AKD නිල වෙබ් අඩවිය සහ NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විවෘත කෙරේ

ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ නිල වෙබ් අඩවිය AKD.lk එළිදැක්වීම සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය හා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවී තිබෙනවා.

මෙම වෙබ් අඩවිය තුළ AI හරහා බලගැන්වෙන Live Chat සේවාවක් ඔස්සේ තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින අතර ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකු තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාම සඳහා AI තාක්ෂණය භාවිතා කරන පළමු අවස්ථාව මෙය බවයි එම පක්ෂය සඳහන් කළේ.

එමෙන්ම අද විවෘත කළ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියන්ට බහුවිධ ප්‍රවේශයක් ලබා දෙන බවද, මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුරවැසි පැමිණිලි හා අදහස්වලට විවෘතව පවතින බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලයාධිපතිනිය

ජනාධිපතිවරණයට අදාළව, නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනි ලියනගේ පවසනවා.

ඊයේ පෙරවරුව වන විට ඒ සියලුම පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදුන් බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරන්නේ.

තේරීම්භාර නිලධාරින් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද සෝදුපත් පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවද, ඊට අදාල ගැසට් නිවේදනය ද අද හෝ හෙට නිකුත් කරන බව ද ඇය වැඩිදුරටත් පවසා සිටියා.

විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කෙරේ

රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සුදේශ නන්දිමාල් ද සිල්වා ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරසිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් වෙත අගෝස්තු මස 08 වනදා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයට යටත් නොවන බවට රජය කරන ප්‍රකාශය අසත්‍යයක් – සාලිය පීරිස්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයට යටත් නොවන බවට රජය කරන ප්‍රකාශය අසත්‍ය බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාදායකයේ දිගුවක් බවට කරන ප්‍රකාශයද සත්‍යයක් නොවන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සිටි පමණින් එය පාර්ලිමේන්තුවේ දිගුවක් වන්නේ නැති බවත්, එය විධායක කාර්යයක් ඉටු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය නිර්දේශය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් නොකරන බවත්, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා පුද්ගලයෙකු නම් කරන්නේ ජනාධිපතිවරයා වන අතර, ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කරන බව ඔහු පෙන්වා දෙනවා.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වන ගැටලුවේදී, එම පත්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොතිබීම වටා කරුණු ගොනුව තිබෙන බවත්, ජනාධිපතිවරයාගේ පත්වීම් බලතල සහ යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ බලය හැර අනෙකුත් සියලුම බලතල පාර්ලිමේන්තුව විසින්ම සම්මත කරන ලද 19 වැනි සංශෝධනයෙන් පසු මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත් වන බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද ඇත්තේ නීතියෙන් සපයා ඇති ප්‍රමාණයට පමණක් බවත්, නීතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මුක්තිය ලබා දීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් කිරීම හෝ සිදු නොවන බවද ඔහු පෙන්වා දෙනවා.

මෙය විධායකය විසින් අධිකරණ තීන්දුවකට අවනත නොවීම සඳහා දරණ පිළිකුල් සහගත උත්සාහයක් සහ අධිකරණය මඟින් තහනම් නියෝග පනවා ඇති පුද්ගලයෙකු තනතුරේ එල්ලී සිටීමට දරණ උත්සාහයක් බවයි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එයින් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට නිකුත් කරන බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

කැබිනට්ටුව කුමන තීරණයක් ගත්තත්, නඩුව අවසන් වනතුරු දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කරන්න බැහැ – සාලිය පීරිස්

අමාත්‍ය මණ්ඩලය විසින් කුමන තීරණයක් ගත්තද දේශබන්දු තෙන්නකෝන්ට නඩු විභාග අවසන් වනතුරු පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් තහනම් කර ඇති බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය දැන් ක්‍රියාත්මක වන බවත්, කැබිනට් තීරණ මගින් අධිකරණ නියෝග අවලංගු කළ නොහැකි බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයා සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන්ට තවදුරටත් පොලිස්පතිවරයාගේ බලතල හෝ කාර්යයන් ක්‍රියාත්මක කළ නොහැකි බවද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කළා.

කෘතිම බුද්ධිය නිසා මෙරටට විශාල බලපෑමක් එල්ල වෙලා – මදුර විතානගේ

කෘතිම බුද්ධිය (AI) හරහා මෙරටට විශාල බලපෑමක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පවසනවා.

ඒ අනුව කෘතිම බුද්ධිය තුළින් ජන ජීවිතයට, ජාතික ආරක්ෂාවට, ආගමට, සංස්කෘතියට හා ආර්ථිකයට වන බලපෑමේ හොඳ නරක සම්බන්ධයෙන් අධ්‍යනය කළ යුතු බවයි සභාව කල්තැබීමේ විවාද යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේ.

මේ වන විට රට තුළ ගෝලීය තාක්ෂණයේ අවිචාරවත් බලපෑම හේතුවෙන් රටේ සමාජය, ආගම එහි ගොදුරක් බවට පවත්ව ඇති බවත් වසර 2500ක මෙරට සංස්කෘතික අනන්‍යතාවට කෘතිම බුද්ධිය හරහා බලපෑම් එල්ලවී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මය, ගාථා ‍කෘතිම බුද්ධිය හරහා විනාශ කිරීම ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.

කෘතිම බුද්ධිය හරහා අගතියට පත්වන පාර්ශවවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වෙනත් රටවල නීති සම්පාදනය කර ඇති බවත්, මෙරට තුළද නිති සම්පාදනය කර කෘතිම බුද්ධිය හරහා සිදුවන අකටයුතු කම් පාලනය කළ යුතු ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි ගින්නක්

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ගින්න නිවීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මැතිවරණය සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට ලංසු කැඳවයි

මැතිවරණයක් සඳහා අවශ්‍ය වන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබෙනවා.

ඒ අනුව ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති එම ලංසු එළඹෙන අගෝස්තු 02 වැනි දා විවෘත කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන හෙට (24) සහ අනිද්දා (25) පැවැත්වෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඒ නවය මාර්ගයේ බරපතල තුවාල සහිත මළ සිරුරක්

මහනුවර යාපනය ඒ – නවය මාර්ගයේ, තිරප්පනය පොලිස් වසමේ  ගල්කුලම ප්‍රදේශයේ කි.මී. 122 සහ 123ත්  අතර ප්‍රදේශයේ  මාර්ගයේ තිබු බරපතල  තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (23)  සොයා ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, මිහින්තලේ, කෑදෑව ප්‍රදේශයේ පදිංචි බමුණු රත්න මුදියන්සේලාගේ සුරවීර නමැති 38 හැවිරිදි දෙදරු පියෙකු  බවට හඳුනා ගෙන ඇති බව පොලිසිය කියයි.

මරණකරු මැල්සිරිපුර ප්‍රදේශයේ හෝටලයක සේවය කරන පුද්ගලයෙකු බවත්, ඔහු රාත්‍රියේ තම රැකියාව නිමවී නිවස බලා ගමන් කරමින්  සිටියදී  මෙම මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.

මරණකරු, මාර්ගයේ ගමන් ගත් වාහනයක නැග ගමන් කිරීමේදී ඉන් ඇද  වැටී ජීවිතක්ෂයට පත් වූයේද, නැති නම් පාරේ ගමන්  වාහනයක ගැටී ජීවිතක්ෂයට පත් වූයේද යන්න දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි.