ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් අත්අඩංගුවට

ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් ගුවහාටි පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇය පැදවූ බව කියන මෝටර් රථයක ගැටීමෙන් 21 හැවිරිදි සිසුවෙක් මියයාමේ සිදුවීමට සම්බන්ධවයි.

පසුගිය 25 වැනිදා දින අලුයම 3.00ට පමණ ගුවහාටිහි දඛින්ගාඕන් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

රංගන ශිල්පිනිය මෙම අනතුර සිදු කර පලා යන ආකාරය ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

අනතුරෙන් පසු, සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ මියගොස් තිබේ.

මියගිය සිසුවාගේ පවුලේ ඥාතීන් සදහන් කළේ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ හිසට දරුණු ලෙස තුවාල සිදුවී ඇති බවත් ඔහුගේ කකුල් දෙකෙහිම අස්ථි බිඳීම් සිදුවී තිබූ බවත් ය

ලලිත් රත්නායකගේ රිවස්ටන් චිත්‍රපටයට ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයක්

ප්‍රවීණ අධ්‍යක්ෂක ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ චිත්‍රපටය 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ Asian New Talent කාණ්ඩයෙන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබෙනවා.

එහිදී හොඳම කැමරාකරණය වෙනුවෙන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රෝෂන් ද හොඳම තිර පිටපත වෙනුවෙන් අධ්‍යක්ෂක ලලිත් රත්නායකද සම්මානයෙන් පිදුම් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

රිවස්ටන් චිත්‍රපටයට ශ්‍යාම් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර සහ රන්දික ගුණතිලක ඇතුළු ළු නිලියන් රැසක් රංගනයෙන් දායක වනවා.

news images

news images

200+; Beyond the Struggle ඡායාරූප ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සංවිධානය කරන මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය හෙට (23) සහ අනිද්දා (24) දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

මලයහ තමිල් ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් ඉක්ම ගොස් ඇති අතර ශ්‍රී ලාංකේය නාමය ලොව ඉදිරියේ සනිටුවන් කිරීමෙහිලා තේ කර්මාන්තය වෙනුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ සිය ශ්‍රමය කැප කරන මලයහ තමිල් ප්‍රජාවගේ ජීවිත සමාජීය, සංස්කෘතික සහ ආර්ථිකමය වශයෙන් තවමත් උසස් තත්ත්වයට පත්ව නොමැති අතර මලයහ තමිල් ප්‍රජාව මුහුණ දෙන ගැටලු, ඔවුන් අත්පත්කරගෙන ඇති සංවර්ධනයන්, ජයග්‍රහණ සහ ඔවුන්ගේ දායකත්වයන් යන තේමා ඔස්සේ මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙසෙන මලයහ තමිල් තරුණ තරුණියන් විසින් ලබාගත් ඡායාරූප කතන්දර 25 ක් (ඡායාරූප 250 ක්) සහ කෙටි වීඩියෝ පට 20 ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.

හෙට උදෑසන 11 ට මෙම ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි.

news images

news images

අපේ සංගීතය ලෝකයට ගෙන යා යුතුයි. සංගීත අධ්‍යක්ෂක- ශබ්ද ඉංජිනේරු සංජුල හිමාල

වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන පිරිස කෙමෙන් කෙමෙන් ඉහළ යමින් පවතී. නිසි අධ්‍යයනයක් ඇතිව, පුහුණුවීමක්, දැනුමක් සහිත එන පිරිස අතර සංගීතය පිළිබද කිසිදු දැනුමක් නැතිව එන පිරිසද ඒ අතර වේ. ඇතැම්හු අය තම මව්පියන්ගේ උරුමයෙන් සංගීත ක්ෂේත්‍රයට පා තබති. තවත් පිරිසක් රියැලිටි වැඩසටහන් වලින් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙති. ඇතැමෙක් විනෝදාංශයක් ලෙස එයට යොමු වේ. කුඩා කල සිටම සංගීතයට ඇලුම් කරමින් තම සහජ දක්ෂතාව වර්ධනය කරගනිමින් සංගීත ලෝකයට පිවිසෙන පිරිසක්ද සිටිති.

එවැනි දක්ෂතා වලින් පිරිපුන් තරුණයෙකු පසුගියදා සරසවිය හමුවට පැමිණියේය. ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙකි. ශබ්ද ඉංජිනේරුවරයෙකි. ප්‍රසිද්ධිය පසුපස හඹා නොයා හිමින් සීරුවේ හරවත් දෙයක් සංගීත ලොවට දායාද කිරීම ඔහුගේ එකම අරමුණයි. ඔහු සංජුල හිමාල. ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ශබ්ද ඉංජිනේරුවරයෙකි.

කුඩා කල සිට සංගීතයට ඇලුම් කල සංජුල සංගීත අධ්‍යක්ෂකවරයෙක් දක්වා ආ ගමන් මඟ ගැන තොරතුරු සරසවිය හමුවේ මෙසේ අනාවරණය කළේය.

මගේ ගම මහනුවර. ඉගෙන ගත්තේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ. මම කුඩා කල සිටම සංගීතයට ඇලුම් කළ කෙනෙක්. සංගීතය මුසුවූ වටපිටාවක මම ජීවත් වුණේ. මගේ මව පෙරදිග සංගීත ගුරුවරියක්. මගේ සංගීත දිවියට ඇගෙන් ලැබුණ ආභාසයත් ඉවහල් වුණා. මම පාසැලේදී හැදෑරුවේ බටහිර සංගීතය. පාසැලේ බාහිර වැඩ වල මම ඉතා උනන්දුවෙන් නිරත වුණා. මම වැඩිපුර සවන් දුන්නෙත් බටහිර ගීත වලට. මයිකල් ජැක්සන්, ක්‍රිස් බ්‍රවුන් වැනි ගායකයන්ට මම ඉතා ප්‍රිය කළා. අ.පො.ස. සාමාන්‍ය පෙළ කාලයේදීම තමයි මම සංගීත අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණේ. පාසැල් යන වයසේදීම මම වෘත්තීය මට්ටමේ සිටින සංගීත ශිල්පින් සමඟ වැඩ කළා.

අ.පො.ස උසස් පෙළ නිමවෙනවාත් සමඟම මම ගීතයක් නිර්මාණය කළා ප්‍රදීප් රංගනට. ඔහු රියැලිටි වැඩසටහනකින් ජයග්‍රහණය කළ කෙනෙක්. ඔහුගේ පළමු ගීතයේ සංගීතය නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඉන්පසු 2014 දී ප්‍රදීප් රංගනගේ ” පෙම් සිහිනේ” ගීතයට තනුව යෙදුවා. එය අතිශයින් ජනප්‍රිය ගීතයක් බවට පත්වුණා. ගීත අසන සංගීත ලෝලීන් මාව හඳුනාගත්තේ ප්‍රදීප් රංගනගේ පෙම් සිහිනේ ගීතය නිසා. ඉන්පසු තරුණ ගායක ගායිකාවන් කිහිප දෙනෙකුටම ගී තනු නිර්මාණය කළා.

ජනප්‍රිය යොවුන් ගායක ධනිත් ශ්‍රී ගායනා කරන පන්දම, සඳගනාව, රෝජා, නිවාලන්න මා, ආදරියේ නෞකාව, එහෙම දේවල් නෑ හිතේ මගේ යන ගීත වලට තනු නිර්මාණය කරන්න මට හැකිවුණා. ඒ වගේම වර්තමානයේ ජනප්‍රිය ගායිකාවක් වන කාංචනා අනුරාධිටත් මම ගී තනු නිර්මාණය කර සංගීතවත් කර තිබෙනවා. උදුරාවී, හදිසිද මන්දා, කාලී ඒ මියුරු ගීතයි. ඒ වගේම රහල් අල්විස් ගයන මගේ සෝ සුසුම් සහ දුලාන් ගයන මන්දීරේ හදේ සහ ශෝභාවී යන ගීත නිර්මාණත් කළේ මා විසින්. යොවුන් ගායක ධනිත් ශ්‍රී සඳහා තනුව සහ සංගීතය කළ පන්දම ගීතය 2014 දී අතිශයින් ජනප්‍රිය වුණා.

මම ගීතයකට තනුව සහ සංගීතය කරද්දී විවිධ අත්හදා බැලීම් කරනවා. අපි නිතර අලුත් දේ හඳුන්වා දෙන්න උත්සාහ කළ යුතුයි. කාංචනා අනුරාධී ගයන ‘ කාලී’ කියන ගීතයට මම බෙර, යක් බෙරය වගේ දේශීය වාද්‍ය භාණ්ඩ පාවිච්චි කළා. ඇයගේම තවත් ගීතයක් වන උදුරාවී ගීතයත් ජනප්‍රිය ගීත බවට පත්වුණා. එයට මම ඉන්දියානු ආභාසය මුසු කළා. මම නිර්මාණය කරන කිසිම ගීතයකට වෙන ගීතයක් අනුකරණය කරමින් තනු යොදන්නේ නැහැ. නමුත් විවිධ රටවල භාවිතා කරන සංගීත ශෛලීන් භාවිතා කරනවා. කලින් සඳහන් කළ ධනිත් ශ්‍රීගේ පන්දම ගීතය විවිධ සංගීත ශෛලීන් අනුව නිර්මාණය වූවක්. එයට අපේ දේශීය සංගීතය මෙන්ම පොප් යන ශෛලීන් මිශ්‍ර කළා.

මම ගායකයෙක් ලෙසත් ගීත කිහිපයක් ගායනා කරල තියෙනවා. රූරා, දැනුණු ආදරේ, මේ වාරේ, ගැට දොඩම්, ආල ලවන් වැනි ගීත මා ගායනා කළා. මම සංගීත ක්ෂේත්‍රයට ඇවිත් වසර 15ක් පමණ වෙනවා. 2021 දී මගේම ගීතයක් වූ රූරා ගීතය ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත්වුණා. ටෙලිනාට්‍ය කිහිපයකටත් මම තේමා ගීතවලට තනුව සහ සංගීතය යොදා තිබෙනවා. ඒවායින් කිහිපයක් තාම විකාශය වුණේ නැහැ. ඒ වගේම කළුහිම චිත්‍රපටයේ ගීත දෙකකට මම සංගීත අධ්‍යක්ෂණය කළා. එහි ගීත ගායනා කළේ ප්‍රදීප් රංගන සහ මීනා ප්‍රසාදිනී. මා සංගීතවත් කළ චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම දකුණු ඉන්දියානු චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය සඳහා මට ආරාධනා ලැබී තිබෙනවා.

මම මගේ සංගීත කටයුතු කරගෙන යන්නේ මගේම තැනක. අඥචලධද අඥජධපඤඵ නමින් මහනුවර සහ හෝමාගම මගේම ස්ටූඩියෝ දෙකක් පවත්වාගෙන යනවා. මියුසික් වීඩියො ප්‍රඩක්ෂන්, මියුසික් මාකටිං, ආර්ටිස්ට් මැනේජ්මන්ට් වැනි කටයුතු මම කරන්නේ. සංගීත අධ්‍යක්ෂණය වගේම ශබ්ද ඉංජිනේරුවෙක් විදිහටත් මම කටයුතු කරනවා.

අපි සංගීත ක්ෂේත්‍රයට පැමිණි කාලයට වඩා අද තාක්ෂණය දියුණුයි. තමන්ගේ ගීත ජනප්‍රිය කරගන්න සමාජ මාධ්‍ය තියෙනවා. එසේ වුවත් තමන්ගේ ගයන, ගීතයේ ගුණාත්මක බවක් තිබිය යුතුයි. සමහර උදවිය සංගීතය කරන්නේ විනෝදයට. එහෙත් එසේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සංගීතය කියන්නේ. එය පුළුල් විෂයයක්. එය හැදැරිය යුතු දෙයක්. ඇතැම් අය සල්ලී වියදම් කරල ගීතයක් පටිගත කර ගන්නවා. ඉන්පසු එය කෙසේ හෝ ජනප්‍රිය කරගන්නවා. එහෙත් එය පවතින්නේ ඉතාමත් සුළු කාලයයි. කෙසේ ජනප්‍රිය කර ගත්තත් එහි ගුණාත්මකභාවය නැත්නම් එය පවතින්නේ නැහැ. අසන්නන් ගීතයක් අසා තෘප්තිමත් වෙන්නේ නැත්නම් කොතරම් සල්ලි වියදම් කර ගීතයක් හැදුවත් වැඩක් නැහැ. ක්ෂේත්‍රයේ පවතින්න නම් දක්ෂතාවය තිබිය යුතුමයි.

අද හැදෙන බොහෝ ගීත වලට වීඩියෝවකුත් හැදෙනවා. එය ගීතය ජනප්‍රිය වෙන සාධකයක් බවට පත්වෙලා. ඇතැම් මියුසික් වීඩියෝ ප්‍රමිතියෙන් උසස්. නිර්මාණශීලියි. ඒත් ඇතැම් ගීත මියුසික් වීඩියෝ නැතිවත් ජනප්‍රිය වෙන අවස්ථා තිබෙනවා. අතීතයේ අපේ ප්‍රවීණයන් ගැයූ ගීත අදටත් අපේ මතකයේ රැඳී තිබෙනවා. රූප රචනය කියන්නේ එක් මාධ්‍යයක් පමණයි. එය ගීතයේ රසය මදක් වැඩිවෙන එක පමණයි සිදුවන්නේ. ගීතයක් ගයන්න විතරක් සූදානම් වුණාට මදි. මුලින්ම බලන්න ඕන තමන් ඒ ගැන තෘප්තිමත් ද කියලා.

අද තාක්ෂණය දියුණු නිසා ඕනෑම දෙයක් කළ හැකියි. හඬ පවා අවශ්‍ය විදිහට සකස් කරන්න පුළුවන්. ඉස්සර එවැනි පහසුකම් තිබුණේ නැහැ. එදා තිබුණේ ටේප් රෙකෝඩින්. එක පාර ගීතය පටිගත කළේ. අද වගේ හඬ හදන්න බෑ. එකල සිටි ප්‍රවීණයන් ගීතයක් පටිගත කර ගන්න ලොකු මහන්සියක් ගන්න ඇති. වික්ටර් රත්නායක , එච්. ආර් ජෝතිපාල , අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ වැනි ගායකයන්ට මම ඉතා ප්‍රිය කරනවා. එදා ලියැවුණ ගීත රචනා පවා අති විශිෂ්ටයි.

මම ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලට තනුවක් යොදා ගීතයක් නිර්මාණය කළා. “සංසාර මාවතේ ” කියන ගීතය. ඒක යුග ගීයක්. මහාචාර්‍ය නිමල් සේනානායක ඇයට සහය ගායනයෙන් සම්බන්ධ වුණා.

මම සංගීත කටයුතු සඳහා නිතර විදෙස් ගතවන කෙනෙක්. ලෝකයේ විවිධ රටවලට මම යනවා. විවිධ මිනිසුන් මට මුණගැසෙනවා. ඔවුන් ලංකාවේ සංගීතය ගැන මා සමඟ කතා කරනවා. පසුගිය කාලයේ ජර්මනියේ ජීවත්වන ශී‍්‍ර ලාංකික ගායිකාවක් වන අනලී අතුරුගිරියට මම ගීතයක් නිර්මාණය කළා. මන්ද මෙසේ නමින්. ඒ ගීතය ජර්මනියේ රසිකයන් අතර ඉතා ජනප්‍රිය වුණා. ඇයට ජර්මනියේ තිබෙන විශාලම රංග ශාලාවක එම ගීතය ගයන්න අවස්ථාව ලැබුණා. විසිදාහක පමණ පිරිසක් එයට සහභාගී වී තිබුණා.

අපේ රටේ ඉන්නවා ඇත්තටම දක්ෂ පිරිසක්. පුදුම හිතෙන දක්ෂතා පෙන්වන කුඩා ළමුන් පවා ඉන්නවා. මම දැක තිබෙනවා සමාජ මාධ්‍යවල එවැනි දරුවන්ගේ දක්ෂතා හුවමාරු වෙනවා. සංගීතය නොමැතිව ඉතාමත් ලයාන්විතව ගායනා කරන කුඩා දරුවන් ඉන්නවා. ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් කළානම් ඔවුන්ට සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම යා හැකියි.

එක රාමුවකට කොටු නොවී විවිධ අත්හදා කිරීම් කරමින් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කළොත් අපේ සංගීතයට අන්තර් ජාතික මට්ටමේ පිළිගැනීමක් ලැබෙනවා.

ඉන්දියාවේ සිනමාව, සංගීතය කර්මාන්තයක් විදිහට පවත්වාගෙන යනවා. ඒත් අපේ රටේ තාමත් ඒ තත්වය උදාවෙලා නැහැ. ගායක ගායිකාවන්, ගී පද රචකයන්, සංගීත අධ්‍යක්ෂකවරයන් අතර ප්‍රශ්න ඇතිවෙන්නේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම නිසා. අලුතින් ක්ෂේත්‍රයට එන ඇතැම් තරුණ ගායක ගායිකාවන් ජනප්‍රිය වෙන්නේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කිරීමෙන්. ඔවුන් ඒ මඟින් මුදල් උපයනවා. ඒ නිසාත් සංගීත ක්ෂේත්‍රයේ විවිධාකාර ගැටලු මතුවී තිබෙන්නේ. පිටරටවල නම් ඒවාට නීති මාලාවක් තිබෙනවා. එමනිසා අපේ රටේත් නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු සිදුවෙනවා නම් අපේ රටේ ගීත කලාව මීට වඩා දියුණුයි.

අපේ සිනමා සංගීතයේත් වෙනසක් ඇතිවිය යුතුයි කියල මම හිතනවා. හොලිවුඩ් , බොලිවුඩ් සිනමාවේ සංගීතය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. අපිටත් පුළුවන් ඒ මට්ටමට පැමිණෙන්න. ලංකාවේ ඉන්නවා දක්ෂ තරුණ ශිල්පීන් රැසක්. සිනමා සංගීතය කියන්නේ වෙනස්ම රිද්මයක්. උත්සාහ කළොත් අපිට පුළුවන් ප්‍රමිතියෙන් උසස් සංගීතයක් සිනමාව සඳහා භාවිතා කරන්න.

මම නිතරම උත්සාහ කරන්නේ මා සතු දැනුමෙන් සහ මා ඉගෙන ගත් දෙයින් සංගීත ක්ෂේත්‍රයට අර්ථවත් දෙයක් ලබා දෙන්න.

මට පසුගිය මාසයේ උතුම් වැඩ කටයුත්තකට දායක වෙන්න ලැබුණා. පසුගිය මාසයේ රටේ මහජනතාවට ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබුණා. මම භාග්‍යවන්ත වුණා ඒ උතුම් කටයුත්ත වෙනුවෙන් ගීතයක් ගායනා කරන්න. මම ආඩම්බර වෙනවා මම මහනුවර ඉපදුණ කෙනෙක් විදිහට එවැනි දෙයක් ඉටුකරන්න ලැබීම ගැන.

මා මුලින් සඳහන් කළාක් මෙන් සංගීතයට මම දැඩි ලෙස ඇලුම් කරනවා. මගේ ආසාවක් තිබෙනවා ගීත ඇල්බමයක් නිකුත් කරන්න. මේ දිනවල ඒ සඳහා සූදානම් වෙනවා. මේ මාසයේ එය එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මම නිර්මාණය කළ මියුසික් වීඩියෝ කිහිපයක් ඉදිරියේදී එළිදැක්වෙන්න තියෙනවා. ලංකාවේ ජනසංගීතය සමඟ ඇෆ්‍රෝ පොප් සංගීතය මිශ්‍ර කරල ගීත කිහිපයක් හදලා තිබෙනවා. ඒ සඳහා මම රැප් ගායකයෙක් සම්බන්ධ කර ගත්තා.

මට මගේ හැකියාවන් වර්ධනය කරගෙන මෙපමණ දුරක් එන්න මගේ පවුලේ අයගෙන් විශාල සහයක් ලැබුණා. මගේ පියා ගිය වසරේ ජීවිතයෙන් සමුගත්තා.

මගේ අම්මා සහ අක්කා ගෙන් සහයෝගයක් ලැබෙනවා. සංගීතය සමඟ දිගටම රැඳී සිටින්න මම බලාපොරොත්තු වෙනවා. මා කෙසේ හෝ අපේ සිංහල සංගීතය නව ආරකින් ලෝකෙට ගෙන යනවා.

අපේ රටට අවශ්‍ය මෙවන් කලාකාමී තරුණයන්ය. දියුණු වෙන ලෝකයත් සමඟ උරෙන් උර ගැටෙමින් නිර්මාණකරණයේ දෙයෙන මෙවන් තරුණයන් ගැන කතා කළ යුතුයි. ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාවට ඉඩදිය යුතුයි. ප්‍රසිද්ධවීමට උත්සාහ නොකරන සංජුල සංගීත ක්ෂේත්‍රයට හරවත් ගුණාත්මක යමක් කිරීමට නොපැකිළව ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා ඔහුට දොරටු විවෘත වී හමාරයි. සංගීත ක්ෂේත්‍රය තුළ විවිධ අත්හදා බලමින් නිර්මාණකරණයේ යෙදෙන සංජුල ඔබට තවත් බොහෝ කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නියැලීමට හැකියාව ලැබේවා.

Copied: https://sarasaviya.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ba%e0%b7%94/

සෝණා හෙට සිට දිවයින පුරා

ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ සෝණා චිත්‍රපටයේ ප්‍රචාරක පටය හා ගීත එළිදැක්වීම පසුගියද නවලෝක ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
මහිතරු නිෂ්පාදනයක් වන සෝණා චිත්‍රපටය වසන්ත කුමාරවිලගේ නිෂ්පාදනයකි.

කෙටි නිහඬතාවකින් පසුව යළි ඇරැඹුණු ගයමු

ලාංකේය ජන ගී සම්ප්‍රදායට නව අරුත් සපයමින් දිවංගත ලයනල් රන්වල සූරීන් විසින් ඉටුකළ විශිෂ්ට මෙහෙවරට සමගාමීව නවමු මංපෙත් ඔස්සේ යමින් වැඩිහිටි පරපුරේ එදා ගීත නූතන පරපුරටද නව පරපුරේ සාරවත් ගීත වැඩිහිටියනටද හඳුන්වාදෙන ” ගයමු ” වැඩසටහන ඇතුළු තවත් රසාලිප්ත වැඩ සටහන් රැසක් පසුගිය පෙබරවාරි මාසයේ සිට සෑම මසකට වරක් නිදහස් චතුරශ්‍රයේදි රන්වල පදනම කරළියට ගෙන එයි…

එම ඉදිරි කාර්යයන් පිළිබඳව එම පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහන් රන්වල මහතා සමග කරන ලද සංලාපයකි මේ !

ඔබගේ රන්වල පදනම යටතේ බොහෝ කලාත්මක වැඩසටහන් සිදුකෙරෙනවා…මෙවර ඔබගේ ” ගයමු” වැඩසටහන පිළිබඳව මුලින්ම කතා කළොත්..?

ඔව්… මෙවර බස්නාහිර පළාත් සභාව..රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූ ලිකත්වයෙන් අපේ රන්වල පදනම ජනගත කරන අලුත්ම වැඩ සටහන “ගයමු ” සංගීතමය වැඩසටහන පටන් ගන්නේ..අපි මෙහෙම හිතමු..සමහර අවස්ථාවලදි අපට ඇහෙන දෙයක් තමයි වැඩිහිටි පරපුර අපේ ඊළඟ පරපුර ගැන නගන මැසිවිලි..නව පරපුරේ සිතුම් පැතුම්..ආදිය ගැන..නමුත් වැඩිහිටියනට අමතකයි ඔවුන් ආභාසය ලැබුවේත් ඔවුන්ගේ වැඩිහිටියන්ගෙන් නේද කියන කාරණය..අපි මෙහෙම කියමු..වයසින් 30..40…50 ඉන්න අය සුනිල් ශාන්තයන්ගෙ ගීත චාරිකා යද්දි එහෙම ගයනවනෙ..එයාලගෙ මවුපියන් වැඩිහිටියන් ඒ ගීත ගයපු නිසානෙ එයාලට ඒවා ලැබුනෙණඅපේ වැඩිහිටියන් ඒ බව අමතක කරලා..මවුපියන් ගයද්දි දරුවන් ෆෝන් එකත් එක්ක ඉන්න අවස්ථා තියෙනවා..මේ අපේ වැඩ සටහනින් එකම තැනකදී තම දූ දරුවන් එක්ව පවුලේ ඔක්කොම අයත් එකතුව එකට ගී ගයනවා..වැඩිහිටි හා ළමා දෙපිරිසම එක්ව ගයනවා..

ඒකයි මෙහි විශේෂත්වය..

මේ වැඩසටහන කරළියට ගෙන එන්නේ ප්‍රථම වරටද.?

මේ වැඩ සටහන අපි මුලින්ම කරළියට ගෙනාවේ 2012 මාර්තු මාසයෙදි…ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදි…එහි අධ්‍යක්ෂ බන්දුල ඒකනායක මහත්මයා එය නැරඹුවාට පස්සෙ අපට යෝජනා කළා..මේ වැඩ සටහන මාසිකව ඉදිරිපත් කරමු කියලා..ඉතින්..එතුමාගෙ එම යෝජනාව 2015 දක්වාම අපි මාසිකව කරළියට ගෙනාවා…සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මහත්මියගෙ යෝජනාවක් අනුව අපි මේ වැඩ සටහන නිදහස් චතුරස්‍රයට රැගෙන ආවා..නමුත් කොවිඩ් උවදුරත් එක්කල අපෙ වැඩ සටහන් ඇන හිටියා…

මේ ” ගයමු ” සංගීතමය වැඩ සටහනේ අන්තර්ගතය පිළිබඳව විග්‍රහයක් කළොත්…?

මේ වැඩ සටහන පැරණි ගීත හඳුන්වා දෙන එකක් නම් නෙවෙයි..⁣ග්‍රැමෆෝන් යුගයේ සිට මේ ඒ ඒ යුගය දක්වා ම යුග යුග තුඩ තුඩ රැව්දෙන සිංහල ගී කෙත සදාහරිත ගී…පවුල් පිටින් එක්ව…රන්වල මතු පරපුර සමඟ ගයමු…”

මෙහිදී ගීත ගයන්නේ අපේ රන්වල පදනමේ රන්වල බලකායේ දූ දරුවන් පමණක් නම් නෙවෙයි..ඒ දරුවන් වෙනුවෙන් සහභාගි වුණු සියලුම වැඩිහිටියන්ද දරුවන් සමග එක්ව ගයනවා..එම ගීත ලැයිස්තුව සඳහන් පොත් පිංචක් අප වැඩිහිටියන් අතට දෙනවා…එහිදී ගීත ගැයීම විතරක් නෙවි…ගීත සාහිත්‍යය ගැන..ගීතයේ අන්තර්ගතය ගැන..නිර්මාණයේ වැදගත්කම් ගැන සහ එහි ඇතුළාන්තය ගැන විග්‍රහයක යෙදෙමින් දැනුම්වත් කෙරෙනවා..

මේ වැඩ සටහන්වලදි ගීතයක සාරවත් බව කතා කරන්නට ආචාර්ය නුවන් නයනජිත් කුමාර…බන්දුල නානායක්කාරවසම්…ආචර්ය අජන්තා රණසිංහ..ශ්‍රී නාත් මද්දුමගේ…සිසිර දිසානායක ආදීන් මීට ඉහතදී සහභාගි වී තිබෙනවා…ඒ වගේම රජිව් සෙබස්තියන් ..ජනනාත් වරකාගොඩ…ආදීන් ද විටින් විට මීට එක්වී තිබෙනවා..මේ සඳහා පසුබිම් සංගීතයට ශ්‍රී ලංකා පොලිස් වාද්‍ය කණ්ඩායම..වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව..ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් සහාය ලබාදෙනවා…

රන්වල පදනමේ ගායන ශිල්පිනියන් වන අමන්ද්‍යා උත්පලී..වසන්තා මධුරංගනී..විශාඛා වීරසිංහ…ප්‍රභා දිසානායක ..නිලුපුල් මදුරංගා..සම්මානී යසෝදරා… සමඟින් චිරන්ත රන්වල ..දිලුම් නිරංජ..නඳුන් කුලරත්න..අසංක මීමැඩුම..සංගීත් ගුණරත්න..නිසල් සත්සර..කසුන් දොඹගොල්ල..සුජිත් කුමාර..යන ගායන ශිල්පීන්ද මෙහි ගයති..

තවත් එක් දෙයක් තමයි. පුවත්පත්වල පලවුණානෙ දැක්කොත් පද්මාවතී..වගෙ කාටූන්..එම ගීතයත් මෙහි ගැයෙනවා වගේම මේ දැක්කොත් පද්මාවතී කාටූනය ගැන..එම නිර්මාණකරු කැමිලස් පෙරේරා මහතා ගැන සහ කාටූනය සමාජයට පිවිසියේ ඇයි කියන කාරණයද අප දරුවන්ට ⁣එම ගීතයට සමගාමීව පහදල දෙනවා…

“විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්…” මුතුහර ගීතයද මෙහි ගැයෙනවා..දරුවන් සමග වැඩිහිටියන් එකතු වෙලා…මතකයේ තවමත් ඉතිරිව ඇති..එහෙත් මාධ්‍ය තුළින් නොඇසෙන ගීත මෙයට ඇතුළත්..හැබැයි නිර්නායකයන් නැහැ…එකම පවුලක අව වගේ…පවුලේ කාටත් එකට එක්ව රසවිඳීය හැකි ගීත පමණයි..එතැනදී එම්.එස්..නිහාල් නෙල්සන් ආදීන්ගේ ගීතද තියෙනවා…

නව පරපුරේ ගීත…පිළිබඳවත් ඔබ කතා කළා…?

ඔව්..අලුත් ම ගීත..අලුත් ගීත වූ පමණින්ම නොවෙයි..අර්ථයෙන්..රසඥතාවට සමීප දරුවන් ගයනවා..ඉන් සිදුකරන්නේ අලුත් පරපුරේ අලුත් ගීත ගැන වැඩිහිටියන් දැනුම්වත් කිරීමයි…අලුත් පරපුරේ ගීත වැඩක් නැහැ කියන වැඩිහිටි පිරිසක්ද සිටින නිසා එලෙසින් අප ඉදිරිපත් කරන්නේ…

අලුත් අවුරුදු නිමිත්තෙන් පසුගිය 29 වනදා කොළඹගම අවුරුදු පිළිබඳවත් කතා කරමු…?:

අලුත් සහ පරණ අවුරුදු වැඩ සටහන පසුගිය 29 දා පැවැත්වුණි..අපේ රන්වල පදනම හා එක්ව කටයුතු කරන්නේ ඒ නතභඵ සහ චැනල් අයි. වෝටර්ස් එජ් එකතුවෙන්…

මෙහි ඇති විශේෂත්වය ?

වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැත්වුණ මෙම වැඩසටහනට සමගාමීව මෙහි වැඩ බිම් විනෝද ක්‍රීඩා වගේම රූකඩ මැදිරියක් තිබුණා..එහිදී රූකඩ නිර්මාණය කැරෙන හැටි සියැසින් දැකබලා ගතහැකියි..ලංකාවේ සටන් කලාව අංගම්පොර තව මැදිරියක…වෙද මැදිරියක් තියෙනවා..එයින් සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තබාගැනීම පිළිබඳ දැනුම්වත් වුණා…ඒ වගේම පුත්තලමේ සිරන්බි කුම්බේ වාසය කරන අප්‍රිකානු සම්භවයක් ඇති පිරිසක්ද මෙයට එකතු කළා..ඒ අයට ආවේණික කලා නිර්මාණ ද ඉදිරිපත් කෙරෙනවා ..

රන්වල පදනම පිළිබඳව කීවොත්..?

රන්වල පදනමේ රන්වල බලකායේ ශිල්පීන් සහ ශිල්පිනියන් මෙයට දායක වුණා..මාතර..මහනුවර..මාතලේ..කුරුණෑගල….ගම්පහ..සහ බත්තරමුල්ල අපේගම යන ශාඛාවල මවුපියන්ගේද සහභාගිත්වයෙන් විවිධ නිර්මාණ මීට ඇතුළත් වුණා..ජන ක්‍රීඩා විසිතුරු අංශ පිළිබඳව මහින්ද කුමාර දළුපොත මහතා වෙතින් දැනුම්වත් කළා..

මෙම 29 දා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැත්වුණේ නොමිලේ…ඒ ප්ලස් නාලිකාවේ ප්‍රධානි අසේල ගාල්ලගේ මහතාගේ ආරාධනයකට අනුව රන්වල පදනම මෙය සංවිධානය කළා.. ප්‍රවේශ පත්‍ර නොමිලේ.

රන්වල පදනම පසුගිය අප්‍රේල් 5 වනදා 4.0 ⁣ෆෝ සීරෝ ” තාල සංචාරය ගැන ද කීවොත්…?

අන්තර්ජාතික සම්භාවනාවට පාත්‍ර වූ විශිෂ්ට තාල වාද්‍ය ශිල්පී රඛිත වික්‍රමරත්න කලාකරුවාගේ මූලිකත්වයෙන් ඔහුගේ ප්‍රසංගයක් එකක් වෝටර්ස් එජ් හි තුනපහ පරිශ්‍රයේ පැවැත්වුණා…එහිදී රන්වල බලකායේ ගීත වගේම විවිධ තාල භාණ්ඩ අනුසාරයෙන් ඒකාත්මික වන්නේ කෙසේද යන්න පිළිබඳව එයින් කියැවුණා…එම තාල වාද්‍ය කණ්ඩායම සමඟ රන්වල පදනමද ඊට එකතු වුණා..

පසුගිය අප්‍රේල් 5 වැනිදා සවස 5ට තුනපහ පරිශ්‍රයේදී පැවැත්වුණා..

අලුත් අලුත් සිතුම් පැතුම් සමඟින් රන්වල දූ පුතුන් ඉදිරිපත් කරන නවමු ආරයේ වටිනා වැඩ සටහන් සමඟ ඔවුන් හා අත්වැල් බැඳගන්නට වැඩිහිටියන්ටත් බොහොම ආදරයෙන් රන්වල පදනම ආරාධනය කරනවා..

අමල් යශෝමන් ජයසිංහ

සමහරු ද්වේශසහගත ප්‍රකාශත් කරලා තිබුණා

ඉලංගෝ රාම්ගේ ‘කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘නෙලුම් කුලුන’ දැන් දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වෙනවා. රට වැටුනත් කුළුණ කෙලින් යනුවෙන් තේමා පාඨය රැගත් මෙය බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුනේ දේශපාලනික කතා පුවතක් ලෙස සිතාය.නමුත් මෙහි ගැබ් වී ඇති අරුත වෙනස් යැයි සිතෙන්නේ ඒ චිත්‍රපටිය නරඹන පිරිසට පමණයි. වලව් පැලැන්තියට අයත් පියෙකුගේ මරණයත් සමඟ සිදුවී ඇති ශාරිරික ස්වභාවික විපර්යාසයක් හේතුකොට ගෙන මේ ප්‍රස්තුතය නිර්මාණය වී තිබෙනවා. මෙවර අප හා පිළිසදරට එක්වන්නේ එහි රංගනයෙන් දායක වන ප්‍රවීණ සම්මානීය රංගන ශිල්පීනී සුලෝචනා වීරසිංහ.

සුලෝචනා, ඉතින් කොහොමද ජීවීතේ ? මේ දිනවල මොකද කරන්නේ?

හොදින් ඉන්නවා.රගපෑම් කටයුතු සම්බන්ධයෙන් ගත්විට වේදීකා නාට්‍ය 3කට සම්බන්ධ වෙලා ඉන්නවා. 2024 වසරේදී රාජ්‍ය නාට්‍ය උලෙළේ විශිෂ්ටතම නාට්‍ය ඇතුළුව සම්මාන 8 ක් දිනාගත් චාලක රණසූරියගේ “සඳුදා වැටෙන්නේ සිකුරාදාට ” නම් වේදීකා නාට්‍ය සමඟ රටවටා යනවා. 2016 දී රාජ්‍ය නාට්‍ය උලෙළේ විශිෂ්ටතම නාට්‍යය ඇතුළු සම්මාන 10ක් ලැබූ චාමික හත්ලහවත්තගේ ” රජා මං වහලා ” නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. කංචුකා ධර්මසිරිගේ “තට්ට ගායිකාවට ” සම්බන්ධ වෙලා වැඩ කරනවා. තව වේදිකා නාට්‍ය 2 ක පුහුණු වීම් වල නිරතව ඉන්නවා. ඒවා තවම මුල් අදියරේ පිටපත්

කියවීමේ ඉන්නේ. මේ දිනවල මම ධනංජය කරුණාරත්නගේ “සිහින රඟහල” නම් නාට්‍ය පොකුරේ “චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක් ” කියන කෙටි නාට්‍යය සදහා රංගනයෙන් සම්බන්ධ වෙනවා. මේ දවස්වල මං රඟපෑ “නෙලුම් කුලුන” චිත්‍රපටිය තිරගත වෙනවා.

නෙලුම් කුලුන “ඩාර්ක් කොමඩි” ගණයේ චිත්‍රපටියක්. එවැනි සිනමා පටයකට සම්බන්ධ වෙන්න හිතුනේ ඇයි ?

ඉලංගෝ රාම්ගේ මේ පිටපත වෙනස්ම විදිහේ පිටපතක් කියලා මට දැනුණා. මේක කියවද්දී මුලින්ම මට තේරුණා මේකේ Out Put එක ඉතාම හොඳ එකක් වෙයි කියලා. මෙහි නළුවරණය දැනගත්තට පස්සේ මට මේකට සම්බන්ධ විය යුතුමයි කියලා සිතුණා.

මෙහි ඔබේ චරිතය ග්‍රහණය කරගත්තේ කොහොමද ?

“නෙලුම් කුලුන” චිත්‍රපටයේ බාල පුතාගේ බිරිඳගේ චරිතය තමයි නිරූපණය කළේ.. බාල පුතා මත්පැන් ලෝලියෙක්.. පියාගේ මරණය පිළිබඳ පණිවිඩය එන විටත් ඔහු සිටින්නේ උදෑසන බාර් එකක් අසල පෝලිමක.. චිත්‍රපටය පුරාම බොහෝ තැන්වල ඔහු මත්පැන් පානය කොට සිටි. ඔහුගේ හැසිරීම් සහ ප්‍රකාශ නිසා උද්ගතවන අලුත් තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට අනෙකුත් සියලුම දෙනාට සිදු වෙනවා.ඔහු හා ගොඩනැඟී ඇති සබඳතාවය අනුව හා මා මාගේ චරිතයේ ස්වභාවය ලෙස වටහාගෙන තිබූ කාරණා මත ඒ ඒ තැනට උචිතව සියුම්ව භාව ප්‍රකාශනය කරන්නේ කෙසේද යන්න මා සිතුවා. ඊට අමතරව තරුණ බිරිඳක් තමන්ගේ ස්වාමීපුරුෂයාව මාමණ්ඩිට සාපේක්ෂව කියවනවා. මේ චිත්‍රපටියේ තමන් අපේක්ෂා කරන අඹුසැමි ජීවිතයේ තෘප්තිය, ඒ වගේම අතෘප්තිකර තැන් කොහොමද සමහර දෙබස්වලින් සහ මුහුණේ ඉරියව් වලින් එළියට දාන්නේ කියන තැන් පිටපතේ සමහ‍ර දර්ශන වලින් ගොඩනගලා තිබුනා. මං කොහොමද ඒක සියුම් විදිහට අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වන ආකාරයට, නිර්මාණවලට අවැසි වෙන විදිහට ඉස්මතු කරන්නේ යන අභියෝගය මට තිබුණා.

මෙම සිනමාපටයෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

පසුගිය දවස්වල සිනමා පටයේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ අනුව අපි සිනමා ශාලා කිහිපයකට ගියා. එහිදී අපිට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. සමහර අය චිත්‍රපටිය දෙවන වර නරඹන්න ආපු අය, තෙවන වර නරඹන්න ආපු අය පවුල පිටින්ම එක්කරගෙන ආපු අවස්ථා තිබුනා.ඉතින් ඒ පිළිබඳ ඉතාමත් සතුටුයි.

මේ චිත්‍රපටිය ගැන ගොඩාක් දෙනා අතර රාවයක් ගිහින් තිබුණා.

මේ චිත්‍රපටිය ඉන්දියාවේ දමිළ චිත්‍රපටියක Remake  එකක් ඉලංගෝ රාම් කරලා තියෙන්නේ කියලා. සමහර අය ඇත්තටම නොදැනුම්වත්ව කතා කරලා තිබුණේ. සමහර අය දන්නේ නෑ “Perusu”  නමින් කරපු දමිල චිත්‍රපටියෙත් අධ්‍යක්ෂකවරයා ඉලංගෝ රාම් බව. ඔහුගේ Original  චිත්‍රපටිය තමයි සිංහල මාධ්‍යයෙන් කල ” නෙලුම් කුලුන ” චිත්‍රපටිය. දමිළ මාධ්‍යයෙන් ඉන්දියාවේ කරපු චිත්‍රපටිය තමයි “Perusu” . ඒක අධ්‍යක්ෂණය කළේ ඉලංගෝ රාම්. දැනට මෙය හින්දි වලින් Remake  කරන්න කටයුතු ලෑස්තියි. ස්පාඤ්ඤ, ඉතාලි සහ ඇමරිකාව වැනි රටවල් මේ චිත්‍රපටිය Remake  කරන්න ලෑස්තියි. පළමුවතාවට තමයි ලංකාවේ චිත්‍රපටියක් විදේශයන්හි ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒක සතුටට කාරණාවක්.

“නෙලුම් කුලුන” නැරඹු අයගෙන් ඉහළ ඇගයීමක් වගේම සමාජ මාධ්‍යවලින් කොටස් පමණක් නරඹා විවේචනය කරන ඇතැම් පිරිස් සිටිනවා.ඔබේ අදහස දැනගන්න කැමතියි ?

චිත්‍රපටියක් සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිබෙන විචාරකයින් පමණක් නෙවෙයි වර්තමානයේ සමාජ මධ්‍ය හරහා පොදු ප්‍රේක්ෂකයාටත් පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ අදහස්, උදහස් කලා නිර්මාණ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න. චිත්‍රපටි වලට අදාළව පමණක් නෙමෙයි සමාජයේ සිද්ධවෙන ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් සිය අදහස් පළ කිරීම අපි වර්තමානයේ සමාජ මාධ්‍ය තුළින් සුලභව දකිනවා. පසුගිය දිනවල අපගේ නෙලුම් කුලුන චිත්‍රපටියේ ඇතැම් කොටස් පමණක් නරඹා ඇතැමුන් මෙය චිත්‍රපටියක්දවත් නොදැන විවිධ අදහස් පළ කර තිබුණා. සමහර තැනක ඊට රංගනයෙන් දායක වූ අපට පවා ද්වේශ සහගත ප්‍රකාශ කරලා තිබුණා. නමුත් චිත්‍රපටය නරඹපු කිසිවෙකුත් එය අයහපත් නිර්මාණයක් ලෙස කියනවා මා දුටුවේ නැහැ. බොහෝ දෙනා දෙතුන්වර චිත්‍රපටිය නරඹා තිබීම විශේෂත්වයක්. සමහර චිත්‍රපට ශාලාවල වසර දහයකට පසුව 9.30 දර්ශන වාරයක් සංවිධානය කර තිබුණා. ඒ වගේම 11.30 ට දර්ශන වාර සංවිධානය කරපු සිනමා ශාලා තිබුණා. බොහෝ අවස්ථාවල බොහොමයක් ප්‍රේක්ෂකයන්ට පළමුවර තමන්ගේ අසුන වෙන් කර ගැනීමට නොහැකි වූ අවස්ථා තියෙනවා. එක් දිනක දර්ශන වාර 83 ක් හවුස්ෆුල් වී තිබුණා. කර්මාන්තයක් විදිහට ඉතාමත් සතුටු විය හැකි මොහොතක් මේය.

ටෙලිනාට්‍යවල නිතර දකින්න නැත්තේ ඇයි ?

ටෙලි නිර්මාණවල මා නිතර දකින්නට නොලැබෙන්නේ මා ඒවාට නොයන නිසා නෙමෙයි මට ටෙලි නිර්මාණ ඉතාම අඩුවෙන් ලැබෙන නිසා. ලැබුණත් යම් යම් ගැටලු සහගත තත්ත්වයන් නිසා ඒවාට නොයන්නට සිද්ධ වීමයි. එසේ මා හට ටෙලි නිර්මාණ අඩුවෙන් ලැබෙන්නේ ඇයි කියන දෙයට මේ වන විට මා පැමිණ ඇති නිගමනය නම් මාගේ ගෙවීම් කේවල් කිරීමට මගේ ඇති අකැමැත්ත ප්‍රධාන සාධකයක්. ගෙවීම් ගැන ප්‍රශ්න නොකරන, අඩුමුදලට රඟපෑමේ නියැළෙන බොහොමයක් අය ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න විට මම වැනි රංගන ශිල්පීන් ට කොහොමත් වැඩ අඩුයි.. අනෙක් කාරණය ටෙලි නිර්මාණකරුවන් සිතනවා මා සිනමාවට හා වේදිකාවට පමණක් ඇලුම් කරන කෙනෙක් කියලා. මොකද කීපදෙනෙක් මඟින් විමසලා තියෙනවා ඔයා දීර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නෑ නේද කියලා. ඇත්තටම මම එහෙම දීර්ඝ ටෙලි නාට්‍ය කීපයකට සම්බන්ධ වෙලාත් තියෙනවා. කොහොම නමුත් ටෙලි නිර්මාණ වලට ලැබෙන ආරාධනා අඩුයි..

මේ ක්ෂේත්‍රයට ඔබ අවතීර්ණ වුණේ කොහොමද ?

මම කැලණිය සරසවියේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අධ්‍යයන කටයුතු කරමින් ඉන්න කාලේ තමයි මට රංගනයට අවතීර්ණ වෙන්න මුලින්ම අඩිතාලම වැටුණේ. මගේ නේවාසිකාගාරයේ, එකම Room  එකේ සිටි මිතුරියක් වන ලක්ෂි චන්දිමා ඇගේ නාට්‍ය හා රංග කලා විෂයට කළ යුතු ප්‍රායෝගික පරීක්‍ෂණයක් වෙනුවෙන් කළ කෙටි නාට්‍යයකට හදිසියේ මට කතා කරනවා රඟපාන්න ඇගේ නිළිය එයින් ඉවත්වීම නිසා. නමුත් මම මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා මට රඟපෑමට හැකියාවක් නොමැති බව පවසමින්. කොහොම හරි ඇගේ “පෙම්වතා නැතිවෙලා” කියන කෙටි නාට්‍ය ඇය මාව සම්බන්ධ කරගන්නවා. 2005 අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලට සමගාමීව පැවැති අන්තර් විශ්වවිද්‍යාලයීය කෙටි නාට්‍ය තරගාවලියේදී හොඳම සහාය නිළියට හිමි සම්මාන සහතිකය මට මගේ පළමු රංගනයට ලැබෙනවා. 2005 වසරේම තමයි මම සෝමලතා සුභසිංහ මහත්මියගේ කෝට්ටේ ළමා හා යොවුන් රඟහල පදනමට සම්බන්ධ වෙන්නේ නාට්‍ය වැඩමුළුවකට. එතුමිය තමයි මගේ රංගනයේ මුල් ගුරු. “විකෘති” ඇතුළු ඇයගේ සියලුම ළමා නාට්‍යවලට මා රංගනයෙන් සම්බන්ධ වුණා. පසුව කෞශල්‍යා ප්‍රනාන්දුගෙන් මම රංගනය ඉගෙන ගන්නවා. කෞශි අක්කගෙ  Work Shop එකේදි තමයි මට ප්‍රසන්න මහගමගේ මුණ ගැහෙන්නේ. ඔහුව අදටත් මගේ Acting Coach විදියට මම හඳුන්වන්න කැමතියි. කෞෂි අක්කාගේ නිෂ්පාදනයෙන්  Work Shop එක අවසානයේ “ග්ලැඩියේටර් ප්‍රේමය” කියලා Drama එකක් කරනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසන්න මහගමගේ හා නාමල් ජයසිංහයි. රාජ්‍ය හා යෞවන සම්මාන උළෙලවල මෙම නාට්‍ය හොඳම නාට්‍ය ඇතුළු සම්මාන රැසක් දිනා ගන්නවා. මගේ රංගනය වෙනුවෙනුත් රාජ්‍ය නාට්‍ය උළෙලදි හොඳම නිළිය ලෙස මා නිර්දේශ වෙනව. කැමරාවක් ඉදිරියේ මගේ මුල්ම රංගනය 2005 වසරේ මගේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මට Senior  ජීවන්ති මැණික් අක්කා කරපු Short Film  එකේ කළ රංගනයයි.

නිළියක් වීමේ සිහිනයක් පුංචී කාලේ ඉදන්ම තිබුණාද ?

රංගන ශිල්පිනියක් වීමේ ආශාවක් මට කුඩා කාලයේ මගේ හිතේ තිබුණේ නෑ. නමුත් මගේ තාත්තා වගේම අම්මත් කලා රසකාමීන්. ගීත රසවිඳීන්න, ගීත අහන්න ගීත ගායනා කරන්න කැමැති අය.මගේ අම්මටත් ගායන හැකියාවක් තියෙනව. තාත්තත් පාසලේ කවි ගායනා තරග වලට සම්බන්ධව හිටපු කෙනෙක්. මගේ පුංචිත් ඒ කාලේ හරියට නන්දා මාලනී මහත්මිය වැනි අයගේ ගීත කැසට් පට අහනවා. මම ඒ කාලේ ඉඳන්ම එතුමියගේ ගීතවලට ආසයි. මගේ තාත්තා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළේ. වරක් සමස්ත ලංකා රාජ්‍ය සේවක නාට්‍ය තරගාවලියේදී මගේ තාත්තා හොඳම නළුවාට හිමි සම්මානය ලබනවා ඔවුන් කළ නාට්‍යයට. තාත්තා අපිව නාට්‍ය චිත්‍රපටි බලන්න එක්ක යනවා. තාත්තත් එක්ක ගිහින් මම බලපු පළවෙනි චිත්‍රපටිය “සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා”.. මේ ආභාෂයන් මට රංගන ශිල්පිනියක් වීමට අවිඥානිකව හිතේ අදහසක් රෝපණය කරන්න ඇති. අවුරුදු 14, 15 කාලයේ මගේ සිහිනය වුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට..

රංගන ශිල්පනියක් නොවුණානම් ඔබ කිනම් ක්ෂේත්‍රයක් තෝරගනීවිද?

මං හිතන්නේ කෙනෙක්ට විය යුතු දේ කොයි මොහොතේ හරි මොනයම් හෝ හේතුවකින් නිර්මාණය වෙනවා. එය හරියට විශ්වීය දෙයක් වගේ. මං හිතන්නේ අපි එකිනෙකාට වෙනම සැලැස්මක් විශ්වයේ තියෙනවා කියලා. අපේ මේ ජීවිත කාලය හෝ වෙනත් කාලයක අප කළ කී දෑ අනුව ඒ සැලැස්මේ දේවල් එහෙ මෙහෙ වෙනවා කියලා. කෙනෙක් උපතින් යම්කිසි දෙයකට සුවිශේෂී හැකියාවක් අරගෙන එන්න පුළුවන්. නමුත් එය මතුකර ගැනීමට තමන් දක්ෂ විය යුතුයි. ඒවගේම එය උත්සාහයෙන් ප්‍රගුණ කළ යුතුයි. කොහොම උනත් රඟපෑම කියන විෂය මම කිහිප තැනකින් හැදෑරුවා.එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද දවසේදී මා කෙනෙක් කියනවා නම් සාර්ථක රංගන ශිල්පිනියක් කියලා ඒ පසුබිම හැදෙන්නේ. ඔබ අසන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු නිසා මෙසේ කියන්නම්. යම්කිසි කෙනෙක් යම් තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ එයා ඒ තැනට පත් විය යුතුව තිබුණ නිසයි. කොහොම වුණත් මම ජන සන්නිවේදන විෂය උපාධියට හැදෑරූ නිසා අනිවාර්යයෙන්ම මම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක නියැළෙන්න තිබුණ මුල සිටම. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේදී මා ස්වර්ණවාහිනි ආයතනයේ මාස නවයක පුහුණු වැඩසටහන් නිෂ්පාදිකාවක් විදිහට වැඩ කළා. නුග සෙවණ වැඩසටහන් හතක හෝ අටක නිවේදිකාවක් ලෙස කටයුතු කරා. මේ අත්දැකීම් එක්ක මම මුල සිට රංගන ශිල්පිනියක් නොවුනා නම් මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙක්. කොහොම නමුත් උපාධිය රැගෙන වසර අටකට පසුව මම තාත්තාගේ ඉල්ලීමට රජයේ රැකියාවකට අයදුම් කරනවා . ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී තනතුරට බඳවා ගැනීමට තිබූ විභාගයකට සහ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව 2014 අවුරුද්දේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මම රාජ්‍ය සේවකයෙක් විදියට බැඳෙනවා. වසර නමය හමාරක සේවකාලයෙන් පසු මා දැනට පස් අවුරුදු නිවාඩුවක ඉන්නේ.

ඔබ මුලින්ම රංගනයට අවතීර්ණ වුණේ වේදීකාවෙන්.එදා පාසැල් වේදීකාවේදී රංගනයෙන් දායක වෙලා තියෙනවාද ?

මගේ පියා සමාජශීලී කෙනෙක්. ඔහු ගමේ සණස සමිතිය, සුබ සාධක සමිතිය වැනි සමිතිවල සභාපතිත්වය සහ වෙනත් තනතුරු දරමින් කටයුතු කළා. ගමේ පන්සලේ ද ප්‍රධාන දායකයෙක් විදියට කටයුතු කල නිසා දහම් පාසල මූලික කරගෙන පැවැත්වූ භක්ති ගීත, වෙසක් නාට්‍ය වගේ දේවල්වලට දරුවෝ විදියට එකල මම ද සම්බන්ධ වුණා. මා ප්‍රාථමික අධ්‍යාපනය හතර වසර දක්වා ගමේ පාසලෙන්ද පසුව සාමාන්‍ය පෙළ දක්වා හෙට්ටිමුල්ල බණ්ඩාරනායක ජාතික පාසලෙන් සහ උසස් පෙළ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවෙන් ලබා ගත්තා. පාසලේදී

විවිධ ප්‍රසංග සඳහා කුඩා නාට්‍ය කොටස්වලට සම්බන්ධ වුණා.

A/L  සදහා ඉතිහාසය, සංගීතය සහ සිංහල කියන විෂයන් තමයි මම හැදෑරුවේ. 2001 වසරේදී අප සමස්ත ලංකා ගී නළුව තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගත්තා. මෙවැනි දේවල් හැරෙන්න පාසලේදි මා නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරලා නැහැ.

ලක්ෂිත ප්‍රසාද් වීරසේන අධ්‍යක්ෂණය කළ “පෙටුනියා” කෙටි චිත්‍රපටියෙහි “මල්කී” මුදලට විකිණෙන සරාගී චරිතයක්.එවැනි චරිතයක් ආත්මීකරණය කර ගැනීමේදී ඔබට දැනුනු හැගීම් මොනවාද?

පිටපත් රචකයා සිය පිටපතේ ගොඩනංවා තිබූ චරිතය සහ අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වූ චරිතය සහ පිටපත කියවීමෙන් මා වටහාගත් මල්කී නැමති ජීවත්වීම පිණිස සිය සිරුර විකුණන තරුණියගේ චරිතය සම්මිශ්‍රණයක් ලෙස ගොඩනගන්න මං උත්සාහ කළා. ඇය සිය සිරුරෙන් පහස ලබාගෙන ඇයව ප්‍රශ්න කරන Free Thinking  පිරිමින්ව සහ සමස්ත සමාජයම සෘජුව සහ විවෘතව ප්‍රශ්න කරනවා. පිළිතුරක්,විසදුමක් නැතුව ප්‍රශ්න පමණක් ම තමන්ගේ ජීවිතයට ගෙනෙන මිනිසුන්ට තම විරෝධත්වය ඇය ප්‍රකාශ කරනවා. මල්කීගේ මේ චරිත ස්වභාවයන් රැගත් ඇතුළාන්තයේ හැඟීම් පරිස්සමට එළියට ගේන්න මම උත්සාහ කළා. Youtube තුළ නැරැඹුම් වාර මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට “පෙටුනියා” කෙටි චිත්‍රපටිය නරඹා තිබෙනවා. එය සතුටට කරුණක්.

මල්කීලා වැනි අයගේ ජීවීතවලට සමාජය හරහා විය යුත්තේ කුමක්ද යන්න ඔබේ අදහස දක්වන්න.

“පෙටුනියා” කෙටි චිත්‍රපටියේ “මල්කී” වැනි තරුණියන් නියෝජනය කරන්නේද අප ජීවත්වන සමාජයේම එක් කොටසක්. ඇය කරන්නේ ලෝකයේ ඉපැරණිතම වෘත්තිය. ලෝකයේ බොහොමයක් රටවල් නීතියෙන් ම මෙම වෘත්තිය කරගෙන යෑමට අවසර දීලා තියෙනවා. ලංකාවේ තවමත් එය නීතිගත නැහැ. කෙසේ නමුත් ඉල්ලුම ඇති නිසා සැපයුම සැපයීමට ඕනෑ තරම් වෘත්තිකයන් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මෙය විශාල සමාජීය ප්‍රශ්නයක් අපට පෙන්නනවා. නමුත් බොහෝ විට එය කතා කරන්නේ මෙම වෘත්තියේ නියැළෙන පිරිස ඉලක්ක කරගෙන පමණයි.”ඇයි ඔයා මේක අත ඇරලා කසාදයක් බඳීන්නැත්තෙ. හොඳ ජීවිතයක් ගතකරන් නැත්තේ” කියන ප්‍රශ්නය මල්කිට යොමු කළාට එයට විසඳුමක් ලබාදීමට සමාජයට නොහැකි වී තිබෙනවා. එසේ ප්‍රශ්න කරන පිරිමින් ම ඔවුන් සොයාගෙන පැමිණෙනවා. මෙය සමාජයීය ප්‍රශ්නයක් විදිහට මතුකර පෙන්වීම නිර්මාණකරුවා විසින් සිදු කර තිබෙනවා.

ඔබ රගපෑ චරිත අතරින් ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානය යොමු වුනේ කුමන චරිතයටද?

වේදිකාවේ නම් “ග්ලැඩියේටර් ප්‍රේමය” කියන වේදිකා නාට්‍යයෙන් තමයි ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් බොහොමයක් මගේ රංගන ධාරිතාව අඳුනා ගත්තේ. එම නාට්‍ය නරඹපු ප්‍රේක්ෂකයෝ අදටත් ඒ ගැන කතා කරනවා.එය 2010 වේදිකාගත වූවක්. මේ දිනවල “සඳුදා වැටෙන්නේ සිකුරාදට” වේදිකා නාට්‍යයේ චරිතයට ප්‍රේක්ෂකයින් ගේ පැසසුම ලැබෙනවා. ටෙලි නාට්‍යවල නම් 2010 කළ “සිහින පුරය” ටෙලි නාට්‍යයේ පින්කිගේ චරිතයට සහ පසුකාලීනව තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ “ලොක්කී” නමින් කළ චරිතයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. එම චරිතට මා දෙවරක් හොඳම සහාය නිළියට හිමි සම්මානයත් ලබා ගත්තා. සිනමාවේ නම් මා කළ සියලුම චරිත කතාබහට ලක්වනවා. “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටියේ “චිත්‍රාංගනී විජේරවීර ” ලෙස කළ රංගනයට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. මේ දිනවල තිරගත වන “නෙලුම් කුලුන ” චිත්‍රපටියටත් යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ජීවීතේ ආපසු හැරී බලද්දී අද දවස පිළිබඳ ඔබ තෘප්තිමත් ද ?

ඔව් අනිවාර්යයෙන්ම.. මම මගේ ජීවිතය දිහා හැරිලා බලද්දි තෘප්තිමත් විය හැකි ජීවිතයක් මං ගත කරලා තියෙනවා කියල මට සතුටු වෙන්න පුළුවන්. ජීවිතයේ යම් යම් මොහොතවල් වල පෞද්ගලික ජීවිතයේ හෝ වේවා වෘත්තීය ජීවිතයේ වේවා මට මුහුණ දීමට සිදු වූ කලකිරීම් සහගත තත්ත්වයන් හෝ හිත් රිදෙන තත්ත්වයන් පිළිබඳ ව නැවත නැවත සිතමින් ජීවිතය කළකිරවගන්නේ නැතුව ඉස්සරහට යන්න කැමති චරිතයක් මං. අපි අත්දැකීම් තුළින් තමයි ජීවිතය ඉගෙන ගන්නේ. ඒවා අපිව පෝෂණය කරනවා. ජීවිතය අත්හරින්නට පවා තරම් සිතෙන තදබල මානසික කම්පනයන් සම්බන්ධතාවයන් තුළ අත්විඳ තිබුණත් ඒවාම පන්නරය කර ගනිමින් ජීවිතයට ශක්තිමත්ම මුහුණ දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. මගේ ශක්තිය ගැන, ආත්ම විශ්වාසය ගැන මම සතුටුයි. ධනාත්මකව දේවල් දෙස බලමින්, අවබෝධයෙන් යා යුතු ගමනක් ලෙසට මා මේ ජීවිතය තේරුම් ගනිමින් ඉන්නවා. සතුට කිසි ලෙසකින් පිටතින් සෙවිය හැකි දෙයක් නොව තමන්ගේ ඇතුළාන්තයෙන්ම ගොඩනගා ගත යුතු දෙයක් බව අවබෝධ වෙමින් පසු කරන ජීවිතයක් තමයි දැන් මට තියෙන්නේ.

ඉදිරීයේදී දියණිය කලාවට යොමු කරන්න කැමැත්තක් තියෙනවාද?

ඇය කැමති නම් පමණක් රංගනය සඳහා ඇයව යොමු කරනවා. ඇයත් හැදෑරීමක් ඇතුළේ ගමනක් යනවා නම් තමයි මමත් කැමැති. මෙතෙක් ඇය රංගනයට කැමැතියි කියලා නැහැ. නමුත් ඇය වේදිකා නාට්‍ය නිර්මාණ නරඹන්න ඉතාමත් කැමතියි. ඇය අවුරුදු එකහමාරේදී පමණ සිටයි මගෙත් එක්ක නාට්‍ය පුහුණුවීම් වලට යන්නේ. ඒ නිසා ඇයට ඒ ගැන කැමැත්තක් ඇති. මා කරන නාට්‍යවල ඇතැම්විට බොහෝ දෙබස් ඇයට මතකයි. මගේ සමහර නාට්‍ය දර්ශන ඇය විසි වතාවක් පමණ නරඹා තිබෙනවා. මේ මෑත දවසක “නරි බෑනා” නාට්‍යය පෙන්නන්න රැගෙන යන ලෙස ඇය කළ ඉල්ලීමට එම නාට්‍යය පෙන්වීමට ලයනල් වෙන්ඩ්ට් රඟහලට මා ගියා. සමහර විට ඇය වේදිකා නාට්‍ය රංගනයට පිවිසේවි. මගේ මිතුරා තිසර ඉඹුලානගේ “මෝඩ තරීදූ” චිත්‍රපටියේ ඇය ඇගේ ප්‍රථම රංගනය සිදුකළා. ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට ගොස් වෙනත් රැකියාවක නියැළෙනවා නම් මම කැමැතියි. කෙසේ වෙතත් ඇගේ කැමැත්තට මම සහාය දක්වනවා.

ඉදිරි අනාගත වැඩකටයුතු මොනවාද ?

මගේ දරුවාට හොඳට උගන්වා යහපත් පුරවැසියෙක් කිරීම වෙනුවෙන් කැපවෙන එක තමයි මගේ ප්‍රධාන අරමුණ. රංගන ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තහම වේදිකා නාට්‍ය නිර්මාණ කිහිපයකින් ඉදිරියේදී මාව දැක ගන්නට ලැබේ වි.තවත් සිනමාපට දෙකක් තිරගත වීමට නියමිතයි.ටෙලි නාට්‍ය කිහිපයකුත් විකාශය වීමට නියමිතයි.

 

වසුන්දරා කුමාරී ධර්මරත්න

Copied: සමහරු ද්වේශසහගත ප්‍රකාශත් කරලා තිබුණා – සරසවිය

21වැනි රයිගම් උලලෙළේ හොඳම නළුවා ප්‍රියන්ත සිරිකුමාර හොඳම නිළිය තරින්දි ප්‍රනාන්දු

2024වර්ෂයේ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන ‘රයිගම් ටෙලීස් 21 වැනි වසන්තය’ ටෙලි නාට්‍යය හා මාධ්‍ය සම්මාන උලෙළ පසුගිය දින ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ,නාට්‍යවේදී , පරාක්‍රම නිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන්

රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන් තියඩෝ, රයිගම් සමූහ ව්‍යාපාරයේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ, අනුග්‍රහකත්වය දැක්වූ ආයතන ප්‍රධානීන් සහ විනිශ්චය මණ්ඩල සභාපති බුද්ධදාස ගලප්පත්ති ඇතුළු සාමාජික සාමාජිකාවන්ගෙන්ද, කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලද්දේ අයදුම්පත් යොමු කිරීමෙන්ය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරැඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලැබිය. උලෙළ සඳහා ඉදිරිපත් වන සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගැයීමට ලක් කර ඇත.

කලින් තීරණය කරන ලද ටෙලි නාට්‍ය හා රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සඳහා වන නිර්දේශ හා සම්මානලාභීන් විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබයි. ජනප්‍රිය හා ජනගත සම්මාන ජයග්‍රාහයකින් ප්‍රේක්ෂක මනාපය මත තෝරා ගැනේ. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය, ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය, ප්‍රේක්ෂක මනාපයෙන් 2025.02.28 දින සිට 2025.03.28 දක්වා තෝරා ගැනිණි. වඩාත්ම ජනගත ටෙලි නාට්‍යය, රූපවාහිනී වැඩසටහන් සහ ප්‍රවෘත්ති විකාශය, දීප ව්‍යාප්ත ජනතා සමීක්ෂණයන් තෝරාගනු ලැබුහ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මඟින් සිදු කෙරිණි .මේ අනුව සම්මාන කුලක හතක් ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, සඳහා පෙබරවාරි 28 වැනි දින සිට මාර්තු 28 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා මත විමසුමට විවෘතව පැවතිණි. මෙවර ජනගත සම්මාන කුලකය, වඩාත් ජනගත ටෙලි නාට්‍යය, ජනගත රූපවාහිනී වැඩසටහන, ජනගත ප්‍රවෘත්ති විකාශය පෙබරවාරි මස 20 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුව තිබිණි. එයින් සුදුසුකම් ලැබු සියලු දෙනාම එම සම්මානයට සුදුසුකම් ලැබුවෝය. සහතිකපත්, කුසලතා 06ක් සහ ජූරියේ විශේෂ ඇගයුම් සම්මාන 58කින් මෙවර සම්මාන උළෙල පැවැත්විය0. ප්‍රණාම සම්මාන 3ක් මෙවර ප්‍රදානය කළ අතර ජීවිතේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උලෙළකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙවර එම සම්මානය ප්‍රදානය කරනු ලැබුවේ ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පිනී අනෝජා වීරසිංහටයි. රූපවාහිනී නාළිකාව ඇගැයීම සහ කලාකරුවන්ට පිදෙන දහසින් බැඳී පියලි සමඟ සම්මාන මූරය අවසන් විය. වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ ප්‍රධාන උලෙළ දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂවත් උළෙල සහ අවසාන සම්මාන රාත්‍රියයි. සියලූම සම්මානලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සහ එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණාවරණයක් සමඟ ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතික පතක් ද පිරිනමනු ලැබිය.

‘කපුටු කොහෝ’

සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනය ගේය පද රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සංගීතමය වේදිකා හා සිනමා පර්යේෂණාත්මක නිර්මාණය ‘කපුටු කොහෝ’ මංගල දර්ශනය ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේ පැවැත්වීමත් සමඟ දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවීම ඇරැඹිණි.

සහෝදරත්වය ජාතික සමගිය හා සහජීවනය මූලික කරගනිමින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය ජන සංගීත නාද රටා හා දේශීය නර්තන රටාවලින් සමන්විත වේ. සාම්ප්‍රදායික වේදිකා නාට්‍යය ශෛලිය හා සිනමා තාක්ෂණය සම්මිශ්‍රණය වූ පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙස මෙය දැක්විය හැක.

අමන්ද්‍යා උත්පලී, හර්ෂණ දිසානායක, අභිලාසි සන්තොස්කි, ඩිලාන් වික්‍රමසිංහ, රංගන දායකත්වය ලබාදෙන අතර රඳීන් රන්දිව්, සනුලි දුල්සේයියා, රුසිරු විදුනිත, සමඟ සිහේලී තූර්යා ළමා රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණයෙන් මහාචාර්ය සමන් පනාපිටිය, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වා බාලසුරිය දායකවන අතර නිෂ්පාදන කළමනාකරණය හා නිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙනි.

චරිත අතලගේ ​ගේ Kuweni ප්‍රසංගය අන්තර්ජාති​ක සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

චරිත අතලගේ ගේ Kuweni the Musical 2024 ප්‍රසංගය WoW Asia Awards හිදී සම්මානයට පාත්‍රවී තිබෙනවා.

ඒ අනුව Innovation in Capturing a Life Style/ Entertainment Event සහ Achievement in Show Running and Stage Management යන සම්මාන කාණ්ඩයන්හි රන් සම්මාන දෙකක් දිනාගැනීමට Kuweni ප්‍රසංගය සමත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී Kuweni ප්‍රසංගයේ ඡායාරූපගතකරණය සහ වීඩියෝගතකරණය, සම්පූර්ණ ප්‍රසංගයේ සැලැස්ම, ප්‍රසංගයේ ගලායෑම, වේදිකා පරිපාලනය සහ කළමණාකරණය වැනි අංග අවධානයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

ලෝ ප්‍රකට සම්මානලාභී සංගීතවේදී A.R රහුමාන්ගේ ප්‍රසංග මාලාවන් සඳහා නිෂ්පාදන කටයුතු කරන BToS Productions මෙන්ම Imagine Dragons, Cigarettes After Sex වැනි අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම්හි ප්‍රසංගයන් නිෂ්පාදනය කරන Lollapalooza India වැනි ප්‍රබල තරඟකරුවන් සමඟ තරග වදිමින් මෙම ජයග්‍රහණය ලබාගැනීම සුවිශේෂියි.