ඔය කෙල්ලෝ මොනවද දන්නේ !

BY: Dr.Bodhini Samaratunga

“මෙය සිදුවී වසර කිහිපයකි, එනිසා ලියා තබන්නට සිත් විය”

උතුරේ කතා රැගත් අනිත්කොන පොත ගැන මා දන්නා හඳුනන අයෙක්, එක්තරා මහත්මියකට පැවසූ විට “අනේ ඔය කෙල්ලෝ මොනවා දන්නවද උතුර ගැන” යැයි පැවසූ බව ආරංචි විය.
ඒ මහත්මිය අපි මොනවා දන්නවා දැයි සැක පහල කළ අන්දම ගැන වැරැද්දක් මම නොදකිමි.
මොකද අපිත්,එහි යනකම්ම අනේ අපිමොනවා දන්නවාදැයි නොදැන සිටියෙමු.

ආච්චිලා පැමිණ ” “තංගච්චී,ඩොක්ටර් අම්මා එංග ?” යැයි අසද්දී ( නංගී, දොස්තර කොහේද?)
“නාන් තාන් ඩොක්ටර්” යැයි කියද්දි…
මෙච්චර මේ කෙල්ලෝ කොහොමද දොස්තරලා වෙන්නේ යැයි ඔවුන්ද ඇස් ලොකු කරගෙන ඇසුවෝය. 

දෙමළ වචනයක්වත් නොදැන එහි ගිය අපිට, දෙමළ ඉගෙන ගන්නටත්, ඉන්පසු ඔබ මෙහෙද අහන්න තරම් දෙමළකියවන්නටත් පුූලුවන් කළේ උතුර ය. එහි ගිය නිසා ය. “ඔයා දැන් සිංහල කතා කරන්නෙත් දෙමළ ඇක්සන්ට් එකකට ය කී අනුරාධපුර යහළුවෝ තවමත් ඒ කාලය ගැන මතක් කරති.

වවුනියාවේ සිට අපි බොහෝ විට අසාධ්‍ය ලෙඩුන් ගෙන ගියේ අනුරාධපුරය ට ය. එහි යන එන විට, අපට ලැබුනේ බොහෝ ලෙංගතු ආමන්ත්‍රණය. මේ කොනේ සිට රෝගීන් කෙසේ හෝ පණ ගන්වා , ගොඩ දාගෙන වෙහෙසී තවත් පැයක ගමනකින් එහි සැපැත් වෙන විට අපි බාගෙට මැරී සිටින්නෙමු. “ ඩොක්ටර් අන්න ඩොක්ටර්ස් රූම් එක, මූණ හෝදා ගන්න, මෙන්න පුටුව ඉඳ ගන්න “ වැනි සුහද ආමන්ත්‍රණ එහී දකින්නට ලැබිණි. වෛද්‍යවරුන් පවා උනුන් හා සුහදත්වයෙන් කටයුතු කෙරිණි.

යුද්ධය අවසානයේ දකින්න ලැබුනේ සියල්ල අහිමි වූ කොහෙන් කොහොම මේ අවුල ලිහා ගන්නේදැයි විමසූ සෙනග ගොඩවල් ය. එහි ගිය අපට දරන්නට සිදුවුනේ සියළු දේ අහිමි වූ මිනිසුන්ගේ අඳෝනා ය. උතුරේ ප්‍රධාන රෝහල් දෙකක සීමිත වෛද්‍යවරුන් සංඛ්‍යාවකගෙන් වැඩකටයුතු කළ යුතු වූයෙන් , ඇතැම් විට දවල්ට කන්න ලැබුනේ වඩයක් සහ මයිලෝ එකකි. එහෙමත් නැත්නම් උදේ අටේ සිට සවස හය දක්වා තියටර් ලිස්ට් එක ඉවර කරනකම් සැරෙන් සැරේ ලැබුන සීනි වැඩි තේ එකකි, පරිප්පු හෝ උළුඳු වඩයකි. හවසට බොහෝ විට එක කොත්තුව දෙකට බෙදන් කන්නේ එය ඒ තරම් විශාල නිසා ය.

උදේට නොකා කලන්තේ දමා එහි පැමිණෙන විශ්ව විද්‍යාල හෝ පාසැල් සිසුන් හට “ඔයාලා උදේ නොකා කලන්තේ දාලා එනවා. මගේ ඩොක්ටර්ස්ලා රෑට කාලත් නෑ, හරියට උදේට කාලත් නෑ, රෑ පුරාම ඇහැරගෙන ඒත් තාම වැඩ කරනවා”කියමින් කියූ විශේෂඥ වෛද්‍යවරියක් සිටියාය. මේවා මෙලෙස ලියන්න යැයි කියූවේත් විශේෂඥ වෛද්‍යවරුන්‍ ය.

එක් දිනක් මුළුල්ලේ අප හදිසි සැත්කම් පමණක් දහයක් කර තිබුණේ අතේ මතුවන කරගැට ද අමතක කරමිනි.

මුහුණ නොබැලූ එල් ටී ටී ඊ හිටපු සොල්දාදුවන්ද, මුහුණ බැලූ නමුත් සිංහල වචනයක් දොඩාගත නොහැකිව සිටි ගැහැණු මිනිසුන්ද, අපට අපේම අය වූයේ අනිත් කොනේ දී ය. ඒ අප ඔවුන්ගේ ජීවිත හා ගනුදෙනු කළ නිසා ය.

If u can bear to hear the truth u’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things u gave ur life to,broken,
& stoop & build’em up with wornout tools;

Radyard kipling

ඔව් අප දුටුවේ, රඩ් යාඩ් කිප්ලිං ගේ if යන කාව්‍යයේ සඳහන් පරිදි, සියල්ල බිඳ වැටුණු, සුන් බුන් වී ගිය පසු ඒ අළු මතින් නැගී සිට ජීවිතය වෙර දරන උන් ය. ආයුධ අත හැර ජීවිතය සෙවූ ඔවුන් ය. සිංහලයා නරකයි, බිහිසුණුයි ම්ලේච්ජයි කියා උගෙන, සිංහල වෛද්‍යවරුන්ගෙන් ජීවිතය ඉගෙන ගත් ඔවුන් ය. සිංහලයාත් දෙමළාත්, මුසල්මානුවාත් අපි හැමෝම, රෝහල් ගේට්ටුවෙන් එපිට උස්මිටි කම් තරාතිරම් නැතිව සාමාන්‍ය මිනිසුන් බවට පත් වන බව ඔවුන් උගත්තේ අපෙනි.

රෝගීන් පිරී ඉතිරී යන වාට්ටු වල හිත හදන් වැඩ කරන්නට සිදුවුනේ ඒ තරම් ජන ගඟක් පාලනය කිරීම හැරෙන්න වෙන විකල්පයක් නොවූ නිසා ය. ඔවුන්ට රෝහල යනු ඔවුන්ගේ දූකට සහනයක් වුණු තැනක් විය. ඔවුන්ගේ දුක් කරදරසියල්ලම එහි මුදා හැරියේ එනිසා වෙන්නට ඇති. ඒ අය ට යම්කිසි හෝ සහනයක් වූයේ රෝහල් වල සෞඛ්‍ය කාර් යය මණ්ඩලය බව නොරහසකි.

බත් කන්න අකමැති ආච්චිලාට ,සීයලාට, හැට් කලෙක්ෂන් දමා ( සල්ලි එකතු කර) ආප්ප හෝ ඉඳි ආප්ප ගෙනාවේ HO ල ය ( house officers).

මේ කතා මේ ලෙසින් ලියා තැබුවේ නැත්නම් නැවත මතක් කිරීමද අමාරු කාර් යයකි. ඒ තරම් විවිධ වූ සංසිද්ධි දාමයන්ගෙන් අනිත්කොන දවස් සැකසී තිබුනි. විඳින දකින දෑ හිතෙන්, හදවතින් ස්පර්ශ කරන්නට හැකි යාව ඇත්තේ සුළු පිරිසකට බව මම දනිමි. ඒ සුළු පිරිස මුදලට ලොබ බැඳන් ඒ කාර් යයන් හි යෙදෙන්නේ නැති නිසා තවමත්, මිනිසුන් ඔවුන් දේවත්වයෙන් සලකති.

වෛද්‍ය විද්‍යාව යනු ඉන්ද්‍රජාලික බලවේගයක් හෝ දේවත්වයක් නොවේ. එය හුදෙක් විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂන නිගමන ඔස්සේ පදනම් වුණු එකකි.

අප කරන්නේ අපේ සේවාව හරියාකාරව කිරීම ය. මේ ලියැවිලි වල එතෙන්නේ, සේවාව අතරතුර හදවතට දැනුණු මිනිස් හැඟීම් ය. ඒවා කිසි සේත්ම මට සිළිටු නොවේ.

අනිත්කොන කියැවිය යුත්තේ තරුණ පිරිසයි. වෛද්‍ය විද්‍යාව හදාරන්නට හිතන දරුවන් ද, වෛද්‍යවරුන් වෙන්න ඉගෙන ගන්න දරුවන්ද මේ පොත කියවිය යුතුම යැයි මම කියන්නේ, මගෙ අත් දැකීම් වලින් ඔබට ඉගෙන ගන්න යමක් තියේවි යැයි මා විශ්වාස කරන නිසා ය.
මම ලීවේ උතුරේ ප්‍රශ්න ගැන ය. මිනිසුන්ගේ ප්‍රශ්න ගැන ය. කකුල් , අත පය අහිමි වූ දරුවන් දැරියන් ගැන ය. අඩු වයසෙන් දරුවන් ප්‍රසූත කරන්නට වෙන දැරියන් ගැන ය. ළමා සොල්දාදුවන් ජීවිතය දිනන හැටිත්, හිටපු ත්‍රස්තයන්ගේ අඳෝනාත්, ඒ අතර තුර පිටු පිරවීය. හොර ගබ්සා මධ්‍යස්ථානවලට ගොස් අසාධ්‍ය වී එන, උතුරු කොනේ ගැහැණුන් ගැනත්, උතුරු කොන බොහෝ ප්‍රදේශ වල වැසියන් මුහුණ දී ඇති වකුගඩු රෝගයේ ඛේදාන්තයත්, මත් පැන් මත්ද්‍රව්‍ය වලට නතු වූ දරුවන් ගැහැණුන් මිනිසුන් ගැනත් ය. අපි දකින්නේම දුක පමණි. රෝග , මරණ, සමාජ අසාධාරණකම් ය.ආර්ථික යුද්ධයෙන් පෙළෙන මෙ රටේ දිළිඳුම පිරිස යන එන රෝහල් ය. ඇතැම් විට ඇඳුම් ගෙනත් දෙන්නත්, බත් වේලක් ගෙන දෙන්නත්, ගෙදර යන්න බස් එකට සල්ලි නැති නිසා අපි hat collection දමා සල්ලි එකතු කර දීපු කාලයක් ද විය.

අනිත්කොන පොතක් විය !
එනමුත් අනිත් කොන ගැන මේ තරම් පිරිස වද වුනේ හෝ පෝස්ට් වැටුනේද නැත. හොය හොයා ගොස් කියෙව්වේ ද නැත.  සමාජයේ අපිදකින අවැඩ අසාධාරණය සහ කම්පනය ගැන අපි වැන්නවුන් මුහුණු පොත බ්ලොග් සහ පොත් හරහා අපි ඕනෑවටත් වඩා මේ ප්‍රශ්න ගැන ලියමින් සිටින්නෙමු ! 
අපට කළ හැක්කේත් පාලකයන්ගේ හිත් ඇස් මෙදෙසට යොමු වන තෙක් ලියන්නට පමණි.

ඉතින් මහත්මියනි, මට ඔබේ වදන, සාහිත්‍ය ලෝකයේ හමුවන ප්‍රවීනයන්ගේ කතා අසා ඇති මට නම් පුදුමයක් නොවුණු බව කිව යුතුම ය. “ඔය කෙල්ලෝ මොනවද දන්නේ ” කියා ප්‍රශ්න නොනගා පොත කියෙව්වා නම් ඔබට ඇත්තටම අපි එහි ගොස් කළ කී දෑ වැටහෙනු ඇතැයි මට සිතේ.

මුළින් මේ පොත් ජනගත නොවි පසුව මටම ඒ කාරිය කරන්නට වෙහෙසෙන්නට වූ නමුත් ඒ මහන්සිය සොඳුරු ය. මන්ද අනාගතයේ මේ රටේ තවත් යුද්ධයක් ඇති නොවෙන්නට, ජාතීන් එකිනෙකා යුද්ධ නොකරන්නට මනස හදන්නට මේ පොත ඉවහල් වෙන බවට මට සහතික නිසා ය. 

ලංකාවේ ජාතික ගීයත් ඉන්දියාවට ?

BY: ‍ෙසානාල ගුණවර්ධන

1893 දී ඇමරිකාවේ චිකාගෝ නුවර පැවති ලෝක ආගම් සමුළුවේ කැපී පෙනෙන කථිකයන් දෙපලක් වුයේ ඉන්දියාවේ ස්වාමී විවේකානන්ද සහ ලංකාවේ අනගාරික ධර්මපාල තුමායි. එම සමුළුව අමතා විශිෂ්ට දේශනයක් කළ ස්වාමී විවෙකානන්දගේ දේශනයට වසර 125 ක් පිරීම නිමිත්තෙන් දිල්ලි නුවර පැවති උත්සවයකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි කළ ප්‍රකාශයක් නිසා ලංකාවේ ජාතික ගීයේ හිමිකම පවා ඉන්දියානුවෙකුගේ නමට හැරෙන තත්වයක් උදාවී ඇත. ඔහු එහිදී පැවසුවේ ” මම විදෙස් සංචාර යන කොට බොහොම ආඩම්බරයෙන් කියන දෙයක් තමයි, අපේ තාගෝර්තුමන් ඉන්දියාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාවේ ජාතික ගීත වල නිර්මාතෘ කියන එක”.

මෙය තනිකරම වැරදි ප්‍රකාශයකි. මෙය ඔහුගේ නොදැනුවත්කම නිසා සිදුවූවක් විය හැකි වුවද ඔහුව නිවැරදි කිරීමට කවුරුවත් මේ වන තෙක් ඉදිරිපත් වී නැත. මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර් තුමන් රටවල් කීපයක ජාතික ගී නිර්මාණය කර ඇති අතර , ඉන්දියානූ, හංගේරියානු හා බංග්ලාදේශ ජාතික ගීයන් එතුමන්ගේ නිර්මාණ වේ. ඔස්ට්‍රියානු ජාතික ගීයද එතුමන්ගේ නිර්මාණයක්‌ බව කියවේ.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය වශයෙන් යටත් විජිත සමයේ රාජ්‍ය සංස්‌කෘතික උත්සව වලදී ගායනා කරන ලද්දේ “God save the king / queen ” නමැති මහා බ්‍රිතාන්‍යයේ පැවැති ජාතික ගීයයි. ක්‍රි.ව. 1948 වසරේදී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු ජාතික ගීයක අවශ්‍යතාව මතුවිය. එහෙයින් ලංකාවේ සංගීත කලාව දියුණු කිරීමේ අරමුණ ඇතිව 1936 පිහිටුවන ලද ගාන්ධර්ව සභාවට ගීයක්‌ තෝරා ගැනීමේ වගකීම පවරා ඇත. ජාතික ගීය තෝරා ගැනීම සඳහා තරගයක්‌ පවත්වා ජයග්‍රාහී ගීතය වශයෙන් තෝරා ගන්නා ලද්දේ “ශ්‍රී ලංකා මාතා පාලා යස මහිම ජය ජය” ගීතයයි.කෙසේ වුවත් මෙම ගීතය ජාතික ගීය තෝරා ගැනීම සඳහා පත්කළ මණ්‌ඩලයේ සාමාජිකයන් දෙදෙනකුගේ ගීතයක්‌ බවට හටගත් අර්බුදය නිසා එම ගීතය ඉවත් කර අද දක්‌වා ගැයෙන ආනන්ද සමරකෝන් සූරීන්ගේ ගීතය ජාතික ගීය වශයෙන් සම්මත කරගන්නා ලදී.

නැවත 1961 වසරේදී ලංකාවේ ජාතික ගීයේ මුල් වචන අරභයා සුබ අසුබ පිළිබඳ අදහසක්‌ ඇති වී තිබේ. කෙසේ වෙතත් ගීය රචනා කළ සංගීතවේදී ආනන්ද සමරකෝන් සූරීන්ගේ අනුදැනුමෙන් තොරව “නමෝ නමෝ මාතා” මුල් පදය වෙනුවට “ශ්‍රී ලංකා මාතා” වශයෙන් ජාතික ගීයේ මුල් පදයන් වෙනස්‌ කරන ලදී. තමාගේ නිර්මාණයක්‌ වූ ජාතික ගීයේ මුල්පද තමාට නොදන්වා, තමාගේ අනුමැතියකින් තොරව වෙනස්‌ කිරීම පිළිබඳව අතිශය වේදනාවෙන් සිටි ආනන්ද සමරකෝන් සූරීන් ජිවිතයෙන් ශෝචනීය ලෙස 1962 වසරේදී සමුගෙන ගියේද ඒ නිසාම යැයි මතයක්‌ පවතී. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ ජාතික ගීතයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් සූරීන්ට සාධාරණය ඉටු වූවේද යන්න අපි විසින් නැගිය යුතු ප්‍රශ්නයකි.

ඇමරිකාවේ චිකාගෝ නුවර අනගාරික ධර්මපාල තුමා විසින් කරන ලද විශිෂ්ට දේශනය අමතක කළ අප, ජාතික ගීයේ නිර්මාතෘ වෙනුවෙන් නැගී සිටීදැයි යන්න සැක සහිතය.

ඔබේ යට ඇඳුමේ පාට කුමක්ද ?

By වෛද්‍ය බෝධිනී සමරතුංග – Dr. Bodhini Samaratunga

“ඔබේ යට ඇඳුමේ පාට කුමක්ද ????”

වේදිකාව මත දිග හැරෙන වචන මගේ හදවත පසාරු කරගෙන යන්නට විය. මගේ ඇස් මුලට කඳුළු කැට පිරෙන්නට විය. මුහුණේ මාංශ පේෂීන් තද කරගෙන කඳුළු නවතාගන්නට ද හැඬුම් මැඩලන්නටද මට සිදු විය.

එක් වරම මා සිටියේ, වවුනියාවේ මහ රෝහලේ නාරිවේද වාට්ටුවේ ය. ළමා වාට්ටුවෙන් අප වෙත එවා තිබුනේ මවක් ළදරුවෙක් සහ අවුරුදු පහක පමණ දැරිවියක් ය.

ඇඳ ඉහ පතෙහි ලියා තිබුණු දේ දැක, මා වික්ෂිප්තව ඔවුන් දෙස බැලීමි, මව ළදරුවා තුරුළුකරගෙන කඳුළු පුරවාගෙන මා දෙස බලා සිටී. ඒ කුඩා දැරිවිය මව අසල එහෙ මෙහෙ දුවමින් හිඳී. මේ කතාව, එවකට විසි හත් හැවිරිදි මා සසල කළේ කෙසේද යත්, දින ගණනක් මට ඒ බිහිසුණු සිතුවිලි මනසෙන් ඉවත්කරන්නට නොහැකි විය. මා එක්වරම ඔසවා පොළොවේ ගැසුවාක් මෙන් විය.

“මම මේ බබා ලැබෙන්න රෝහල් ගත වෙලා හිටියේ, එතකොට තමයි මෙයාගේ තාත්තා මෙයාට මෙහෙම කරලා තියෙන්නේ” ඒ මව හැඬුම් අතරින් කියයි. ඒ දැරිවිය ගේ වයස අවුරුදු පහකි.

දරුවාට අප කියන දෙයක් හෝ අප අහන දෙයක් තේරුනේ නැත. ඇය ඇගේ ලිංගේන්ද්‍රිය පරීක්ෂා කර බලන්න කිසිවෙකුට අවසර දුන්නේද නැත. වේදනාව සමනය කරන්න බෙහෙත් දාන්න ඕනෑ යැයි මව විසින් ඇවිටිලි කර කියා අවසානයේ ඇය ඩොක්ටර් ඇන්ටී කෙනෙකුට පමණක් බලන්න දෙන්නම් කියා එකඟ කරගත්තෙමු. අප විශේෂඥ වෛද්‍යවරයා වෙත ඇය යොමු කළ විට, “මේ පොඩි කිරි සප්පයගෙන් මොනවා බලාපොරොත්තුවෙනවද ඒ මිනිහා. මනස විකෘති වෙච්ච තිරිසනෙක් වෙන්න ඕනේ.” විශේෂඥ වෛද්‍යවරයා තරහින් , ඉංග්‍රීසි බසින් බැන වදිමින් කුඩා දැරිය පරික්ෂා කළේ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ මතය ඉල්ලා සිටි නිසා ය. ඇයට මේ දේ කළ ඇගේම තාත්තා පොලිස් අත් අඩංගුවේය. මව අලුත උපන් බිළිඳා, සහ මේ පස් හැවිරිදි දැරිය ළමා වාට්ටුවේ නවතා ඇත.

කෙතරම් ආරක්ෂිත නිවසක වුනත් , යන එන හිතවත් නෑයින් මිත්‍රයින් අතින් අපචාරයට, ලිංගික හිංසනයට ලක්වන දරුවන් දැරිවියන් කොතෙකුත් දැයි මගේ හිත විස්සෝප වේ.

වේදිකාව මත සිටින, තරුණයා සහ තරුණිය අපට පවසන්නේ ඔවුන්ගේ ඒ අඳුරු ජීවිතයේ ශෝකාලාපය ය.

“ඔයාලා නම් සුරංගනාවියෝ, මම කිළිටිම කිළිටි වුන අපායේ යන කෙනෙක්” (you are virgin angels, Im dirty and unclean)” පාසැලේ පල්ලියේ පිය ගැට පෙළ මත හිඳ දැරියක් හඬමින් සිටින දර්ශනයක් මගේ මනසෙහි ඇඳේ, ඇය වටා රොක් වී සිටින දැරියන් ඒ ඇයි දැයි ඇසන විට ඇය කඳුළු වගුරන අයුරු මගේ මනසේ සටහන් වී තිබේ. මිතුරන්ගෙන් අවබෝධ කරගන්නවා හෝ වැඩිහිටියන් කියා දුන්නොත් මිසක පාසැල් අධ්‍යාපනය තුලින් හරි හමං ලිංගික හෝ ප්‍රජනන සෞඛ්‍ය පාඩමක් නොවී ය. අපට ගෘහවිද්‍යාව ඉගැන්වූ ගුරුතුමිය අපට නිරන්තරයෙන් ගැහැණු දරුවන්ගේ පරිස්සම ගැන ඔවදන් දුන් අතර ඇය අපට මවක් මෙන් විය.

“ඇයි ඇයි එහෙම කියන්නේ” දැරිවියක් ප්‍රශ්න කරද්දී, අර දැරිවියගේ දුක බෙදාගනිමින් සිටි තවත් දැරියක් කීවේ, “ඔයාලට මේවා තේරෙන්නෙ නෑ, ඔයාලා පොඩි වැඩී” , කියාය. මේවායේ බර පතල දිගු දුර මට දැනෙන්නේ පසුව ය. ඇගේම මාමා කෙනෙකු, නිතර ඇයව ලිංගික හිංසනයට පත් කළ බවත්, ඇගේ මව පිට රටක සිටි බවත්, ඉන්පසු මේ කතාව ඔස්සේ, ඇය ට පාසැල් ගුරුවරිය හරහා ආරක්ෂාව සහ උපකාර ලැබුණු බවත් මට මතක ය.
මෙවැනි කතා අනන්ත ය. තම සීයා අතීන් එවැනිම ලිංගික හිංසනයකට මුහුණ දුන් දැරියක් තමන්ගේ මවට ඒ ගැන පැවසූ විට කියා තිබුනේ “ ආ අපිටත් ඔහොම තමයි ඒක නෝමල් “ කියා ය. වාසනාවකට පාසැලේ ඇතැම් ගුරුවරියන්, අම්මාවරුන් මෙන් සෙනෙහස දක්වන නිසා ඔවුන් හා මේ කරදර කියන්නටත් ඉන් ගැලවෙන්නටත් ඇතැම් දැරියන්ට පුළුවන් කමක් තිබිණි. මා මෙතෙක් කල් ලියූ කතා වල දැරියන් ඔබට මතක ද ?

දරු දැරියන් ලෙස අපි පරිස්සම් විය යුතු බවත්, පිරිමි අයට අප ස්පර්ශ කරන්න නොදිය යුතු බවත්, කොටින්ම දන්නා හඳුනන පිරිමියකු ගේ අසල වුව වාඩි නොවෙන්න යැයි අම්මා නිතර කී බවත් මට දැන් මතකය ට නැගේ. ගෙදරට නෑයින් කවුරුන් හෝ පැමිණි විට, නංගීත් මාත් අම්මාගේ කාමරයේ නිදි කරවා ගෙන , දොර ලොක් කරන ඇය ගැන එකල අපි සිනහ වුණු නමුත්, දාඩිය දමාගෙන නිදන්නට වුණු නිසා ( අම්මාට විදුලි පංකාව අරහන් නිසා) ඇය හා උරණ වුණු නමුත් අප ආරක්ෂා කළ ඇය ගැන දැන් දැනෙන්නේ අපිරිමිත සෙනෙහසකි.

අල්ලපු ගෙදර අයියා, අන්කල් , මාමා,හෝ ගෙදර සේවකයා අතින් අපහරණයට ලක් වූ දරුවන්, ඒ දේ වැරදී කියා නොදන්නා , හයක් හතරක් නොතේරෙන වයසේ දැරිවියන්, මට කොතෙකුත් හමු වේ. කොටින්ම තමන්ගේ ඇඟේ අවයව පද්ධති ගැනවත් දැනුමක් නැති අවුරුදු තුන හතරේ දරුවන්, තමන්ගේ දෙමාපියන් සිටින ඒ නිවෙස් තුලම අපචාරයට ලක්වන සමාජයක් අප වටා ඇත.

“මලක පාට කුමක් දැයි කියා ගන්න බැරි දරුවාගෙන් උසාවියේදී නීතීඥයා අහනවා, what colour was your under wear ? එය සිදුවන වෙලාවේ ඔබ ඇඳ සිටි ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද? කියලා”

“ඒ සිදුවීම මට වගේම මගේ සහෝදරියන්ට සිදු වුනා.පසුව මම මගේ හිතේ පීඩනයෙන් ගොඩ එන්න මානසික වෛද්‍ය උපදෙස් පවා ගන්න සිදුවුනා. ඒක ඒ තරම්ම පීඩා කාරී යි”

වේදිකාව මත ගොඩ නැගෙන ඒ වචන වල කම්පනය, පදනම් ආයතනයේ බිත්ති පවා සසල කළ හැකි තරම් ප්‍රබල ය.

දිගු කළක් තිස්සේ ඒ කරුමය හිත දරන් ජීවිතේ අනෙක් පීඩන ජය ගන්න වෙහෙසෙන කුඩා මල් කැකුළු කොතෙකුත් දැයි මට සිතා ගන්නට පවා නොහැකිය. සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙක්, කුඩා කළ ලිංගික හිංසනයට පත් වූ අයෙකි යැයි, කියන ඒ වදන් පෙළ දැන් මගේ දෙසවනට වෑස්සේ. මා විසල් වූ නෙත් මුල් තෙත් කරමින් ගලා යන කඳුළට ඉඩ දුන්නේ, නාරිවේද වාට්ටු, ළමා වාට්ටු තුල මට හමුවුන ඒ කුඩා මල් පොඩිති වල දුක්බර මුහුණ මගේ මනසේ රූපාකාරයෙන් දිස් වෙද්දී ය.

වෛද්‍යවරුන් ලෙස අප කළ යුත්තේ මෙන්න මේ දේ යැයි නීති රීති අප වෙත සකස් කර ඇත. එහෙත් අප මේ දරුවන් ඉන් පසු බාරදෙන, ළමා ආරක්ෂක අධිකාරිය මේ දරුවන් වෙනුවෙන් සිදු කළ යුතු කාර් යය භාරය විශාලය. එහෙත් !

එදින, එනම් සැප්තැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී “ළමා ආරක්ෂණ බලකාය” බල මුළු ගැන්වීමේ උත්සව සභාව ඇමතූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කියා ගත යුතු වුන දේ අපටත් වඩා හොඳින් උත්සව සභාව අමතා පැවසූ අතර (පහත ලින්ක් එකෙන් වීඩියෝව නරඹන්න) එම ශාලාවේ, ළමා ආරක්ෂන අධිකාරිය වෙනුවෙන් වෙන් කළ තිබුණු “හිස් පුටු” ඒ අහවල් අධිකාරියේ ස්වභාවය හොඳ හැටි පැවසූ බව අපට පසක් විය.

ළමා ආරක්ෂණ බලකාය ! child protection force, නමින් අප පාසලේම ඉගෙනුම ලැබූ නීතීඥ මිලානි සල්පිටිකෝරාල විසින් බල ගැන්වූ, මේ ආරක්ෂණ කණ්ඩායම, ළමයින් ආරක්ෂා කරන්නට, එවැනි හිංසනයට පීඩනයට පත් වූ දරුවන් දැරිවියන්, තවත් පීඩාවට පත් කරන සුළු වන නීති යාන්ත්‍රනයේ ඇති දරුණු පසු බෑම් සහ දරුවන් තව තවත් අසරණ කරවන සුළු වන ඒ සමස්ථ නීති පද්ධතියම හරි මගට යොමු කිරීමෙහි ලා ගත් සුවිශාල වැදගත් තීරණයකි.

ආදරණීය මිලානි නංගී, මට මතක්වෙන්නේ ඔබේ පාසැල් කාලයයි. මට වඩා වසර කීපයක් පහළ පන්තියක සිටි ඔබ තුලින් මා සුවිශේෂී, නායකත්ව ලක්ෂන දුටුවේ එකල සිට ය. ඔබ අද මුළු මහත් සමාජයටම ආදර්ශයක් වී, ළමුන් වෙනුවෙන් සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන්නට විශාල පියවරක් දැනටමත් අරන් ඉවර ය. මා ලියන කතා ඔස්සේ,නිතර මා හා සංවාදයෙහි යෙදෙන, නීතියෙන් කළ හැක්කේ කුමක් දැයි පවසන, ඔබ සමස්ථ දූෂිත යාන්ත්‍රණය වෙත බොහෝ ප්‍රායෝගික කනේ පහරක් එල්ල කරාට මම ඔබට ස්තූති වන්ත වෙමි.

“අයියෝ ඩොක්ටර්, අර අපි අවුරුදු දෙකකට කළින් ඉන්ෆෝම් කළ කේස් එක , inquiry කරන්න කෝල් කළේ මේ ඊයෙ පෙරේදා,මම කීවේ ඕකුන්ට කියලා වැඩක් නෑ” මේ මම අධිකාරිය ගැන ඇසූ වදන් ය. රාජ්‍ය යාන්ත්‍රණයේ අඩු පාඩු දැක දැක බැණ අඬගා ගනිමින් , ආතතියට පත්වෙමින් සේවය කරන්නට සිදුවීම කාලකන්නිකම කි යැයි මට සිතේ.

“නංගී මතකද , අපි බොහොම හිතේ අමාරුවෙන් හිටියා, ළමා අපයෝජනය සිදුවෙන පන්සලක හාමුදුරුවෝ ගැන, ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුනේ එයා අහවල් බලවතාගේ කෙනෙක් නිසානේ. ආණ්ඩු මාරු වෙච්ච ගමන්, ඒ චීවර දාරියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා , ඒ දරුවන්, ළමා නිවාසයට බාර කළා” උතුරු කොනේන් මා ඇමතූ අපේ ජේෂ්ඨ වෛද්‍යවරයෙක් මට පැවසුවේ 2015 දී ය. ඔව් , ඒ පොඩි හාමුදුරුවරු, සහ දරුවන් අපට කියූ දෑ, එම ටය. පන්සල් පල්ලි මූලික ඒ සමාජයේ සිදුවන එවැනි දූෂණ අපචාර ගැන වුවද මේ රට මර නින්දේ පසුවන බව පමණක් මම ලියා තබමි.

ඔව් මේ , අපේ රටේ ඇත්ත කථාව ය.” දරුවන් මල් වගේ ” දරුවන් ආරක්ෂා කරගමු යැයි කොතෙකුත් පැවසුවද, අපේ ඇස් ඉදිරිපිටම දරුවන් ගේ ලෝකය විනාශ වෙමින් පවතී.

“මගෙ ටිකට් කපන්න නෝනා” අළුත උපන් බිළිඳා රැගෙන ඉක්මනින් ගෙදර දුවන්න වෙහෙසෙන මවක් අවසානයේ පැවසූයේ, තමන්ගේ දස හැවිරිදි දියණිය සිටින්නේ බීමත් සැමියා භාරයේ බව ත් ඇය දූෂණය වේ යැයි බියක් හිතේ ඇති වගත් ය.

මිනිස්සු මේවා කරන්න භය නැත්තේ ළමා අපචාර නීති රීති දැඩිව ක්‍රියාත්මක නොවන නිසා යැයි මම කියමි.

ළමා අපචාරයන්ට ලක්වන දරුවන් සහ දෙමාපියන් බොහෝ විට මේ යාන්ත්‍රනයේ පවතින ගැටළුකාරී බව නිසා, දරුවන් උසාවි ගානේ, පොලිසි ගානේ ගෙනිහින්, අනෙක් පැත්තේ නීතීඥයින්ගේ ( දූෂිතයා වෙනුවෙන් පෙනී සිටින) ප්‍රශ්න හමුවේ තවත් අසරණ වෙන නිසා,
ඔවුන්ව උසාවියක් ඉදිරියේ, පිරිසක් ඉදිරියේ, ඔවුන්ට අත් දකින්න සිදුවූ ඒ දරුණු ඛේදවාචකය සිදු නොවුනැයි, ඔප්පු කරන්නට ඔවුන්ව තව තවත් කරදරයට පත් කරන නිසා, ඔවුන් ඇත්ත කියද්දී ඔවුන් බොරු කියන්නේයැයි ඔප්පු කරන්නට හදන නිසා,
යනාදී කරුණු නිසා දරුවෝ ද දෙමාපියන් ද මේ යාන්ත්‍රනය ඔස්සේ යුක්තිය ඉටු කරගැනීමට මැලි වෙති. දරුවන්ගේ හිත, මනස ගැන සොයා බලන්නට මානසික වෛද්‍ය උපකාර හෝ, උපදේශනය ඔවුන් ට මෙහිදී ලැබෙනවා ද ? ඔවුන් මුහුණ දුන් ඔවුන්ටවත් නොතේරෙන ඒ කරුම සිද්ධිය ගැන ඔවුන්ගේ හිත හදන්න යමක් මේ යාන්ත්‍රණයෙන් සිදු කරනවා ද? නැත !

එහි දී අදහස් දැක්වූ මනෝ විද්‍යාඥ ආචාර් ය ෂාන්‍යා අබේනායක, පැවසූයේ එම මනෝ චිකිත්සක උපකාර යොමු කරවන යාන්ත්‍රනය ඉතා දුර්වල බව ය. ඇය මුහුණ දුන් එවැනි සිදුවීමක් සහ දෙමාපියන් නීතිය හමුවේ කෙතරම් උකටලී ස්වභාවයක් පෙන්නුම් කරනවාද යන්නත් ඇය පැහැදිලි කළාය.

දරුවන් වෙනුවෙන් ජීවිතය දී ක්‍රියා කරන්නන් අපට අවශ්‍ය ය.

දරුවන් ගේ ජීවත සුරක්ෂිත කිරීමට හැකි පිරිස් අපට අවශ්‍යය.

දරුවන්ට සිදුවන මේ ඛේදවාචක ගැන ඔවුන් හෝ දෙමාපියන් නිහඬ නොවී සිටිය හැකි රාජ්‍ය යාන්ත්‍රනයක් අපට අවශ්‍ය ය.

ඔවුන්ගේ ඉදිරිය අඳුරු නොවන, කායික මානසික උපදේශන සේවාවක් අපට අවශ්‍ය ය.

දරුවන්ට සුරක්ෂිත සමාජයක් නැති නිසා, ඔවුන්ට ආරක්ෂා වීම ගැන කියා දීම අවශ්‍යය.

ඔවුන්ගේ ලිංගික/ප්‍රජනන සෞඛ්‍යය ගැන සහ ඔවුන්ගේ නිවස තුලම ආරක්ෂා වීම ගැන ඔවුන්ට වටහා දීම අවශ්‍යය ( වෛද්‍යවරුන් වන අපට ඒ ගැන වඩා හොඳින් විවෘතව කතාබස් කළ හැකි නිසා අපේ සහය පාසැල් වලට ලබා ගත යුතු ය)

එනිසා ළමා ආරක්ෂණ බලකාය ! ඔව් එය කාලීන සමාජ අවශ්‍යතාවය කි. ඊනියා ආගමික සදාචාරයක් ගැන පම්පෝරි ගැසුවාට මේ ලංකා පොළොව මත, හය හතර නොතේරෙන කිරි සප්පයින් ගොදුරු කරගන්නා, රකුසන් එමට ය, කරුමය නම් එවැන්නවුන් ඇතැම් විට ඔවුන්ට ජීවය දුන් පියවරුන් ය, එක්කුස උපන් සහෝදරයින් ය, ලේ නෑයින් ය, හිතවතුන් ය, ආරක්ෂාකාරීයැයි දෙමාපියන් සිතුවාට, එම නිවසෙහිම සිටිනා , යන එන රකුසන් ය.

ඉතින් අපි පෙළ ගැසෙමු ! අපේ දරුවන්ගේ අනාගතය උදෙසා.
ළමා ආරක්ෂක බලකායේ ෆේස් බුක් පිටුවට පිවිසෙන්න

https://web.facebook.com/childprotectionforce/
එය වෙත, ඔබේ අදහස් උපකාර මේ වෙනුවෙන් ලබා දෙන්න.

පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය සදහා ඇති ආගමික සහ සංස්කෘතික බාධක

ඇරෝ (http://arrow.org.my) සංවිධානය මගින් Coming of Age in the Classroom: පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය සදහා ඇති ආගමික සහ සංස්කෘතික බාධක නමින් නිකුත් කළ ඇති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවට උගත හකි පාඩම් ගණනාවක් ඇතුළත් වේ.

දැනට බිලියන 1.8ක් වන ලෝක තරුණ ප්‍රජාව ලෝකයේ නව නිෂ්පාදන සහ දැනුම නිපදවීම සදහා අතිශය වැදගත් වන අතර ඒ පිරිසට වයසට සරිලන සහ පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය නොලැබී යාම හේතුවෙන් සිය ජීවිත පිළිබද දැනුවත් තීරණ ගැනීමට ඔවුන්ට අපහසු වන බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි.

උදාහරණ ලෙස ගෝලීය මට්ටමෙන් ඒඩ්ස් ආශ්‍රිත මරණ අඩුවෙමින් පැවතියද තරුණ ප්‍රජාව එච්අයිවී සදහා වැඩි අවදානමක් සහිත වීම, ඇස්තමේන්තු අනුව මිලියන 100ත් 140ත් අතර ගහුණු දරුවන් ප්‍රමාණයක් කිසියම් ආකාරයක ස්ත්‍රී චර්මඡේදනයකට ලක් වී ඇති බව සහ  සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන වසය අවුරුදු 18ට අඩු ගැහැණු දරුවන් 20000ත් පමණ දිනපතාම  දරුවන් බිහි කරන බව මෙම වර්තාව දක්වයි.

එම නිසා ලිංගික ජීවිතය පිළිබද ප්‍රමාණවත් සූදානමක් ඇති කර ගැනීම සැමට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය ළගා කර ගැනීමේ කේන්ද්‍රීය සාධකයකි.

සිය ජීවිත පිළිබද දැනුවත් තීරණ ගැනීම සදහා අවශ්‍ය දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේදී පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය අතිශය වැදගත් භූමිකාවක් ඉටු කරයි. ජාත්‍යන්තර මාපියභාවය පිළිබද සම්මේලනය ඉදිරිපත් කර ඇති වැඩ රාමුව අනුව පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය තුළ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ එච්අයිවී, ලිංගික පුරවැසිභාවය, ලිංගික තෘප්තිය, හිංසනය, විවිධත්වය සහ සම්බන්ධතා යන තේමා 07ක් ඇතුළත් වේ.

පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපන ක්‍රමානුකූල විෂයමාලාවක් ලෙස සංකල්පගත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ සංකීර්ණතා පවතී. පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය පාසල් තුළ ආයතන ගත කිරීම නියත වශයෙන් මතු වන අභියෝගකි. උදාහරණය වශයෙන් නිලධාරීවාදය, අමාත්‍යංශ අතර තීරණ ගැනීම සහ සම්බන්ධීකරණය ආදිය කාර්යක්ෂම ලෙස විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට බධා එල්ල කළ හැකි බව මෙම වාර්තාවේ දැක්වේ. එමෙන්ම නිවැරදි තොරතුරු සහ සුදුසු ශික්ෂණයක් සහිතව මෙම විෂමාලා නිර්මාණය කිරීමද ගුරුවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට අභියෝගයක් වනු ඇත.

මෙහි ඇතුළත් වන නිර්දේශ ලුහුඩින් පහත දැක්වේ.

  1. විෂය මාලාව පිළිබද දැනුම සහ හිමිකම් පාසල වෙත ලබා දීම. විෂය මාලාව නිර්මාණය කිරීමේදී විවිධ පාර්ශව කරුවන් හවුල් කර ගැනීම.
  2. ලිංගිකත්වය සහ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද පවතින ආගමික සහ සමාජ-සංස්කෘතික ප්‍රතිමාන පිළිබද කතිකාවක් ගොඩනැංවීම සදහා අවශ්‍ය භාෂාව ගොඩ නැගීම.
  3. පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීම සදහා ගුරුවරුන් පුහුණු කිරීම.
  4. ස්ත්‍රීන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබද ප්‍රගතශීලී අර්තකතන ඉදිරිපත් කිරීම සදහා ආගමික ලියවිලි පිළිබද අධ්‍යයන ආරම්භ කිරීම.
 
සම්පූර්ණ වාර්තාව සදහා මෙතනින් පිවිසෙන්න 
 
 

පෙරේත බැල්ම

By සොනාල ගුණවර්ධන

මේ වන විට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී තුන් මසක් ගොස් තිබුණි. ඒ වෙනුවෙන් උන්වහන්සේගේ පටිගත කරන ළද දේශනයක් පුළුල් තිරයක් දමා ජනතාවට පෙන්වීමට අප කිහිපදෙනෙකු එක්ව කථිකා කරගෙන සිටියෙමු.

මා ආහාරයට ගැනීමට කැමති දෑ තනිව සාදා ගැනීමට මා කුඩා කළ සිටම කැමතිය (මෙම පුරුද්ද ඇතිවූයේ බොරැල්ල නීලගිරි හෝටලයෙන් කොත්තුවක් අරගෙන දෙන මෙන් මා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අම්මාට විරෝධය පෑමක් ලෙස තනිව කොත්තුවක් සෑදීමට ගත් උත්සාහය නිසාය. ලිප තරමටවත් උස නොවූ මට දවසෙන් භාගයක් පමණ වැය කර පිළිස්සුම් තුවාල දෙකක් සහිතව කොත්තුවක් වාගේ පෙනුමැති දෙයක් සාදා ගැනීමට හැකි විය) ඉහත සඳහන් කළ දිනයේද මා කළේ පාන්කුඩු තැවරූ මාලු බැදීමයි. එය සෑදීමෙන් පසු කෑල්ලක රස බලා යාලුවෙකුගේ නිවෙස වෙත තනියම පියමැන්නේ සෝම හිමියන්ගේ පුළුල් තිර දේශනාව ගැන යහලුවා සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමටය.

එදින රාත්‍රි ආහාර ගෙන නින්දට ගොස් පැය කීපයක් යෑමට මත්තෙන් මාගේ බඩ රිදෙන්නට වූයේ වෙන කවරදාකවත් නොවු ආකාරයටය. සතියකට දෙවතාවක් පමණ විනෝදයට මෙන් කෑම පිසූ මට වැරදීමක් වෙන්නට තිබූ ඉඩකඩ අඩුය. බඩේ රිදිල්ල මොහොතක් ගත වූ පසු බඩඑළිය යාමක් බවට පත් විය. සොරබොර වැව ඇරියාක් මෙන් එය නවතින පාටක් පෙනෙන්නට තිබුණේ නැත. ගෙදර ඈයෝ දන්නා ගොඩ වෙදකම් සියල්ල කළද සුව නොවුනි. පසු දින රාත්‍රිය වන තෙක් සුවයක් නොවු බැවින් වෛද්‍යවරයෙකු වෙත මාව රැගෙන ගියේය. ඔහු කෑම අජීර්ණයක් යැයි පවසා බෙහෙත් ලබා දුන්නනද සුවයක් නොවුන තැන දොස්‌තර මාරු කළ බැලීමට නිවැසියන් තීරණය කර තිබුණි. එහෙත් එයින්ද ප්‍රතිඵලයක් තිබුණේ නැත. නැවතත් වරක් දොස්තර මාරු කළ ද සහනයක් ලැබුණේ නැත. පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගත්තද සුව වූයේ නැත. මට දැන් ආහාර ගැනීමට පිරියක්ද නැත. ජලය පානය කළද එයත් මොහොතින් පිටව යයි. වන විට මාගේ සිරුර අතිශයින් දුර්වල වී තිබුණි. ඉල ඇට කූඩුව පිටතට පෙනෙන්නට විය. මා සිටියේ තනියම ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක ය. ඇඳෙන් නැගිටින විට පරඬැල් පතක් මෙන් නැවතත් ඇඳ මතටම ඇද වැටුණේ නිවැසියන් බිය කරමින්ය.

දින හයක් ගතවූ පසු පැමිණි රාත්‍රියේ එනපොට හොඳ නැති බව වටහාගත් අප පවුලේ හිතවතෙකු ( රෝහිත අයියා නමින් හැදින්වූ ඔහු මීට සති දෙකකට පෙර හදිසි හෘදයාබාධයක් වැළදී සදහටම අපෙන් නික්ම ගියේය) මාව ඔසවාගෙන ගොස් ඔහුගේ වෑන් රථයට දමා ගෙන ගියේ දේවාලයක් වෙතය. එහි සිටියේ කාන්තාවකි. ඇයට පාද තිබුණේ නැත. දෙඅත් තිබුණේ ද වැලමිට දක්වා පමණි. දේවාලයට ඇතුලු වනවාත් සමග මට කලන්තය දැම්මේය. සිහිය එනවිට දේවාලයේ කාන්තාව ඇයගේ වැලමිට දෙකෙහි රඳවාගත් බිත්තරයක් මතුරමින් සිටියාය. මොහොතකට පසු මැතිරීම නැවත්වූ ඇය එම බිත්තරය ගෙන ගොස් හතරමං හන්දියක ගසා බිඳින ලෙසට අපට අණ කළාය. එතැනින් පිටත් වූ අප ඇය අණ කළ ලෙසම බිත්තරය හතරමං හන්දියක ගසා ගෙදර බලා පිටත් වූයෙමු. ගෙදරට ඇතුළු වූ විගසම කොරේ පිටට මරේ කියන්නාක් මෙන් මට වමනය යන්නට පටන් ගත්තේය. නමුත් එය සිදුවූයේ එක්වරක් පමණි. ඉන්පසු මාගේ තත්ත්වය සුවදායක තත්ත්වයට හැරුණි. බඩ එළිය යෑම මුලුමනින්ම නැවතුණි. පසුදින වන විට මා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වීම නිසා නිවැසියන් සැනසුම් සුසුම් හෙළන්නට විය.

වැඩිහිටියන් පැවසු පරිදි එය මා වෙත වැටුණ පෙරේත බැල්මකි. රාත්‍රියේ තනිවම පුළුටු බදින විට හෝ බැදුම් කා තනිව ගමන් කරන විට ප්‍රේතයන් බැල්ම දමන බවත් එසේ සිදුවන්නේ මා මනුෂ්‍ය ගණයෙන් ඉපදී ඇති නිසාත්, දේව ගණයෙන් හෝ යක්ෂ ගණයෙන් ඉපදී ඇත්නම් එසේ නොවන බවත් මට පැවසුවේ ඔවුන්ය.

බොහෝ දෙනෙක් මෙම කතාව අවඥාවෙන් බැහැර කරනවා නියතය.ලෝකය, විද්‍යාව හා තාක්ෂණය කොතරම් දියුණු යැයි අප උදම් ඇනුවද අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන හා ප්‍රඥාවට ගෝචර නොවන බොහෝ දෑ මේ අනන්ත විශ්වයේ තිබිය හැකි බව මම වටහා ගත්තේ මේ සිදුවීමත් සමගය.

( මේ ලිපිය ලියූවේ එදා මා දේවාලයට ඔසවා ගෙන ගිය රෝහිත අයියාට උපහාර පිණිසය.)

විදුලි කොටන හාද්ද – The Kiss of Life

1967 ජූලි මාසයේ 26 විදියේ බටහිර පැත්තට වෙන්න විදුලි රැහැන් අලුත්වැඩියාවක සේවකයන් දෙදෙනකු නිරත වෙලා ඉදියා.. Randall G. Champion කියන කාර්මික ශිල්පිය ඉහළ සිට රැහැන් අලුත් වැඩියාවක නිතර වෙලා ඉද්දී ඔහු නොසිතන දෙයකට මුහුණ දෙන්න සිදු වුනා ඒ මද බලයක් ඇති විදුලි රැහැනක ඔහු දැවටෙනවා.. ඔහුට එහිදි විදුලි සැර වැදිනවා…..
 
ඔහුගේ ජිවිතේ වාසනාවකට ඔහු ආරක්ෂිත රැහැන් වලින් විදුලි කණුවට සම්බන්ධ වෙලා ඉදියේ.. ඒ නිසා ඔහුව ඉවතට විසි වෙන එකෙන් බේරෙනවා… 
 
ඔහුට සිහිය නැතිව කම්පනයට පත් වෙනවා. ඔහුගේ අනිත් සගය පහළ තිබුනු විදුලි රැහැන් වල අලුත් වැඩියාවකයි සිටියේ.. ඔහු නමින් J.D. Thompson ඔහු දකිනවා ඔහුගේ සගයට සිදු වුනු දේ.. ආරක්ෂිත රැහැන් වලින් එල්ලෙමින් සිටි චැම්පියන් ලගට ඔහු ගොස් ඔහුට සිදු වී ඇති අනතුර පරික්ෂා කරනවා. ඔහුගේ ශ්වසනය අක්‍රමවත් වෙලා.. වහාම ප්‍රථමාධාර දෙන්න තොම්සන් ක්‍රියාකරනවා.. ඔහු චැම්පියන් ට කෘත්‍රිම ස්වනවය ලබා දෙන්නේ ඒ විදිහටයි.

Rocco Morabito මේ අවස්ථාවේ දී වාහනයකින් ඒ ආසන්නයෙන් ගමන් කරමින් සිටියා.. ඔහු මේ සිදුවීම ගැන පැවසුවේ මේ විදිහටයි.

“මම මේ සිදුවිම වෙන තැන පහු කරමින් යමින් යදියේ මගේ වැඩ වගයකට. එතකොට මට ඇහුනා කෑගහන හඩක්. මම එතකොට උඩ බැලුවා මම දැක්කා මේ මනුස්සයා එල්ලීලා ඉන්නවා.මට දෙවියන් සිහි වුනා. මට කළ හැකි දෙයක් හිතා ගන්න බැරි වුනා. මම ඒ වෙලාවෙම තමා මේ ඡායාරූප කිහිපය ගත්තේ J.D. Thompson ඔහු ළගට වයර් වලින් එල්ලීගෙන යනවා මං දැක්කා.. මම ආයෙත් මගේ කාර් එක ළගට ගිහින් ගිලන් රථයකට කතා කරා. මම දැක්කා ඔහු ඔහුගේ සගයාට කෘත්‍රිම ස්වසනය දෙනවා. ඒ වෙලාවේ මම තවත් ඡායාරූපයක් ගත්තා. මට ගෙදර යන්න කිසිම උවමනාවක් ඇති වුනේ නෑ. මම දැක්කා තොම්සන් නිසා චැම්පියන් හුස්ම ගන්නවා..”

Rocco Morabito ලබා ගත් කෘත්‍රිම ශ්වසනය දෙන ඡායාරූපයට The Kiss of Life නමින් නම් තැබීය. එය 1968 වර්ෂයේ දි Pulitzer Prize සම්මානයෙන් පිදුම් ලැබිය. මේ ඡායාරූපය එදා ලෝකය පුරාමත් ඇමෙරිකාව පුරාමත් විශාල අවධානයක් ලබා ගත් ඡායාරූපයක් වුනා. J.D. Thompson ගේ වීර ක්‍රියාව හමුවේ Champion තවත් අවුරුදු 35ක කාලයක් ජිවත් වෙන්න හැකියාව ලැබුනා.ඔහු 2002 වසරේ දී මිය ගියා ඔහු මිය යන විට අවුරුදු 64ක්. Thompson අදටත් ජිවතුන් අතරයි.. මේ අපුරු සිදුවීම ඉතින් ඡායාරූපයට නැගුනේ ඔය විදිහටයි.

| දිලීප සංජය රණවක

අපූරු වෙළෙන්දෝ

 By: සොනාල ගුණවර්ධන                      

මා කුඩා කළ අප නිවසට පැමිණෙන වෙළෙන්දෝ කීප වර්ගයක් විය. ඒ අතරින් වේවැල් වලින් සාදන ළද විශාල එළවලු වට්ටියක් හිස මත තබාගෙන පැමිණෙන අවුරුදු හැත්තෑවක් පමණ වූ සීයා කෙනෙකු සුවිශේෂී විය. ඔහු එළවළු පිළිවෙලකට සකස් කළේ අප නිවස ඉදිරි පස වු කණ්ඩියක සිටය. ඔහු කෙදිනකවත් අපට එළවළු විකුණන්නට උත්සාහ දරනවා මට මතක නැත. ඔහු පැමිණි විගස මා ද අසලට ගොස් වාඩිවෙන්නේ ඔහු එළවළු පිළිවෙලකට සකස් කරන අන්දම බැලීමට ය. ඔහු සතුව තිබූ කුඩා වක් පිහියට මා කැමති බව ඔහු දැන සිටි බැවින් ඔහු එළවළු නොකපන විට මට එය ලබා දුන්නේය. එවැනි වයසක සිට ඔහු එම රැකියාව කළේ එය ජීවිතය ගෙන යෑමට තිබු එකම මාර්ගය වු නිසා වීමට පුළුවන. ඒත් ඔහු වැඩිකල් එලෙස පැමිණියේ නැත.

විටින් විට දෙහි හෝ අමු මිරිස් ගෝනියක් කර තබා ගෙන පැමිණි වයස අවුරුදු හතලිහක් පමණ වූ වෙළෙන්දා ද අපූරු අයෙකි. මා අලෙවිකරණය පිළිබඳ ප්‍රථම පාඩම ඉගෙන ගත්තේ ඔහුගෙන් ය. ඔහු භාෂාව හැසිර වූයේ ඔහුගෙන් මිලදී නොගන්නේ නම් අපට මහත් පාඩුවක් වන අයුරිනි. ඔහු සෑම විටම ග්‍රෑම් සියයක් හෝ දෙසීයක් වැඩිපුර ලබාදෙනවා මෙන් රඟපෑ නමුදු එසේ කළේ නැත. අප කිසිදිනෙක ඔහු හරවා යවනවා ද මතක නැත. ඔහුගේ භාෂා විලාශය හේතුවෙන් අපේ තාත්තා ඔහුට ” පුකේ කරුණාව” යනුවෙන් නමක්ද පටබැඳ තිබුණි. ඔහුට සිදුවුයේ කුමක්දැයි යන්න ගැන කවුරුත් නොදනී.

රවුම් තොප්පියක් පැළඳගෙන බිත්තර පෙට්ටියක් සහිත බයිසිකලය පැදගෙන එන “බිත්තර මුදලාලි ” වැඩි කතා බහක් නැති අයෙකි. ඔහු සිනහමුසු මුහුණින් වෙළඳාම කර පිටවී යයි. ඔහු අදටත් එලෙසමය. ඔහුගේ පෙනුම ද එදා දුටු විලසමය. දිනපතා සැතපුම් ගණන් බයිසිකලය පැදීමෙන් ලැබෙන ව්‍යායාමය නිසාදෝ ඔහුගේ වයසට යෑම නැවතී ඇති බව හැඟේ.

“කඩල කමු..විනාඩි පහෙන් මහත් වෙමු” යයි හඬගා සීනුව නාද කරමින් පැමිණි කාල වර්ණ සිරුරැති තම්බපු කඩල විකුණු වෙළෙන්දා සැහෙන ජනප්‍රිය අයෙකි. ඔහු පැමිණියේ හිටි හැටියේම වුවත් ඔහුගේ කඩල වලට දැමු මිශ්‍රණය නිසා එය රසවත් වූවක් විය. ඔහු ඇවිද්දේ කඩදාසියක් ලිපේ දමා පැමිණි අයෙකු විලසිනි. ඔහුගෙන් කඩල ගැනීමට ඔහුගේ පිටුපස දිව යා යුතු විය. එකල එය අපට මහත් විනෝදය ගෙන දෙන්නකි. ඔහු LTTE ඔත්තුකරුවෙකු බව පසුව හඳුනාගෙන තිබූණි. ඔහුට සිදුවුයේ කුමක්ද යන්න ගැන අප අදටත් දන්නේ නැත.

අතීතකාමය වර්තමානයේ ජීවත්වීමට බාදාවක් බව මම දනිමි. එහෙත් මේවා මතකයෙන් ගිලිහී යාමට පෙර කොහේ හෝ සටහන් කර තිබීම සුදුසු යැයි හැඟෙන නිසා විවේකී විට ලියමි.

එන්න, අපි අහස පාට කරමු

කයිට්   ශ්‍රී ලංකා සංවිධානයේ  ප්‍රමුඛතම ව්‍යාපෘතිය ලෙසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දිවයිනේ වැඩිම කාලයක් සාර්ථකව පැවැත්වු එකම සරුංගල් සැණකෙළිය වන‘නිල් අහසේ වසන්තය’ ජාතිකසරුංගල් සැණකෙළිය දසවන වරටත් 2017 අගෝස්තු මස 12,13 යන දෙදින උදැසන 8.00 සිට දවස පුරා මීගමුව වෙරළ උද්‍යානයේදීපැවැත්වීමට නියමිතය.මේ සඳහා සංවිධානසහයෝගය දක්වමින් ‘මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය’ මේ වසරේදීත් කයිට් ශ්‍රී ලංකා සමග එක්වී ඇති අතර ‘සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව’ ද කයිට් ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳගෙන ඇත.

මෙම ජාතික සරුංගල් සැණකෙළියට සමගාමීව පවත්වනු ලබන සරුංගල් තරඟාවලිය ළමා හා විවෘත යන අංශ දෙක ඔස්සේපැවැත්වේවයස අවුරුදු 15ට අඩු ළමුන්ට තේමා තුනක් ඔස්සේ අගෝස්තු 12 සෙනසුරාදාදිනළමා අංශයට නිර්මාණ ඉදිරිපත් කල හැකිය.

වඩාත්මනිර්මාණශීලී සරුංගලය‘මතින් නිදහස් රටක්’ තේමා කරගත් සරුංගලය, ‘ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ – පරිසර හිතකාමී සරුංගලය එම අංශ වේ.

විවෘත අංශය සදහා අගෝස්තු 13 ඉරිදාදින තේමාවන් හතරක් යටතේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය. වඩාත්ම නිර්මාණශීලී සරුංගලය,‘මතින් නිදහස් රටක්’ තේමා කරගත් සරුංගලය, ‘ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ – පරිසර හිතකාමී සරුංගලය හා හොඳම ප්‍රහාරාත්මක සරුංගලය (ෆයිටිං කයිට්) යන තේමාවන් සදහා මෙම අංශය ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය. හොඳම ප්‍රහාරාත්මක සරුංගලය (ෆයිටිං කයිට්) සදහා කොම්බුව හා වවුලා සරුංගල් පමණක් ඉදිරිපත් කල යුතු අතර ඒවා ප්‍රමාණයෙන් අඩි 1 1/2 ට නොවැඩි විය යුතුයි.

ජාත්‍යන්තර තරුණ දිනය සමරමින් ‘මතින් නිදහස් රටක්’ සහ ‘ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ තේමාවන්ගෙන්යුත් සරුංගල් පාගමනමෙවරද12 වන සෙනසුරාදා උදෑසන 8.00 ට මීගමුව නගරසභා පිටියෙන් ආරම්භ වී වෙරළ උද්‍යානය බලා ගමන් කිරීමට නියමිත අතර ඒ සඳහා සහභාගීවීමට සංවිධායකයින්ඔබ සැමට විවෘත ආරාධනයක් කර සිටි.

සරුංගල් තරඟාවලියට සමගාමීව වැලි නිර්මාණ තරඟාවලියක්ද මීගමුව වෙරළ තිරයේදී පැවැත්වෙනු ලැබේ. ළමුන් සඳහා තරඟය අගෝස්තු 12 වන දින පැවැත්වෙන අතර වීවෘත අංශය අගෝස්තු 13 දින පැවැත්වේ.ඒ සඳහා ඉදිරිපත් විය හැක්කේ පස් දෙනෙකුට නොවැඩි ගැහැණු පිරිමි මිශ්‍ර කණ්ඩායම් වලට පමණි. සියලුම තරඟ ලියාපදිංචිය පෙරවරු 8.00 සිට පස්වරු 11.00 දක්වා සිදුකෙරේ.

සෑම අංශයකම ජයග්‍රාහකයින් සදහා කුසලානපදක්කම් හා සහතික සමග වටිනා ත්‍යාග මෙන්ම මුදල් ත්‍යාගද ලබාදීමට කටයුතු සුදානම් කර ඇත. 

තරගාවලිය සදහා ඉදිරිපත් නොවුනද සරුංගල් සැණකෙළිය සමග එක්වී විනෝද වීමට ඔබට අවස්ථාව ලැබේ. දවස පුරා සරුංගල් කඳවුරු,වැඩමුළුමැජික් සංදර්ශනමුහුණු පින්තාරුවිනෝදාත්මක ක්‍රීඩාචිත්‍රපට ප්‍රදර්ශන වැනි විශේෂාංග රැසක් සමගින් එක්වීමට මෙහිදී අවස්ථාව හිමිවේ. එදින නැරඹීමට පැමිණෙන සැමට දවස පුරා වටිනා ත්‍යාග ලබාදීමට අනුග්‍රාහකයින් සහ කයිට් ශ්‍රී ලංකා සංවිධානය කටයුතු යොදා ඇත.

එදිනට විදේශීය සරුංගල් කණ්ඩායම් මෙන්ම  ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩකයින්ගායකයින්,නළු නිළියන් ඇතුළු විශේෂිත පුද්ගලයන් රැසක් සහභාගී වීමට නියමිත අතර ඔවුන් සමග කතාබහ කිරීමටත්ඡයාරූප ලබාගැනීමටත් ඔබට අවස්ථාව හිමිවේ. එමෙන්ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඉදිරිපත් කරන විවිධ සංස්කෘතිකාංග රැසක්ද රසවිඳීමට අවස්ථාව ලැබේ. පවුලේ සැමට විනෝද වීමට මෙම සැණකෙළිය අපුරු අවස්ථාවකි.

2017 අගෝස්තු 12,13 දවසපුරාවට මීගමුව වෙරළ උද්‍යානයේදී “මතින් නිදහස් රටක්” – නිල් අහසේ වසන්තය ජාතික සරුංගල් සැණකෙළිය’ සමග එක්වීමට දිවයිනේ ලක්ෂ සංඛ්‍යාතසරුංගල් ලෝලීන්හටකයිට් ශ්‍රී ලංකා සංවිධානය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායආරාධනා කරයි.

විමසීම්– 
කයිට් ශ්‍රී ලංකා: 
0778390490
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය:01140386485/0713664911

 

පොඩිඑකා උදේට කාලා නෑ…

පසුගිය දා (03) විද්‍යා නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි ලබාදුන් එකොළොස් හැවිරිදි දරුවෙකු සාක්ෂිය ආරම්භ කොට විනාඩි කිහිපයක් යත්ම සාක්ෂි කූඩුව මත ක්ලාන්ත වී ඇදවැටී ඇත. එම දරුවාගේ සාක්ෂිය ඉතා වටිනා එකක් වන්නේ මෙම ඝාතනය සිදුවන විට නව හැවිරිදි වියේ පසුවූ ඔහු දූෂණය සිදුවූ ආකාරය සහ එහි සිටි පිරිස් දෑසින්ම දැක ඇති හෙයිනි. තමා දුටු දේ දරුවා විසින් සිය මවට පැවසීමෙන් අනතුරුව මව එකී කරුණු පොලීසියට පවසා තිබේ.

සාක්ෂි කූඩුවේ ක්ලාන්ත වී ඇද වැටුණු දරුවා අසලට පැමිණි පියා ඔහුව වත්තන් කරගෙන යද්දී මහාධිකරණය විනිසුරුවරුන් පියාගෙන් අසා ඇත්තේ දරුවා අසනීපයකින් පෙළෙන්නේද යන්නයි. එවිට පියා පවසා ඇත්තේ ‘නෑ සර්, පොඩිඑකා උදේට කාලා නෑ…. කන්ඩ දෙයක් අරන් දෙන්න මගේ ලඟ සල්ලි තිබුණෙ නෑ….’ කියාය. උසාවියේ රැස්ව සිටි අය ඉහළට ගත් හුස්ම නතර වූවා සේ හැඟිණි.

වහාම ක්‍රියාත්මක වූ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා විනිශ්චයාසනය මත රැඳී හිඳිමින්ම තම පසුම්බිය ගෙන මුදල් නෝට්ටු කිහිපයක් උසාවියේ තෝල්කවරයා අත තැබුවේ එය පියාට ලබාදී වහාම දරුවා රැගෙන ගොස් කෑම ලබාදෙන ලෙස පවසමිනි. එතෙක් නඩුව පැයකට ආසන්න කාලයක් කල්තැබීමට විනිසුරු මඩුල්ල වහාම පියවර ගත්තේය.

හොඳින් කා බී වතුර බෝතලයක් ද අතැතිව සිනාසෙමින් නැවත අධිකරණයට පැමිණ ඇති දරුවා කිසිදු විඩාවකින් තොරව ඉතාමත්ම පැහැදිලි, චතුර ආකාරයට සාක්ෂි ලබා දී තිබේ. ඔහුගේ සාක්ෂිය කෙතරම් ප්‍රබල වීද යත් ඔහුගේ සාක්ෂිය අවසානයේදී පැමිණිල්ල අමතා ඇති මහාධිකරණ විනිසුරුවරුන් පවසා ඇත්තේ ‘තවත් මෙතනින් එහාට සාක්ෂි මෙහෙයවීමේ අවශ්‍යතාවයක් තිබේද’ යන්නයි.


උපුටා ගැනීමක්