නතාෂාව අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ස්ථානාධිපති දුක්වෙයි….

බුදුදහමට අපහාස කළේ යැයි කියමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කනගාටුව පළකර සිටියේය.

මෙම කනගාටුව පළකිරීමට අදාළ ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඊට අමතරව මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි අනීතිය ක්‍රියා වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවත් රජයේ නීතිඥවරයා පැවසුවේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද අධිකරණය නියෝග කළේය.

වසරකට පසු හෙළි වූ යුද හමුදා සෙබළාගේ මරණයට හේතුව…..

අනවසර විදුලි රැහැනකට හසුව මියගිය යුද හමුදා සෙබළාගේ මරණය වසන් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඇඹිලිපිටිය, කුට්ටිගල කඳවුරේ යුද හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් වරුණ ගමගේ මහතා පවසයි.

මෙම සිදුවීමට අදාළව යුද හමුදා සැරයන්වරයා ඇතුළු සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් සඳුදා අත්අඩංගුවට ගැනුණේ සිද්ධියෙන් වසරකට පසුවය.

මාතලේ මල්ගම්මන පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙකු වූ හෙට්ටිආරච්චිගේ චාලක මධුශාන් ජයසිංහ, ඇඹිලිපිටිය, කුට්ටිගල ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා පුහුණු කඳවුරට අනියුක්තව සේවය කළ යුද හමුදා සෙබළෙකි.

සක්‍රිය සේවයේ නිරතව සිටියදී ඔහු 2025 වසරේ ජනවාරි 26 වනදා සිට අතුරුදන්ව තිබුණි.

මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් කරුණු විමසූ සෙබළාගේ නිවැසියන්ට කඳවුර මගින් ලිඛිතව දැනුම්දී ඇත්තේ ඔහු යුද හමුදා සේවයෙන් පළාගොස් ඇති බවය.

කෙසේවෙතත්, සෙබලා අතුරුදන් වී දින 07කට පසු ඔහුගේ සිරුර කඳවුරු භූමියේ කැලෑබද ප්‍රදේශයක තිබියදී හමුවී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ ඥාතින්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කෙරුණි.

ඒ අනුව, කඳවුරු භූමියේ දීර්ඝ කාලයක සිට ගවයින් බැඳීමේ නිරත වූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත, කඳවුරේ සැරයන්වරයෙකු ඇතුළු තවත් සිව්දෙනෙකුගෙන්ද ප්‍රශ්න කර සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට විමර්ශකයින් සමත්ව තිබේ.

ඔවුන් පවසා ඇත්තේ වගාවන් ආරක්ෂා කරගැනීම සහ මස් පිණිස ඌරන් දඩයම් කිරීමේ අරමුණින් 2025 වසරේ ජනවාරි 26 කඳවුර තුළ ස්ථානයක විදුලි කම්බියක් ඇටවීමට පියවර ගත් බවය.

පැය කිහිපයකට පසුව එම ස්ථානයට ගොස් බැලීමේදී විදුලි කම්බියෙහි පැටළී කඳවුරේ සෙබළෙකු බිම වැටී සිටිනු දුටු බවත්, සෝදිසි කිරීමේදී ඔහු මියගොස් ඇති බව තහවුරුවූ බවත් ඔවුන් පවසා ඇත.

පසුව මෘතදේහය කැලෑබද ප්‍රදේශයකට ගෙනගොස් දමා මියගිය සෙබළාගේ ජංගම දුරකථනය හා විදුලිය ඇද තිබූ කම්බි රෝල අසළ පිහිටි වැවකට දැමූ බවට ඔවුන් පාපෝච්ඡාරණය කර තිබුණි.

ඒ අනුව අපරික්ෂාකාරී ක්‍රියාවක් සිදුකිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගැනුණේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි යුද හමුදා සැරයන්වරයෙකු,  යුද හමුදා සිවිල් සේවා නිලධාරියෙක්, යුද හමුදා කඳවුරේ කරණවෑමියා සහ පෑස්සුම් ශිල්පියාය.

මියගිය සෙබලාගේ ජංගම දුරකථනය හා විදුලිය ඇද තිබූ කම්බිරෝල අසල පිහිටි වැවකටදැමූ බවට සිදුකළ ප්‍රකාශය අනුව අත්අඩංගුවේ පසුවූ කරණවෑමියා සහ පෑස්සුම් ශිල්පියා පසුගිය අඟහරුවාදා එම ස්ථානයට රැගෙන ගොස් තිබේ.

කෙසේවෙතත්, අදාළ වැව මේ වනවිට සිඳීගොස් ඇති අතර එහි කැණීම් සිදුකළද කිසිවක් හමුවී නැත.

ඒ අනුව සැකකරුවන් සිව්දෙනා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක්……

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් 08ක් ගැන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකළේය.

පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ එම නීතිඥවරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාල බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවය.

වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී මෙම බැංකු ගිණුම් ව්‍යජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර මෙම බැංකු ගිණුම් විවෘත කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය කියා සිටියේය.

මෙම බැංකු ගිණුම් හරහා විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය අධිකරණයට දැනුම්දුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ශ්‍රීපාද රක්ෂිතයේ ගින්නක් – පරිසර පද්ධතියට සහ ජීවීන්ට දැඩි තර්ජන….

ශ්‍රීපාද කඳු මුදුන ඉදිරිපිට පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක අද (19) දින හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණවී නොමැති වුවද, ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම ප්‍රදේශය දුර්ලභ සත්ත්ව විශේෂ සහ ශාක පද්ධතීන්ගෙන් පිරිපුන් මෙම සංවේදී කලාපය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ ප්‍රදේශයකි.

පවතින තත්ත්වය හමුවේ මෙම වටිනා පරිසර පද්ධතියට සහ ජීවීන්ට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ගින්න හටගෙන ඇත්තේ ඉතා දුෂ්කර කඳු මුදුනක බැවින්, එම ස්ථානයට ළඟාවී ගින්න නිවීමට මෙතෙක් කිසිදු කණ්ඩායමකට හැකියාවක් ලැබී නොමැති බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 22ක් නාවික හමුදා භාරයට…..

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඊයේ (18) රාත්‍රී කාලයේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සහ ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේදී මෙම මෙහෙයුම් සිදුකකර තිබුණි.

එහිදී මෙම යාත්‍රා 4 තුළ සිටි පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත.

මන්නාරම උතුරු මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ධීවරයින් දස දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

එමෙන්ම, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ධීවරයින් දොළොස් දෙනා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප….

2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් මිලියන 20 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පසුගියදා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීමට විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දැඩි විරෝධය පළ කර තිබුණි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් අද (18) මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

මෛත්‍රී වික්‍රමසිංහට ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින්නැයි දැනුම්දීමක්…..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.

මේ අතර, 2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහරිනු ලැබීය.

පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්…..

සාධාරණ පරීක්ෂණයකින් තොරව තමා වැඩ තහනමකට ලක්කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

එම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14 දෙනකු නම් කර ඇත.

ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත ඉකුත් ජනවාරි 23වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ වනවිට වැඩතහනමකට ලක්ව සිටියි.

ඒ මහතා 2023 සැප්තැම්බර් 15දා සිට මෙම ධුරයේ රාජකාරි කරනු ලැබීය.

ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට…..

මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ, එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහල කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එම අවස්ථාවේදී මත්තල අධිවේගී පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් දෙදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙතත් මාරු කර යවා ඇත.

විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ අශෝභන ලෙස හැසිරීමට එරෙහිව නීතිමය පියවර නොගැනීම හේතුවෙන් ඔවුන් එලෙස මාරුකර ඇති බව සඳහන්ය.

ඊයේ (17) කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ පුදගලික බස් රථයක ආසන පටි නොමැතිවීමෙන් අධිවේගී මාර්ගයට ඇතුල්කිරීමට පොලීසිය අවසර ලබානොදීම නිසා උණුසුම් තත්වයක් ඇතිව ඇත.

එහිදී එම බස් රථයේ ගමන් කළ පිරිස සහ පොලීසිය අතර බහින් බස්වීමක් ඇති වී තිබේ.

ඒ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම කියමින් බස් රථයේ පැමිණි පිරිස පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කර ඇති අතර, එම අවස්ථාව ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක්…..

තලංගම, අකුරේගොඩදී නීතීඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කළේය.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර, අද දිනයේදීත් සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී නොසිටීම විශේෂත්වයක්.

අනතුරුව තමන්ට අධිකරණය වෙත කිසිවක් පැවසීමට අවශ්‍ය දැයි මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් විමසා ඇත.

එම අවස්ථාවේදී තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරුවන් මහෙස්ත්‍රාත්වරාට දැනුම් දුන් බැවින්, එම ප්‍රකාශය මහෙස්ත්‍රාත් නිල මැදිරිය තුළදී ලබා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

පසුව සැකකරුවන් දෙදෙනා මාර්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියම කළේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනවලදී වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ චෝදනාවට අදාළව මෙම සොහොයුරන් දෙදෙනා  කොට්ටාවේදී අත්අඩංගුවට පත්විය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී මෙම ‘පොල්ගස්ඕවිට ඩිලා’ අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව ‘ඩිලා’ නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබේ.