ගොවීන්ගේ වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කරයි

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.

ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

කළු ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියට අයත් ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ඇදහැළෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එම ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යට වීමේ අවධානමක් පවතින අතර ඒ හේතුවෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාරිග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතවෙගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66d5445a7246e

ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ එකලස් කරන ලද වාහන කිහිපයක් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස රිට් ආඥාවක්

ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සැප්තැම්බර් මාසයේ ගෑස් මිල සංශෝධනයක් නැහැ – ලිට්‍රෝ සභාපති

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව මේ වන විටත් පවතින මිලටම ගෑස් අලෙවිය සිදුවන බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළේ ඒකකය විසින් සැකකරු අද (01) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 20000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කටුනායක ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මහ බැංකු අධිපති එවැනි ප්‍රකාශයක් කිරීම තදබල වරදක් – මහින්ද ​දේශප්‍රිය

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මැතිවරණයක් අභියසදී යම් අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති අගතියට පත්වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තදබල වරදක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

මෙයට කලකට පෙර ආරක්ෂක හමුදා ප්‍රධානීන් සහ ලේකම්වරුන් විසින්ද, වෙනත් ආකාරයකට රට වෙනස් වුනොත් නැවතත් ත්‍රස්ථවාදය පැමිණේයැයි මෙලෙසම කියූ බවද, එයට විරුද්ධව ඒ දිනවල තදින් කරුණු දැක්වූ පිරිස් මෙම ප්‍රකාශය ගැන කිසිවක් නොකියන බවද ඔහු පෙන්වා දෙනවා.

තමන් එය එදත් වැරදි බව ප්‍රකාශ කළ බවද, අදත් මෙය වැරදි බව ප්‍රකාශ කරන බවද, කුමන පක්ෂයකින් සිදුකළත් වරද වරදම බවද ඔහු සඳහන් කළා.

මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් යම් පක්ෂයක අපේක්ෂයෙකුගේ ප්‍රතිපත්ති අගතියට පත්වන ආකාරයේ ප්‍රකාශ කිරීම මැතිවරණ නීති තදබල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි ඔහු අවධාරණය කළේ.

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඡන්ද දායකයින් වෙත තැපෑලෙන් නොමිලේ බෙදා හැරීමට පහසුකම් සපයා තිබෙනවා – මැතිවරණ කොමිෂන් සභාව

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තැපැල් මාර්ගයෙන් ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශ මෙන්ම අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව ඇති බවයි එම කොමිසමේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ.

දෙණියායේ පාසල් සිසුන් 100 ක් බඹර ප්‍රහාරයකට ලක්වෙයි

දෙණියාය අධ්‍යාපන කලාපයේ පට්ටිගල පර්සි අබේවර්ධන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුන් 100 දෙනෙකු පමණ අද (30) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

එම සිසුන් සියලුදෙනා කඩිනමින් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යවා ඇති බවයි සඳහන් වෙන්නේ.

සිසුන් 70 දෙනෙකු මේ වනවිටත් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙක් සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

පාසල අසල ඉඩමක ගසක තිබූ බඹර වදයක් ඇවිස්සීමෙන් පාසල් සිසුන් මෙන්ම පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්ද මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ඉන්දු ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට ථේරවාදී ආර්ථික මාවත ඉවහල් වනවා – අගමැති

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් පවසනවා.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බවයි ඊයේ (29) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බව පැවසූ ඔහු ප්‍රමුඛ අවශ්‍යතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

බලශක්ති ක්ෂේත්‍රය එක් ක්ෂේත්‍රයක් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් දිවයිනට

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අද (29) මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු අද (29) උදෑසන මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.