නාකොටික් යාත්‍රා නිරීක්ෂණ තොරතුරු ජාවාරම්කරුවන්ට ගිහින්…..

මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විවිධ අයි.පී. අංක 57කින් එම පද්ධතියට ඇතුළුවී ඇති අතර එම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත.

මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලබන VMS පරීක්ෂාව මගින් පසුගිය කාලයේදී අවස්ථා රැසකදී මහ පරිමාණයෙන් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එවැනි පසුබිමක පසුගිය කාලයේදී අදාළ තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට ද පත්වී ඇති බවට තොරතුරු ලැබීමත් සමග පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ, විවිධ අයි.පී අංක 57කින් අදාළ පද්ධතියට පුද්ගලයන් ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති බවය.

ඒ අනුව එම පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම අදාළ VMS පරීක්ෂාවට ඇතුළුවීම සඳහා බාහිර පාර්ශ්වයන්ට නොහැකිවන පරිදි එහි රහස් අංක වෙනස්කර ඒවා නියෝජ්‍ය පොලිස්පතිවරයා හා අධ්‍යක්ෂවරයාට පමණක් ලබාදී ඇති බව ද වාර්තා වේ.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනෙකු ද වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුම්වීම් ලබාදී ඇත.

ඒ ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සබඳතා පවත්වන බවට ලද තොරතුරුවලට අනුවය.

එමෙන්ම ඔවුන් පසුගිය කාලයේ නිසිපරිදි සිය රාජකාරී ඉටුකර නොමැති බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්ත සියලු නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාවක් ආරම්භ කර ඇත.

ඒ පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශය විසිනි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත එම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේවනවිට එම කාර්යංශයේ නිලධාරීන් 400ක අධික සංඛ්‍යාවක් සේවය කරනු ලබයි.

ඉන් 20කට අධික පිරිසකගේ වත්කම්බැරකම් වාර්තා ලැබී ඇති බව පොලිසිය පැවසුවේය.

ඒ අතර සැකසහිත ලෙස වත්කම් බැරකම් ඇති නිලධාරීන් වෙතොත් වහාම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඉවත් කරන බව ද වාර්තා වේ.

එමෙන්ම ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන් වුවහොත් දැඩි නීතිමට ක්‍රියාමාර්ග ගන්නා බව ද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ…..

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙම නිවේදනය හෙට (20) පස්වරු 5.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.

මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඊයේ (18) නිවේදනය කර තිබුණි.

ඒ අනුව කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල සිටින පිරිසට විශේෂයෙන්ම අවදානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශය ද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතින බව සඳහන් වේ.

එබැවින්, ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රාජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට පත්වෙයි…..

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද පෙරේරා නැමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමන්ත පෙරේරා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙක් වන සුදත් චන්දන හෙවත් ‘මුට්ටියා’ නැමැත්තෙක් බව පොලිසිය පැවසුවේය.

බඩෝවිට අසංක නම් අපරාධකරුගෙන් පලිගැනීම සඳහා මෙම ඝාතනය සමන්ත පෙරේරා නැමති අපරාධකරු විසින් මෙහයවා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනතුරුව මෙම ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ බව කියන සුදත් චන්දන හෙවත් මුට්ටියා නම් 52 හැවිරිදි පුද්ගලයාව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඊයේ පස්වරුවේ පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩිතැබීම සඳහා භාවිත කළ බව කියන දේශීය නිෂ්පාදිත බෝර 16 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවිය ද පොලිසිය බෙල්ලන්විලදී සොයා ගෙන තිබේ.

ඝාතනය සමන්ත නැමැත්තා සමග ඇති හිතවත්කම මත සිදුකළ බවත් ඒ සඳහා තමන්ට ඔහු විසින් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාදුන් බවත් සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

එමෙන්ම ඝාතනයට සම්බන්ධ අනෙක් වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුරක්….

බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද (17) දහවල් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොළොන්නරුව – මහියංගණය මාර්ගයේ මුවගම්මන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

දෙහිඅත්තකණ්ඩිය දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ මඟී බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් මෙම අනතුරට මුහුණ පා තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා පිරිමි දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමේදී මව හා එක් දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය මව වයස අවුරුදු 33ක් හා දරුවා වයස අවුරුදු 02ක් වූ මාවනාගම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ත්‍රීරෝද රථයේ රියදුරු සහ වයස අවුරුදු 11ක් වන දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇත.

බස් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….

උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පැවසීය.

“මේ උත්සව සමයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයක් පිළිබඳව මේ වන විට පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වෙලා තියෙනවා. පන්දහසේ නෝට්ටුව වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස මුද්‍රන වුණු අවස්ථා වාර්තා වෙනවා. 2024 වසරේ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 596ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරයට අරගෙන තියෙනවා. 2025 වසරේදී 5000 නෝට්ටු 535ක් සංසරණය වෙලා ශ්‍රී ලංකා පොලීසිය භාරයට අරගෙන තියෙනවා. 2024 වසරේ රුපියල් 2000 ව්‍යාජ නෝට්ටු 06ක්. 2025 වසරේ නෝට්ටු දෙකක්. 2024 වසරේ රුපියල් 1000 නෝට්ටු 561ක්. 2025 වසරේ රුපියල් 1000 නෝට්ටු 401ක්. 2024 වසරේදී රුපියල් 500 නෝට්ටු 193ක්. 2025 වසරේදී රුපියල් 500 නෝට්ටු 109ක් ආදී වශයෙන් සංසරණය වෙලා තියෙනවා. අපි මතක් කරනවා සැකසහිත නෝට්ටුවක් පිළිබඳව ඔබගේ හිතට දැනුනොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලීසිය වාර්තා කළ යුතුයි.”

මේ අතර ඉදිරි උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගරාශ්‍රිත ප්‍රදේශවල සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිළධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ආපදා මෙහෙයුමක් අතරතුර යුද හමුදා භටපිරිසක් සොයා ගත් රන් භාණ්ඩ….

ආපදා මෙහෙයුම් අතරතුර යුද හමුදා භටපිරිස් සුන්බුන් අතරින් සොයාගත් මුදල් සහ රන් භාණ්ඩ හිමිකරුට භාරදී තිබේ.

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ආපදා සහන රාජකාරියේ නිරත යුද හමුදා භටපිරිස් තවදුරටත් සිදුකරන සෝදිසි මෙහෙයුම් අතරතුර රුපියල් 300,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොයාගැනීමට සමත්ව ඇත.

නායයෑම හේතුවෙන්  සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබූ එම භාණ්ඩ සහ මුදල් ඊයේ (14) දින අදාළ හිමිකරු වෙත ආරක්ෂාකාරීව යුද හමුදා භටපිරිස් විසින් භාරදී තිබේ.

පීඩාකාරී ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ 18ක් අත්අඩංගුවට…

මහරගම පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ පීඩාකාරී අන්දමින් අවදානම් සහගත ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ තරුණයන් 18 දෙනෙකු මහරගම පොලීසිය විසින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ තරුණයක් මුදල් ඔට්ටු අල්ලමින් මෙය සිදුකර ඇති බව සඳහන්.

මේ සඳහා යොදාගත් යතුරුපැදි 11ක් හා ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

තහනම් කළ රුපියල් කෝටි ගණනක වත්කම් ගැන හෙළිදරව්වක්…..

මෙම වසරේදී මෙන්ම පසුගිය වසරේදී මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයාගත් දේපල තහනම් කිරීමටත් එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා වූ මූලික පියවර මේ වන විට ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (12) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුගිය සහ මෙම වසර දෙක ඇතුළත රත්‍රං පවුම් 354ක්, වාහන 77ක්, මුදලින් රුපියල් තිස් පන් කෝටියක්, රුපියල් එක්කෝටි එකසිය හයක වටිනාකමකින් යුත් දේපොළ රැසක්ද රජය සතු කර ගැනීමට මූලික ක්‍රියාමාර්ග මේ වන විට ලබා ගෙන ඇති බවය.

එහිදී 2024 වසරේදී රත්‍රං පවුම් 150ක්, වාහන 64ක්, මුදලින් රුපියල් කෝටි 6ක්, සහ රුපියල් කෝටි 61ක දේපොළ රජය සතු කර ගැනීම සඳහා තාවකාලිකව තහනම් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම වසරේදී රත්‍රං පවුම් 204ක්, වාහන 13ක්, රුපියල් හැට හත් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඉඩම් සහ දේපොළ සහ නිවාස 18ක අනීතිකව උපයා ගත් දේපොළ රජය සතු කර ගැනීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

”දිට්වා සුළිකුණාටුව සමයේ මෙරට නායයෑම් 1241ක්”…..

දිට්වා සුළිකුණාටුව රට තුළ පැවති දින කිහිපය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව මධ්‍ය හා විශාල පරිමාණයේ නායයෑම් 1241ක් සිදුව ඇතැයි හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවය.

පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට….

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එන ලද පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වෙන්නප්පුව මා ඔය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.

බීඩි කොළ කිලෝ ග්‍රෑම් 626ක් අඩංගු පාර්සල් 17ක්, පළිබෝධ නාශක බවට සැක කෙරෙන පැකට් 60,000ක් අඩංගු පාර්සල් 20ක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුර සඳහන් කරයි.

සැකකරු අවුරුදු 27ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.