නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින් අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීමේ කටයුතු අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස්, අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

මෝටර් ර​ථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සමස්​ත ලංකා වීඩියෝ නිර්මාණ තරගාවලියක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්ත සමස්ත ලංකා වීඩියෝ නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාහන වායු විමෝචනය අවම කරමින් අනාගත පරපුර උදෙසා වඩාත් තිරසාර පරිසර පද්ධතියක් දායක කිරීමේ අරමුණෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සමගින් මෙය සංවිධානය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඔක්තෝබර් 31 දක්වා මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින අතර වැඩි විස්තර සහ අයදුම්පත් මෙතැනින් ලබාගත හැකියි.

ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 6.00 වන විට සියළුම සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි පාලනාධිකාරිය දැනුම් දී ඇත්තේ.

අන්තරේ පිරිසට ඇප

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ අනුව ඔවුන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිව ඔවුන් එම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර එහිදී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප ලබාදීමට නියෝග කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

බලශක්ති නියාමනයට නව ආයතනයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැති​ය

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවීකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන අංශයන් සඳහා නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව පත්කරනු ලැබ ඇති කමිටුව විසින් බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීම පිණිස සිය නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙනවා.

එම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66e0236e68be9

ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 2 ක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023 -09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, 2023 දෙසැම්බර් වන විට ඇමෙරිකා ඩොලර් මිලියන 200 ණය මුදල පළමු උප වැඩසටහන සඳහා ලබා දී ඇති බවද සඳහන්.

එහි දෙවන උප වැඩසටහන යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12 සම්පූර්ණ කළ යුතු අතර, මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66e023fb47c66

සැප්තැම්බර් 20 වනදා දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කෙරේ

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66df082fe81e3 66df082e8a530

සජබ රැලියක් අතරතුර රතිඤ්ඤා පත්තු කිරීමකින් සිදුවූ අනතුරකින් 5 ක් රෝහලට

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තු කිරීමකින් සිදුවු අනතුරකින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

ප්‍රචාරණ රැලිය ආරම්භ කරනවාත් සමග අදාළ ස්ථානයේ රතිඤ්ඤා දල්වා ඇති අතර, ඉන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගී වන ජන රැළියක් මේ වන විට මහනුවර දී පැවැත්වෙනවා.

තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට

තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ සහතික කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ විදුහල්පතිවරයා පසුගිය 06 වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කරන අතරතුර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති බව මුලතිව් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.