කොහුවලදී විදෙස් කතක් ඝාතනය කිරීමේ සිදුවීමට චීන ජාතිකයෙකු අත්අඩංගුවට….

කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයකදී මෙම සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී කැමරා 03 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 280ක් ද සොයා ගෙන ඇත.

අදාළ චීන ජාතිකයා වයස අවුරුදු 26 ක් වන පුද්ගලයෙකු බවද සඳහන්.

සැකකරු අද (06) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඝාතනයට ලක්වූ, ඝාතන සිද්ධියක සාක්ෂිකරුගේ දේහය ගොඩගනී…..

2021 වසරේ සිදුවූ ඝාතන සිද්ධියක ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරු වන, ඝාතනයට ලක්වූ සඳුන් උදාර අල්විස් හෙවත් ”හාවා” නැමැත්තාගේ දේහය අද (06) පෙරවරුවේ ගොඩගනු ලැබීය.

ඒ, හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය ඉදිරියේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ”කුඩු සළිඳු”, ඔහුගේ සමීපතමයෙකු වූ  ”කුඩු නිලංග” සහ ඔහුගේ සහායකයින් සිව්දෙනෙකු සමග 2021 වසරේදී පානදුර පිංවල සුසාන භූමියේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස හාවා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සඳුන් උදාර අල්විස් නමැත්තා අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

පොලිසිය පැවසුවේ, කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු වූ ඔහු 2024 වසරේ අගෝස්තු මස 3 වැනිදා ගැබිනි කාන්තාවක සමග කුලී ගමනක් ගොස් ඇති අතර පසුව අතුරුදන්ව ඇති බවය.

ඒ අනුව සඳුන් උදාර අල්විස් නමැත්තාගේ බිරිඳ වන චතුරි ලක්ෂානී නැමැත්තිය හිරණ පොලිසිය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

සිද්ධියට අදාළව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ” හාවා” නැමැත්තා ඝාතනයට ලක්ව ඇති බවය.

පිංවල සුසාන භූමියේදී පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධ නඩුවේ ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිය විනාශ කිරීමට ”කුඩු නිලංග” ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මෙම ඝාතනය සිදුකර ඇති බවද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මෙම ඝාතනය සිදුකළ බවට පැවසෙන පුද්ගලයා සහ ඝාතනයට සහායදුන් බව පැවසෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මළසිරුර හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියේ වළ දමා ඇතැයි සිදුකරගත් අනාවරණය මත දේහය ගොඩගැනීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ, මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සේවකයන් විසිනි.

ඒ අනුව මළසිරුර හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය ඉදිරියේ ගොඩගනු ලැබීය.

ඩීසල් බැරල් 22ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට….

කලමුණේ, මාදවන් පාරේ ව්‍යාපාරිකයෙකු සතුව සඟවා තිබූ ඩීසල් ලිටර් 4,620ක් සහිත බැරල් 22ක් කල්මුණේ මූලස්ථාන පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන් වෙයි.

මෙම ඩීසල් තොගයේ වටිනාකම රුපියල් 1,764,820ක් වන බව කල්මුණේ පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු කල්මුණේ අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙයි.

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක….

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ යන මහත්වරු අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පවත්වා තිබේ.

එහිදී ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්ගේ ශ්‍රී ලංකා දෙදින නිල සංචාරයේ පූර්ව සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එම නිල සංචාරයේදී ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම මේ වනවිට අවසන් කර ඇති ඉන්දීය ආධාර ව්‍යාපෘති සහ ඉදිරියේදී ඇරඹීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගිතා උපදේශක Maitrey Kulkarni, දේශපාලන උපදේශක සහ චාන්සරි අංශ ප්‍රධානි ආචාර්ය  Rambabu C. සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

උත්සව සමයේ දී සිදුවන බරපතළ වංචා ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්…..

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා, දත්ත සොරකම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරතව සිටින අපරාධකරුවන් විසින් විවිධ උපක්‍රම භාවිතා කරමින් ජනතාවගේ මුදල් හා සංවේදී තොරතුරු වංචනිකව ලබාගැනීම වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බව පොලීසිය පවසයි.

ඇතැම් පුද්ගලයන් විසින් ආර්ථික අපහසුතා හේතුවෙන් හා ක්ෂණික මුල්‍ය ලාභ අපේක්ෂාවෙන් මෙවැනි වංචනික ක්‍රමෝපායන් වෙත නතුවීමේ හැකියාවන් පවතින බවට පසුගිය වර්ෂයන් තුළ පොලිස් ස්ථාන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වන ලද පැමිණිලි අනුව නිරීක්ෂණය වී ඇති බව පොලීසිය නිවේදනය කරයි.

වංචා සහගත දැන්වීම්, වංචනික සබැඳි, අවුරුදු Offer හා Giveaway, ව්‍යාජ වෙළෙඳ සේවා වෙබ් අඩවි, ව්‍යාජ බැංකු දීමනා, ව්‍යාජ බැංකු වෙබ් අඩවි / යෙදුම් යාවත් කාලීනයන්, ව්‍යාජ QR Code Scan වංචා, තතුබෑම් ඊමේල් පණිවිඩ ( Email Phishing) ව්‍යාජ කෙටි පණිවිඩ ( SMS Phishing), නිත්‍යානුකූල බවට හැඟවෙන ව්‍යාජ වෙබ් අඩවි සහ Caller ID Spoofing වැනි ක්‍රම වේදයන් භාවිතා කරමින් මෙවැනි අන්තර්ජාලය ඔස්සේ මෙවැනි වංචාවන් සිදුකරන බවට පොලීසිය හඳුනාගෙන තිබේ.

එමෙන්ම මෙවැනි වංචා ප්‍රවර්ධනය කිරීමේදී ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කරලීමේ උපක්‍රම ලෙස  ජනාධිපතිගේ අගමැතිනිය ඇතුළු ඉහළ රජ්‍ය නිලධාරින් සහ කීර්තිමත් පුද්ගලයන්ගේ රුව යොදා ගැනීමේ හැකියාවන් ද පවතින අතර මෙම ආකාරයට වංචනික ක්‍රම මඟින් ලබා ගන්නා පුද්ගල සංවේදී දත්ත භාවිතා කරමින් ඉලක්ක ගත තතුබෑම් ප්‍රහාර (Phishing Attacks) මුල්‍ය වංචා සහ අනන්‍යතා සොරකම් ආදී අනිසි ක්‍රියාකාරකම්වලට ජනතාවට මුහුණපෑමට සිදුවන අවදානම් තත්ත්වයන්ද පවතින බව පොලීසිය අවධාරණය කර තිබේ.

එබැවින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවීම සඳහා මහජනතාව අන්තර්ජලාය හරහා ගනුදෙනු කිරීමේදී නිසි දැනුවත් භාවයකින් හා අවබෝධකින් කටයුතු කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රුපියල් 45,000ක අල්ලස් මුදලක් ලබාගත් තැරැව්කරු අත්අඩංගුවට….

රුපියල් හතළිස් පන්දහසක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් තැරැව්කරුවෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරු මෙම සැකකරුව අද (06) පෙරවරුවේ අයිරදි හංදිය පාලම අසල දී නිලධාරීන් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ඔප්පුවක් හෝ බලපත්‍රයක් නොමැතිව, ඉඩමකට ඔප්පුවක් සාදා දෙන බව පවසා, වරින්වර රුපියල් 275,000/- ක මුදලක් සැකකරු විසින් අදාළ පැමිණිලිකාරියගෙන් ලබාගෙන තිබේ.

පසුව ඉඩම පිහිටි නෝවුඩ් වසම භාර ග්‍රාම නිලධාරීගේ වාර්තාව ලබා ගැනීමට ග්‍රාම නිලධාරියාට ලබා දීමට බවට පවසා නැවතත් රුපියල් 45,000ක මුදලක් සැකකරු විසින් අදාළ කාන්තාවගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව සැකකරු විසින් එම අල්ලස් මුදල් ලබා ගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගවරවිල, අප්කට් සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

ලක්ෂ 36කට අධික විදෙස් දුම්වැටි සමග චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට….

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි සහ 24 හැවිරිදි වියේ පසුවන චීන ජාතිකයින් දෙදෙනෙකි.

මොවුන් අද (05) අලුයම 01.10ට චීනයේ කුංමිං නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් රැගෙන ආ ගමන් මළු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 24,200 අඩංගු දුම්වැටි කාටූන් 121ක් තිබියදී නිලධාරීන් භාරයට ගෙන තිබේ.

නිලධාරීන් භාරයට ගත් එම දුම්වැටි ප්‍රමාණයේ වටිනාකම රුපියල් තිස් හය ලක්ෂ තිස් දහසක් පමණ වන බවද සඳහන් වේ.

අදාළ චීන ජාතිකයින් දෙදෙනා මේ වන විට ගුවන් තොටුපොළ රේගු නිලධාරී අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරති.

නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කළ 31ක් අත්අඩංගුවට….

ගතවූ මාසයක කාලය තුළ සිදු කළ වැටලීම්වලදී නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ මාර්තු මස 3 වනදා සිට ඊයේ (04) දිනය දක්වා වූ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

එම වැටලීම්වලදී ඉන්ධන ලීටර් 52,000 ඉක්මවූ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඩීසල් ලීටර 47,006ක්, පෙට්‍රල් ලීටර 2668ක් සහ භූමිතෙල් ලීටර 2706ක් ඒ අතර වන බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගෝලීය වශයෙන් බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක අනීතික ලෙස ඉන්ධන එක්රැස් කරමින් ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන මෙවැනි  පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් සිදු කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

මේ අතර බලපත්‍ර නොමැතිව ඩීසල් තොගයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් 180ක්  සොයා ගැනීමට හැකිව ලැබුණු බවය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ අතර බලපත්‍ර නොමැතිව භූමිතෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සෙවනගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ භූමිතෙල් ලීටර් 1000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හා 49 හැවිරිදි සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

නීතිවිරෝධීව එකළස් කරන ලද සුඛෝපභෝගී වාහන 20ක් පොලිස් භාරයට…

නීත්‍යනුකූල නොවන ලෙස එකළස් කරන ලද නවීනතම සුඛෝපභෝගී රථ ඇතුළු රථ වාහන 20ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස නීත්‍යනුකූල නොවන අයුරින් එකළස් කරන ලද රථ වාහන සංවිධානාත්මක අපරාධ සදහා යොදා ගෙන ඇති බවටත් අදාළ රථ වාහන නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කිරීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ලැබී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලට අනුව කඩවත, මීගහවත්ත සහ මොනරාගල ප්‍රදේශවල තිබී මෙම රථවාහන සොයා ගෙන ඇති අතර මෙවැනි නීත්‍යනුකූල නොවන රථ වාහන 40කට ආසන්න සංඛාවක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් භාරයට ගත් මෙම වාහන අතර සුඛෝපභෝගී මෝටර් රථ, ජීප් රථ, වෑන්, ලොරි සහ යතුරුපැදි ද වන බව වාර්තා වේ.

එමෙන්ම තමන්ගේ රථ වාහනය සොරකම් කර හෝ අස්ථානගත වී ඇත්නම් 0112947780 යන අංකයට දැනුම්වත් කරන ලෙස ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අදාළ බල ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දියේ ගිලී 16 හැවිරිදි සිසුවෙකු මරුට….

කන්තලේ පොලිස් වසමේ පේරාතුවේලි ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාතුවේලි ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි රිස්ලාන් නමැති දරුවෙකි.

ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බවද වාර්තා වේ.

ඔහු තම මිතුරන් තිදෙනෙකු සමඟ අදාළ ස්ථානයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට අනාවරණය වී ඇත.

අනතුරෙන් අනතුරුව ප්‍රදේශවාසීන් සහ තරුණයින් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඔහු දිය නෑමට ගිය ස්ථානයෙන් මීටර් 300කට ආසන්න දුරින් ඔහුගේ මළ සිරුර ජලයේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.