මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්….

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදුකරන බවට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකළ අතර ඒ අනුව පොලීසිය විසින් සැකකාර සභාපතිවරයා අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

ආපදාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට FR පෙත්සමක්……

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් රජය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ තම නීතිඥ කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන බවත් පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ බවය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත් වී ඇති බවත් මේ හේතුවෙන් සිය වෘත්තියට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

ආපදා තත්වයක් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගේ නොසැලකිලීමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුන් පෙර සූදානමින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.

විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොල, ගලහ, පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු මෙමගින් සඳහන් කර ඇත.

වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ විනාශය උත්සන්න වූ බවත් ඔහු චෝදනා සිය පෙත්සම මගින් චෝදනා කර ඇත.

ඒ අනුව වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ඝාතනයකින් කෙළවර වූ පුද්ගලික ආරවුල….

අයගම, සමරුගම ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ  අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසීය.

මියගොස් ඇත්තේ 57 හැවිරිදි අයගම, සමරුගම ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙකි.

අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමග ඇතිකර ගත් ආරවුලක් දුරදිග යාමෙන් එම නිවෙස් හිමියා විසින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකළ 40 හැවිරිදි සැකකරු සමරුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙරට මුහුදු තීරය උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට…..

ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ එම ධීවරයින් සමග ඔවුන් පැමිණි ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගත් බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩුවේ රාමනාදපුරම් හි වෙසෙන අය බවත් ඔවුන් මෙරට මුහුදු තීරයට උල්ලංඝණය කර ධීවර කටයුතු කරමින් සිටියදී මෙලෙස නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් තිදෙනා සහ යාත්‍රාව කන්කසන්තුරය වරායට රැගෙන ඒමට නියමිත බවත් නාවික හමුදාව පැවසීය.

රටම එකට ජාතික මෙහෙයුමෙන් 840දෙනෙකු අත්අඩංගුවට….

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගත වූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 840දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි හෙරොයින් ග්‍රෑම් 378ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 417ක් සහ හෂීෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 11දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වර්තා වේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් සැකකරුවන් 06දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.

මේ අතර පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

එම මෙහෙයුමේදී පුද්ගලයින් 28,879දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

එමෙන්ම විවෘත වරෙන්තුකරුවන් 126දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත්ව සහ අපරික්ෂාකාරී රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 426දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල්ගෙන් පැමිණිල්ලක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර මහතා සමග ඇති වූ සිද්ධියෙන් පසු වැඩතහනමට ලක්ව සිටින සූරියකන්ද පොලීසියට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදීමට සඳහා කොලොන්න පොලීසිය වෙත අද (28) පැමිණියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රත්නපුර නියෝජ්‍ය පොලිස්පති වෙත පෙරේදා (26) කරන ලද ලිඛිත පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණි බවය.

තමාට පහරදුන් සැකකරුවන් කිසිවෙකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔවුන් නිදැල්ලේ සිටීම තමාගේ සහ සිය පවුලේ අයගේ ජීවිතවලට තර්ජනයක් බවත් ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් තමා පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලූ බවද පොලිස් කොස්තාපල්වරයා මාධ්‍ය වෙත පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන තෙක් ඔහුට සාධාරණයක් ඉටු වී නොමැති බවය.

කටුනායක ගුවන්තොටේ ව්‍යාජ බෝම්බ බියක් ඇතිකිරීම ගැන විමර්ශනයක්…..

දෝහා සිට අද (28) පෙරවරුවේ කටුනායක බලා පැමිණි ගුවන්යානයක් තුළ සැක සහිත පුද්ගලයින් කිහිපදෙනෙකු සිටින බවට ලද තොරතුරක් හේතුවෙන් එම යානය විශේෂ සෝදිසියකට ලක්කර තිබේ.

මගීන් 245 දෙනෙකු රැගෙන දෝහා සිට පෙ.ව. 8.27ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි යානයක් සම්බන්ධයෙන් මෙම තොරතුර ලැබී තිබූ බව සඳහන් වේ.

එම යානය තුළ කිසියම් පිපිරීමක් සිදු කරගැනීමට සූදාමින් පුද්ගලයින් සිව්දෙනෙකු සිටින බවට කටුනායක ගුවන්තොටුපොළේ නිල විද්‍යුත් තැපැල් ලිපිනය පණිවුඩයක් ලැබී තිබූ බව සඳහන්.

ඒ අනුව ක්‍රියාත්මක වු ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ඒ පිළිබඳ අදාළ යානයේ නියමුවාගෙන් විමසීමක් සිදුකර ඇති අතර, එහිදී එවැනි අනාරක්ෂිත තත්ත්වයක් යානය තුළ නොමැති බවට නියමුවා සඳහන් කර ඇත.

කෙසේවෙතත් ගුවන් යානය ගොඩබැස්වීමෙන් පසු එය ගුවන් ආරක්ෂිත අංගයනය වෙත රැගෙන ගොස්, ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය ඉවත් කර බෝම්බ නිශ්ක්‍රිය අංශය ඇතුළු පාර්ශව විසින් දැඩි පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී ගුවන් යානය තුළ තිබී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය සඳහන් කළේය.

පසුව මෙම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ සාමාන්‍ය ගුවන් අංගයනය වෙත රැගෙන විත් ඇති අතර, යළි එය ප.ව. 1.07ට දෝහා කටාර් බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව මෙම සිදුවීම ද පසුගිය 26වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් පවතින බවට ලද තොරතුර මෙන් ව්‍යාජ තොරතුරක් බව පොලීසිය පැවසීය.

අදාළ විද්‍යුත් පණිවුඩ දෙකම විදෙස් රටක සිට මෙරටට එවා ඇති බවට පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

විදෙස් දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට….

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි සහ 23 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික ව්‍යාපාරික තරුණයන් දෙදෙනෙකි.

ඔවුන් අද (28) පස්වරු 06.00ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ  තිබී විදේශීය නිෂ්පාදිත ‘මැන්චෙස්ටර්’ සහ ‘ප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 84,000ක් අඩංගු දුම්වැටි කාටූන් 420ක් සහ ‘ඇපල්’ වර්ගයේ නවීනතම ජංගම දුරකථන 25ක් ද සොයා ගෙන ඇත.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඩග්ලස් දේවානන්දාගෙන් රඳවා ප්‍රශ්න කරයි……

පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.

එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවය.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇති අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අම්බලන්ගොඩ කෝසල ඝාතනයට හිටපු පොලිස් ලොක්කෙකුගේ නමකුත් ඈඳෙයි….

යතුරුපැදිකරු හිටපු පොලිස් ප්‍රධානියෙකුට අයත් බවට පැවසෙන නිවසක රැඳීසිටිමින් ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

එය මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පිහිටි නිවසක් බවද සඳහන් වේ.

පොලිස් කණ්ඩායම් එම නිවසට යන විටත් සැකකරුවන් පලාගොස් තිබූ බව ද වාර්තා වේ.

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක කළමනාකරුවෙකු පසුගිය දෙසැම්බර් 22වනදා වෙඩි තබා ඝාතනය කෙරුණේ එම පරිශ්‍රය තුළදීය.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකළ අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය කිරිබත්ගොඩදී සහ මාකොළදී පසුගියදා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

එම සැකකරුවන් පවසා ඇත්තේ, වෙඩික්කරුවන්ට පලායාමට ප්‍රවාහන පහසුකම් ලබාදුන්නේ සහ ඔවුන් සම්බන්ධීකරණය කළේ තමන් බවය.

ඒ විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණිය සුද්දාගේ උපදෙස් මත බවටත් හෙළි වී ඇත.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනයේදී තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනුලැබූ අතර ඝාතනයට ගිනිඅවි ලබාදුන් කාන්තාව ද ඒ අතර වන බව සඳහන් වේ.

හික්කඩුව ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සඳහා භාවිත කළ බව කියන පිස්තෝලය හා රිවෝල්වරය ද සමගිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී ඇත්තේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු නුවර, අංකුඹුර පිහිටි අදාළ සුඛෝපභෝගී නිවසකට පසුගිය 07 වැනිදා පැමිණ 21 වැනිදා දක්වා එහි නවාතැන්ගෙන සිට ඇති බවය.

දෙසැම්බර් 22 වැනිදා අම්බලන්ගොඩට පැමිණ අපරාධය සිදුකොට නැවතත් ඔවුන් දෙදෙනා පලාගොස් ඇත්තේද නුවර අංකුඹුර පිහිටි එම සුඛෝපභෝගී නිවසටම බව ද වාර්තා වේ.

එම නිවස සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් කරන විටත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු නිවසින් පලාගොස් තිබුණි.

මෙම ඝාතනය කොස්ගොඩ සුජී, ගොත අංසක, කරන්දෙණිය සුද්දා, ඔහුගේ මල්ලි වන කරන්දෙණිය රාජු, දොලා, දසුන් මානවඩු යන අපරාධකරුවන් සියලුදෙනා එක්ව සිදුකර ඇති බව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

කෙසේවෙතත් ඝාතනය වූ කෝසල නමැත්තා කොස්ගොඩ සුජීගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඌරගහ මයිකල් නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වීම ඝාතනයට හේතුව බව පොලිසිය පවසයි.