රනිල් “යාළුවා” කියලා ශේප් වෙන්න ආවට 21න් පස්සේ යාළුවාගේ තරම බලාගන්න පුළුවන් වෙයි – අනුර

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක සිට “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” ලෙස පවසමින් එන්නේ ශේප් වීමට බව ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු “යාළුවා යාළුවා” යැයි කියමින් කෙතරම් ශේප් වීමට පැමිණියත්, මහ බැංකු වංචාව පිළිබඳව, බාර් ලයිසන් දීම් පිළිබඳව, ඉඩම් බෙදීම් පිළිබඳව සහ වංචනිකයන් ආරක්ෂා කරගැනීමට දරණ ලද ප්‍රයත්නයන් පිළිබඳව අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

ඔහුට ඒක පාර්ශවීයව “යාළුවා යාළුවා” යැයි කියමින් සිටිය හැකි වුවත්, සැප්තැම්බර් 21න් පසුව ඔහුට එම යාළුවාගේ තරම දැනගත හැකි වනු ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කළේ.

වෛද්‍ය උපදෙස් මත කෙටි විවේක ගැනීමකින් අනතුරුව අද (08) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

හෙට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් – නියෝජ්‍ය තැපැල්පති

හෙට (08) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසින් නිවසට රැගෙනගොස් භාරදීමට බලාපොරොත්තු වන බවත්, හෙට දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙසට නිවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා.

පසුගිය 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ වු අතර, 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පළමු දින විවාදයට දිලිත් පමණයි ‍- සජිත්, නාමල් සහ ආරියනේත්තිරන් නොපැමිණෙයි

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනාධිපතිවරණ විවාද මාලාවේ පළමු දිනය වන අද (07) ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පමණක් විවාදය සඳහා සහභාගී වී තිබෙනවා.

අද දින විවාදය සඳහා සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ ආරියනේත්තිරන් පාක්කියසෙල්වම් යන ජනාධිපති අපේක්ෂකයින්ද සහභාගී වීමට නියමිතව තිබුණත් ඔවුන් සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් විවාදයේ දෙවන දිනය හෙට (08) පැවැත්වෙන බවද ඒ සඳහා විජේදාස රාජපක්ෂ, නුවන් බෝපගේ ඇතුළු ජනාධිපති අපේක්ෂකයින් 6 දෙනෙකු සහභාගී වීමට නියමිත බව මාර්තු 12 ව්‍යාපාරය නිවේදනය කළා.

හෙට දිනයේද විවාදයේ සජීවී ඩිජිටල් විකාශය හෙළකුරු ජනවරම මැතිවරණ තොරතුරු සේවාව ඔස්සේ නැරඹිය හැකියි.

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවන් පත්කර තිබෙනවා.

ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච්. කුලතුංග, ඩී. තොටවත්ත, ආර්.ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව එම තනතුරු සඳහා පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව අනුව එම පත්කිරීම් සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන්.

ජනාධිපති අපේක්ෂකයින් අතර පළමු විවාදය හෙට

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

ඒ අනුව හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන සිය සහභාගිත්වය ස්ථිර කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය මේ සඳහා සහභාගීවීම අපහසු බවට දන්වා ඇති බවත් අනුර කුමාර දිසානායකගේ පැමිණීම තහවුරු කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අරගලය සමයේ උල් සහිත මාර්ග බාධක රඳවා තැබීමට එරෙහි පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

ගාලු මුවදොර “ගෝඨාගෝ ගම” අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බව හා ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාට මාර්තු මස 04 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දෙවන දිනය සඳහා තැපැල් ඡන්ද විමසීම අවසන් වෙයි

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු දෙවන දිනය සඳහා මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

අද පෙරවරු 9.00 සිට තැපැල් ඡන්ද විමසීමට පැවැත්වීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව අද දිනයේදී ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලබාදී තිබුණා.

කෙහෙළියගේ පෙත්සම ගැන තීන්දුව ලබාදීම ඔක්තෝබර් 03 දක්වා කල් තබයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කරන ලෙසත් තමන්ව මුදාහරින ලෙසත් ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සම පිළිබඳ නියෝගය අද (04) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර කෙසේවෙතත් එහි තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 03 වනදා දක්වා කල් තබා තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදක්වයි

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ (03) සිදුකර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් සංවිධානය කළ “National Business Forum” ව්‍යාපාරික සමුළුවේදී ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙය එළිදක්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවීමට හෝ Download කර ගැනීමට හැකියාව පවතිනවා.

රට පුරා ස්ථාන 20 ක සූර්ය බලාගාර ඉදි කිරීමට සඳහා කැබිනට් අනුමැතිය

මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අම්පාර, අනුරාධපුර, අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල, හබරණ, හොරණ, කොස්ගම, කුරුණෑගල, මාදම්පේ, මහියංගනය, මහව, මාතර, මතුගම, පන්නල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනතිව් හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 165ක ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරගකාරී යෝජනා කැඳවා ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එක් එක් ස්ථානය සඳහා ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන අතර එකී නිර්දේශ මත පදනම්ව  ප්‍රතිචාරාත්මක සාර්‌ථක ලංසුකරුවන් වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට  විදුලිබල හා බලශක්ති  අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66d6ca63b357a