අපරාධ කල්ලි සාමාජික ටිංකර් දිවයිනට රැගෙන එයි….

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමකින් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් කළ අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’  දිවයිනට රැගෙනවිත් තිබේ.

අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී ඇත.

සැකකරු වයස අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි

අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් “කොච්චිකඩේ ශිරාන්” නැමැත්තාගේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන ඇත බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරු  2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කිර ඇත.

මීට අමතරව 2025.08.19 වන දින පෑලියගොඩ පොලිස් වසමේ ශ්‍රී ඥානරතන මාවතේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන්ට අපරාධය සිදු කිරීමට අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.

දැනට මෙම සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, සැකකරු අගෝස්තු 19 වන දින විදෙස් ගතවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත.

සැකකරු අලුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙරට අපරාධවලට සම්බන්ධ තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට…..

මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුව ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන අය බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

මෙම සැකකරුවන් තිදෙනා මෙරට අපරාධවලට සම්බන්ධ වී පසුගිය වසරේ දී ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති බව සඳහන් වේ.

අයිස්වලට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු….

අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගියදා වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වැලිගම පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පසුගියදා මත්ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් වටලා විදෙස් ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එම ස්ථානයේදී තිබී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ උපකරණ සොයා ගනු ලැබු අතර එහි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මූලික පරීකෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ එම ස්ථානයේ තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍යවලට වඩා භායානක නව මත්ද්‍රව්‍යක් බවය.

ඊට අදාළ වාර්තාව ඉදිරි දින කිහිපය තුල නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර තංගල්ල ප්‍රදේශයේ ලොරි රථ 03ක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව මෝටර් රථයක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුකළ සැකකරුවන් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස මාතර ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

තංගල්ල ප්‍රදේශයේ තිබී පසුගියදා කිලෝ 700කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් අතර එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

‘පද්මේ’ සඟවා තිබූ පිස්තෝලයක් පෑලියගොඩින් හමුවෙයි…

පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් සොයාගෙන තිබේ.

මෙහිදී ටී-56 මැගසින් 4ක්, මයික්‍රෝ පිස්තෝලයක් ද සොයා ගැනීමට පොලීසියට හැකිව ඇත.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතළු පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්විය.

ඔවුන් මේ වනවිට මෙරටට රැගෙන විත් ප්‍රශ්න කරමින් සිටියි.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්…..

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

එම සැකකාරිය මිද්දෙණිය අවට සිදුවූ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට කුමන ආකාරයෙන් සම්බන්ධ වී තිබේදැයි දැක්වෙන සාක්ෂි සම්පීඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය රටට ඇතුළුවූ හැටි හෙළිවෙයි…..

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගය යාත්‍රා දෙකකින් මුහුදු මාර්ගයෙන් පෙරේදා මෙරටට ගෙනැවිත් ඇති බව වාර්තා වෙයි.

එම මත්ද්‍රව්‍ය තොගය කුඩාවැල්ල මාවැල්ල වෙරළින් ගොඩබා ඇති බවද සඳහන්ය.

එතැන් සිට වෙරළ අසල තිබූ නිවසකට මත්ද්‍රව්‍ය තොගය ගෙන ගොස් පසුව එම තොගය ලොරි රථවලට පටවා සීනිමෝදර සහ ගොඩැල්ලවෙල ප්‍රදේශවලට අවස්ථා දෙකකදී ප්‍රවාහනය කර ඇති බව පොලීසිය පවසයි.

මාවැල්ල වෙරළේ සිට සීනිමෝදර නිවසට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පිරිස පසුව එම නිවසේදී ද මත්පැන් පානය කර ඇති අතර හමුවූ මළසිරුරු අසල අයිස් මත්ද්‍රව්‍ය ද තිබූ බව පොලීසිය ඊයේ සඳහන් කළේය.

එම නිවසේ සිට මත්පැන් පානය කළ තිදෙනා අතුරින් රෝගීවූ 49 හැවිරිදි පුද්ගලයා ඔහුගේ පුත්‍රයින් දෙදෙනා විසින් රෝහල්ගත කෙරුණු අතර ඉන්පසු සිය පියාගේ කුඩා ලොරි රථය රැගෙන යාම සඳහා ඔවුන් සීනිමෝදර නිවසට පැමිණ තිබුණි.

එහිදී එම නිවසේ සිටි පිරිසක් තමන්ට බලහත්කාරයෙන් මත්පැන් පානය කරවීමට උත්සාහ කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත.

මේ බව ඔවුන් හෙළි කර ඇත්තේ ඔවුන් දෙදෙනා අද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙක් අබිරහස් ලෙස මියයාමත් සමඟ පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ලොරි රථ තුනක සඟවා තිබූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705ක ප්‍රමාණයක් ඊයේ සොයාගනු ලැබීය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ එම නිවස අසල තිබූ කුඩා ලොරි රථයෙන් අයිස් කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 970ක්, එම ඉඩමේම තිබූ අනෙක් ලොරි රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 168යි ග්‍රෑම් 694ක් සහ අයිස් කිලෝග්‍රෑම් 319යි ග්‍රෑම් 220ක් සොයාගැනීමට පොලිසිය සමත්වුණි.

එමෙන්ම තංගල්ල ගොඩැල්ලවෙල ප්‍රදේශයෙන් හමුවූ කොමඩු අසුරා තිබූ ලොරි රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 115යි ග්‍රෑම් 720ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 94යි ග්‍රෑම් 570ක් සොයාගෙන තිබේ.

ඒ අනුව ඊයේ සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 705ට අධිකය.

එහි වටිනාකම රුපියල් මිලියන 9,888ක් බව පොලිසිය පවසයි.

ගොඩබිම සිදුකළ මෙහෙයුමකදී එක් දිනක් තුළ මෙරටින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

විදේශයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන “උනාකූරුවේ ශාන්ත” නැමැත්තා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇත.

මේ අතර මත්ද්‍රව්‍ය සඟවා තිබු ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා ගල්කිස්ස, ඇල්පිටිය සහ මීටියාගොඩ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන අතර ඔහු රත්මලාන ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140ක් ද පොලිසිය සොයාගෙන තිබුණි.

සැකකරු අවස්ථා 04 කදී මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරු වී රක්ෂිත බන්ධනාගාර ගතකර ඇප මත මුදාහැරි අයෙකි.

ලොරි රථවල හිමිකරුවන් තිදෙනා ගල්කිස්ස සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණවලට අද ඉදිරිපත් කර මේ මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය උනාකූරුවේ ශාන්තගේ බවට සැකයක් – වටිනාකම රු මි 10,000කට ආසන්නයි….

තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රු මිලියන 9,888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබේ.

එමෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ  අයිස් කිලෝග්‍රෑම් 420.976ක් ඇතුළුව සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705.91ක් බව ද පොලීසිය විසින් තහවුරු කර ඇත.

මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තා වේ.

මේ අතර, තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මෙම මත්ද්‍රව්‍ය, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන එක් පුද්ගලයෙකුට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වන විට අනාවරණය වී තිබේ.

විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ‘උනාකූරුවේ ශාන්ත’ නැමැති අපරාධකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අභිරහස් ලෙස මියයෑමත් සමග පොලීසියට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමක දී ලොරි රථ 3ක සඟවා තිබූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගය ඊයේ (22) සොයාගනු ලැබීය.

එම මත්ද්‍රව්‍ය තොගය මෙරට තුළ එක් දිනක දී සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ලෙස ද සැලකේ.

එම මෙහෙයුමේ දී මත්ද්‍රව්‍යවලට අමතරව ටී – 56 වර්ගගේ ගිනිඅවියක් සහ පිස්තෝල වර්ගයේ ගිනිඅවි 5ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක මළ සිරුරු දෙකක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී එම නිවස අසල නවතා තිබූ කුඩා ලොරි රථක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් සොයාගනු ලැබීය.

අදාළ නිවසේ සිටි තවත් පුද්ගලයෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය.

පොලීසියට ලද බුද්ධි තොරතුරකට අනුව තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ නවතා තිබූ තවත් ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී එම ලොරි රථය තුළ ද ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ගිනිඅවි කිහිපයක් සොයාගනු ලැබීය.

එම මෙහෙයුමෙන් අනතුරුව නැවත වරක් පොලිසීය පුද්ගල මළසිරුරු දෙකක් හමුවූ නිවසේ නවතා තිබූ තවත් ලොරි රථයක් පරීක්ෂා කර ඇති අතර එහි තිබී ද කිලෝග්‍රෑම් 400කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව වාර්තා වුණි.

මෙම මත්ද්‍රව්‍ය අදාළ නිවසේ සිට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

මියගොස් ඇති පුද්ගලයින් තිදෙනා ද එම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ පුද්ගලයින් බවට පොලීසිය සැක පළ කරයි.

ඔවුන් මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් තවත් පිරිසක් සමග පෙරේදා රාත්‍රී මත්පැන් පානය කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනවරණය වී තිබේ.

මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථයක රියදුරෙකු සහ එහි හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සම්පත් මනම්පේරි වළ දැමූ බවට සැකකරන ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් හමුවෙයි….

මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක්  සොයාගෙන තිබේ.

ඒ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේය.

එම ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව එම නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02ක්, 9mm පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ T-56 උණ්ඩ 115ක් මෙලෙස සොයාගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 02කට පෙර බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබා දී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය කරගත් බවය.

පසුව සම්පත් මනම්පේරි නැමැත්තා සිය හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද මේ වන විට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු අනාවරණය වී තිබේ.

දුරදිග ගිය ආරවුල තරුණයෙකුට දිවි අහිමිකරයි….

හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (20) රාත්‍රී කාලයේදී මෙම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, දෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

මෘත ශරීරය හෙම්මාතගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වයස අවුරුදු 23ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

සැමියා විසින් බිරිඳට හා පුතාට පහරදෙයි – පුතා මරුට….

දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (19) රාත්‍රියේ ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර තිබේ.

බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවට දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පවුල් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.