම අනතුරක් සමගම මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර කොළඹ දෙසට ගමන් ගන්නා වාහන මාර්ගය මගහැර එයින් පිටතින් ධාවනය කර නැවත මාර්ගයට ප්‍රවිෂ්ට කර වාහන ධාවනය කරන්නටවු බව පොලිසිය කියයි.

අස්වැසුම සඳහා නව අයදුම්කරුවන් 450,000 ක් අයදුම් කරයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදු කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට ප්‍රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්‍රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබාදෙනවා.

ධම්මික නිරෝෂන් ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

2002 වසරේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (18) පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පෙරේදා රාත්‍රියේ අම්බලන්ගොඩ කන්ද මාවතේ පිහිටි නිවස ඉදිරිපිටදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

සිරකරුවන්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සාමාජිකයෙක් වන සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දෙසතියක්

මෙරට ඉතිහාසය පිළිබඳව ඇති දැනුම වියැකෙමින් යන මොහොතක, පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දිනය නිමිති කොටගෙන ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මේ යටතේ, හෙට (18) සිංහපාදයේ කැණිම් සිදු කිරිම ආරම්භ කිරීම සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධානය කෙරෙනවා.

ඒ අනුව මෙම ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන තුළින් සෑම පළාතකම සහ දිස්ත්‍රික්කයකම පුරාවිද්‍යා කාර්යාල හරහා පාසල් සිසු දරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය, පුරාවස්තු ආරක්ෂා කර ගැනීම, එහි නෛතික පදනම පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ වැඩසටහන් සිදුකරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් විය හැකියි – නීතීඥ සාමූහිකය

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියම කළ යුතු වාතාවරණයක් ඇති වන බව නීතීඥ සාමූහිකය පවසනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත වී දින 30 ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

මේ හරහා එක ළඟ අවස්ථාවන් දෙකකදී ජාතික මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදුවීම හරහා ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ උපරිමය සම්බන්ධයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවත්, යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් විය හැකි බවයි නීතීඥ සාමූහිකය වැඩිදුරටත් සිය නිවේදනය මඟින් සඳහන් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66963f45ea0e1 66963f45db76f

රයිස්, කොත්තු, බත්, පරාටා, බිත්තර රොටී මිල පහළට

විදුලි ගාස්තු පහළ දැමීම හමුවේ ආහාර වර්ගවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.

එසේම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු 22.5% කින් පහළට

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින්.

* ඒකක 30ට අඩු – ( රු. 8 සිට රු.6 දක්වා අඩු කෙරේ)

* ඒකක 30-60 අතර – ( රු. 20 සිට රු.9 දක්වා අඩු කෙරේ)

ඒකක 60 ට වැඩි කාණ්ඩ

* පළමු ඒකක 60 දක්වා – ( රු. 25 සිට රු.15 දක්වා අඩු කෙරේ)

* ඒකක 61-90 අතර – ( රු. 30 සිට රු.18 දක්වා අඩු කෙරේ)

* ඒකක 91-120 අතර – ( රු. 50 සිට රු.30 දක්වා අඩු කෙරේ)

* ඒකක 121-180 අතර – ( රු. 50 සිට රු.42 දක්වා අඩු කෙරේ)

* ඒකක 180 ට වැඩි – ( රු. 75 සිට රු.65 දක්වා අඩු කෙරේ)

අදාළ නිවේදනය පහතින්.

6694f6af3804cpdf_page_0