පඩිකාරමඩුව ගිනි තැබීමේ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ යයි: බිරිදත් ජීවිතක්ෂයට පත්වෙයි…..

ගලෙන්බිඳුනුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් නිවසට පෙට්‍රල් දමා ගිනි තැබීමේ අවාසනාවන්ත සිද්ධියෙන් පසු අද අලුයම අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 36 හැවිරිදි මව (ප්‍රභාෂා සදමාලී ජයවර්ධන) මියගොස් තිබේ

ඒ අනුව මෙම සිද්ධියෙන් මියගිය මුළු සංඛ්‍යාව මේ වන විට හතරක් (03) දක්වා ඉහළ ගොස් ඇත.

පසුගියදා ඇති වූ මෙම ආරවුල අතරතුර සැමියා විසින් නිවසට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් ඔහුගේ 14 හැවිරිදි බාල දියණිය එම ස්ථානයේදීම මියගිය අතර, සිරුරට ගිනි ඇවිලීමෙන් බරපතල තුවාල ලැබූ සැමියා ද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබුණි.

ගින්න නිවීමට උත්සාහ කිරීමේදී තුවාල ලැබූ මියගිය කාන්තාවගේ 61 හැවිරිදි මව සහ 20 හැවිරිදි පුත්‍රයා හා වැඩිමහල්  තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. ඔවුන් මුලින්ම යකල්ල හුරුලුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ එම්.ඒ. චමින්ද ගුණතිලක මහතා සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ පරීක්ෂණ සිදු කළහ. හොරොව්පතාන සහකාර පොලිස් අධිකාරී (2) එදිරිසිංහ මහතා ද ස්ථානීය පරීක්ෂණ සඳහා එක්වූ අතර, ගලෙන්බිඳුනුවැව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

ගලෙන්බිඳුණුවැව – චින්තක  බාලසූරිය

ASP සහ කාන්තා පොලිස් සැරයන්වරියක් අල්ලස් දැලේ….

නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදුකරනු ලැබු විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

වෙල්ලාවේලි පොලීසියට අනුයුක්තව රාජකාරි කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකුට නිවසේ සිට රාජකාරී පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අවසරය ලබාගැනීම සඳහා වු නිර්දේශ ලබාදීමට අදාළ කටයුතු සිදුකරදීමට අවස්ථා කිහිපයකදී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය රු 72,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන සහකාර පොලිස් අධිකාරීවරයෙකු අද (05) උදේ 10.50ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඉහත විමර්ශනයට අදාළව අවස්ථා කිහිපයක දී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තා පොලිස් සැරයන්වරියෙකු අද සවස 3ට පමණ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් නුවරඑළිය හා කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ස්වර්ණාභරණ තොගයක් සමග ගුවන් සේවිකාවක් අත්අඩංගුවට….

රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නිතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය අදාළ රන් භාණ්ඩ තොගය සිය ගමන් මල්ලේ සඟවා මෙරටට රැගෙන විත් ඇති අතර ගුවන් යානා කාර්යය මණ්ඩල සදහා පිටතට පැමිණීමේ දොරටුවෙන් ඇය පිටව යාමට තැත් කිරීමේ දී රේගු නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඇයගේ ගමන් මල්ලේ තිබී කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 163ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් සොයා ගෙන ඇති බව ද ගුවන් තොටුපල රේගුව සදහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරි 27 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු රිමාන්ඩ්….

අත්අඩංගුවට ගත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල මහතා ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (04) ඔහු වත්තල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය කළ බව “අද දෙරණ වාර්තාකරු” පැවසීය.

රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ ලංකා සතොස ආයතනයේ ප්‍රවාහන කලමනාකාරවරයා ලෙස කටයුතු කර ඇති අදාළ සැකකරු 2012 වර්ෂයේදී අදාල ආයතනය සතු ලොරි රථයක් පෞද්ගලික ආයතනයක පරිහරණයට ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ ලොරි රථය අමාත්‍යංශයේ රාජකාරි සඳහා යොදවන බවට සටහන් තබමින් සැකකරු විසින් පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති අතර එහි සේවකයින්ට රජයෙන් වැටුප් ගෙවා ඇති බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුතු ද අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔවුන් දෙදෙනා මේ වන විට සැඟව සිටින බව පොලිසිය සඳහන් කළේය.

මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය සිදු කෙරේ….

මාවනැල්ල දනාගමවත්ත ප්‍රදේශයේ දී සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිසේදා කුමාරි කරුණාතිලක මහත්මිය විසින් අද (02) සිදුකරනු ලැබිය.

ඝාතනයට ලක් වූ මාවනැල්ල, දනාගමවත්ත පදිංචි 58 හැවිරිදි කාන්තාව සිය නිවසේ තනිවම සිටියදී පිහියකින් ඇන ඝාතනය කර ඇති අතර, එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි කාන්තාව ද සිය නිවසේ තනිව සිටියදි පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට එහිදී අනාවරණය වී තිබේ.

එමෙන්ම එහි පදිංචි 51 හැවිරිදි පස් දරු පියා ද ඔහුගේ නිවසේ නිදා සිටිය දී මෙලෙස පිහියකින් ඇන ඝාතනය කර ඇති බව හෙළි වී ඇත.

මාවනැල්ල මූලික රොහලේ තැම්පත් කර තිබු මළසිරුරු පරික්ෂා කිරිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට වැඩබලන මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබේ.

කොහුවල වෙඩි තැබීමක්…..

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බෝධියවත්ත ප්‍රදේශයේදී නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

අදාළ වෙඩිතැබීමෙන් 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ වෙඩිතැබීම සිදුකළ නිවසට යාබද නිවස බව වාර්තා වෙයි.

ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන…..

අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත් ගිනිඅවි සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඒ මහතා වෙත ලබා දී ඇති තවත් ගිනි අවි 19ක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදූෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව විමර්ශනවලට අදාළවය.

මදුෂ් නැමැත්තා සතුව තිබී සොයාගත් එම ගිනිඅවියේ අංක පරීක්ෂා කිරීමේදී එය දේවානන්දා මහතා වෙන නිකත් කර තිබූ ගිනිඅවියක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී ගිනිඅවිය අස්ථානගතවූ අකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම මත ඒ මහතා එදින එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ඒ මහතා පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කෙරුණු අතර අද (28) ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු වන ‘ජින්ගා’ අත්අඩංගුවට…..

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු “හීනටියන මහේෂ්” නමැත්තාගේ ඥාතියකු බව පැවසෙන “ජින්ගා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ විමර්ශනයක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී විදේශයක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක් සහ ටී 56 උණ්ඩ 25ක් සොයාගත් බව පොලිසිය පැවසුවා

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩතහනම්….

ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.

එම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන්වනතුරු මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව සඳහන් වේ.

නුගේගොඩ වෙඩි තැබීමක්…..

අද (22) රාත්‍රී 8.30ට පමණ නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබේ.

අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 25 හැවිරිදි තරුණයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් සහ කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.