වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පෙත්සම නඩු ගාස්තු යටත්ව නිෂ්ප්‍රභා කෙරේ

වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 50000 ක නඩු ගාස්තුකට යටත්ව එම පෙත්සම නිෂ්ප්‍රභ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1155 දක්වා ඉහළට

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 95 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ් අනුව මේ වන විට ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1155 ක් බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1100 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 04 ක් හා වෙනත් පැමිණිලි 51 ක් ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

66cda45d815c8

කූඨ ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඩයනාට අධිචෝදනා භාරදෙයි

කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබෙනවා.

ඒ අනුව අද (27) දිනයේදී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේදී චෝදනා භාරදීම සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද අධිකරණය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරට ගෙන ආ කෝටි 4 ක භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට අද (26) උදෑසන මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෙන ආ භාණ්ඩ අතර විදේශීය මත්පැන්, විවිධ වර්ගයේ දුම්වැටි, ක්‍රීම් වර්ග, වාහන අමතර කොටස් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන කතුරු තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවට ජනමාධ්‍ය නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස පාලනය කිරීමේ අවශ්‍යතාවක් නැහැ – සමන් ශ්‍රී රත්නායක

මැතිවරණ කොමිෂන් සභාවට ජනමාධ්‍ය නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස පාලනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ලැබී තිබෙන නිදහස පාවිච්චි කළ යුත්තේ අනෙක් පාර්ශවයට බාධාවක් හෝ හානියක් නොවන පරිදි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

සමාජ මාධ්‍ය හරහා සිදුවන මත විමසුම් තහනම් කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්මින් ඔහු සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ මැතිවරණ පනතට අදාළ නීති රීතී සමඟ පමණක් බවයි.

සමාජ මාධ්‍ය හරහා සිදුවන මත විමසුම් යුරෝපය ඇතුළු අනෙකුත් රටවල්වලද ක්‍රියාත්මක වන නිසා ශ්‍රී ලංකාවේද ඒවා ක්‍රියාත්මක කිරීම තරගයක් බවට පත්ව ඇති බවත්, ඒවා ස්වයං පාලනයක් සහිතව සිදු විය බවයි අද (26) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

සමීක්ෂණ වාර්තා මඟින් යම් පෙළඹවීමේ හැකියාවක් පවතින බවත් ජනතාවගේ කාර්යබහුලත්වයත් සමඟ කෙටියෙන් පවසනදේට ජනතාව වැඩි අවධානයක් යොමු කිරීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළා.

සමීක්ෂණ වාර්තා මඟින් කුමක් සඳහන් කළද අදාළ වන්නේ සැප්තැම්බර් 21 රටේ ඡන්ද දායකයින් ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව ඡන්දය ගනන් කිරීමෙන් පසුව ලැබෙන ප්‍රතිඵලය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නැගෙනහිර පළාතේ තරගය තියෙන්නේ රනිල් සජිත් අතර විතරයි, අනුර ගැන බලාපොරොත්තුවක් නෑ – බන්දුල

නැගෙනහිර පළාතේ තරගය ඇත්තේ අපේක්ෂකයින් දෙදෙනෙක් අතර පමණක් බව සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස අතර පමණක් තරගය ඇති බවත් අනුර කුමාර දිසානායකට නැගෙනහිර පළාතේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවද ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළා.

ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමත්, මිනිසුන්ට හුස්ම ගැනීමට හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීමත්, අනාගතය ගොඩනැගීම සඳහා පැහැදිළි වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහට ඇති නිසා ඔහු නැගෙනහිර පළාතෙන් 70% කට වඩා වැඩි ඡන්දයක් ලබාගන්නා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

ජය කණුව පෙනි පෙනී රටේ කටයුත්තට බාධා කරන්න අපි සූදානම් නෑ – දිලුම් අමුණුගම

ආර්ථික යුද්ධය ජය කණුව දක්වා රැගෙන යාමට ඉදිරි වසර තුනක කාලය තුළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

තමන් පොහොට්ටුව අතහැරීමට සූදානම් නොමැති නමුත්, ජය කණුව පෙනි පෙනී රටේ කටයුතුවලට බාධා කිරීමටද සූදානම් නොමැති බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

රටේ සියලු දේශපාලන පක්ෂ එක ස්ථානයකට එකතු වූ පසු එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විවාදයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා – හරිනි

දේශපාලන හේතු මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගකීම් පැහැරහැර, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ජනාධිපතිවරයාගේ හැසිරීම මඟින් ව්‍යවස්ථාපිත යුතුකමක් වන ජනතාවගේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට තිබෙන අයිතිය කඩ කර ඇති බව අධිකරණය විසින් පෙන්නුම් කර තිබීම නිසා මෙය අතිශයින් වැදගත් නඩු තීන්දුවක් බවයි ඇය පෙන්වා දෙන්නේ.

පවතින දේශපාලන සංස්කෘතිය තුළ ක්‍රියා කරන රජයේ නිලධාරීන් ද අතිශයින්ම පරිස්සම් විය යුතු බවද, ජනාධිපතිගේ නියෝග අනුව මැතිවරණ කොමිසම ක්‍රියා කර ඇති ආකාරය වැරැදි බවද අධිකරණ තීන්දුවෙන් සනාථ කර තිබෙන බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ජනාධිපතිගේ වුවත් ව්‍යවස්ථාවට පටහැණි නියෝග පිළිනොපැදිය යුතු බවද, නිලධාරීන්ටත් ඉතාමත් තද පණිවුඩයක් ගරු අධිකරණය විසින් ලබා දී ඇති බවද ඇය අවධාරණය කරනවා.

අල්ලස් ලබාගත් සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පැමිණිලිකරුට අයත් බස් රථය ධාවනය කිරීමට ලබා දී ඇති වේලාවන් සංශෝධනය කර දීමට අදාළ නිර්දේශ ලබා දීම වෙනුවෙන් එම නිලධාරියා රුපියල් 60,000ක මුදලක් ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කෙහෙළිය ඇතුළු සිව්දෙනෙක් එළැඹෙ​න 29 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් එළඹෙන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (22) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.