කීරි සම්බා හිඟයට විසඳුමක් ලෙස පොන්නි සම්බා ගෙනෙයි….

2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට නියමිතය.

ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ වනවිට දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, එක් ආනයනකරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව මෙම සහල් ආනයනය සිදුකිරීමට නියමිතය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000ක් වෙයි.

එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය 10%කි. එනම් මෙට්‍රික්ටොන් 246,000ක් පමණ වෙයි.

සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 695ක්

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.

එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 555.6ක් බවය.

ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 140.1ක ඉහළ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇත.

මේ අතර මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා විදෙස් ප්‍රේෂණ තුළින් මෙරටට ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,811.7ක් බවද මහ බැංකුව පවසයි.

එය ගිය වසරේ එම කාලයට තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 4,843.8ක් වන අතර ඒ අනුව මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 967.9ක් ලෙස වර්ධනය වී තිබේ.

තවද සැප්තැම්බර් මාසයේ සංචාරක ආදායම ලෙස ඩොලර් මිලියන 182.9ක් උපයා ගෙන ඇතැයිද එම වාර්තාවේ සඳහන්ව තිබේ.

සංචාරක ආදායම ලෙස වසරේ පළමු වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 738.4ක් උපයාගෙන ඇතැයිද මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇත.

බිත්තර මිල රුපියල් 10කින් පහළට?

බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නවොද් සම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ  මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ මාෆියාව නතර කිරීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බවය.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 18ක මිලකට සහ රතු බිත්තරයක් රුපියල් 20ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නවෝද් සම්පත් බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ වෙළෙඳපොළ හැසිරීම් තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව මෙලෙස එක් පුද්ගලයකුගේ වුවමනාව මත බිත්තර මිල පහත හෙළීම අවධානම් සහගත ක්‍රියාවක් බවය.

මේ අතර ඊයේ දිනයට යෙදී තිබුණු ලෝක බිත්තර දිනය වෙනුවෙන් පැවති වැඩසටහනකට එක් වෙමින් රුහුණු විශ්ව විද්‍යාලයේ පශු විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය ඉදුනිල් පතිරණ මහතා සඳහන් කළේ මෙරට බිත්තර නිෂ්පාදනයේ අතිරික්තය අපනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවය.

රන් මිල නැවතත් ඉහළට…..

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (10) දිනයේ දී එය දැක්වුණේ රු. 305,300ක් ලෙසය.

මේ අතර ඊයේ (10) දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 335,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

IMF 5වන සමාලෝචනයට එකඟත්වය….

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත.

IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 34‍7ක පමණ මූල්‍යකරණයක් හිමිවීමට නියමිතය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ඇතුළු කණ්ඩායම ජනපති හමුවෙයි……

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා පැවසීය.

ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය මුදල් යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ  ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරමින් රටේ ඉදිරි ගමනට සහාය ලබා දෙන බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බලශක්ති ස්ථායීතාව වෙනුවෙන් හරිත බලශක්තිය, හරිත ප්‍රවාහන පහසුකම් ආදි ක්ෂේත්‍රයන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් ඉදිරි සහාය ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

පොලී අනුපාත පහත හෙළීම, උද්ධමනය පාලනය ඇතුළු ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ලබා ඇති ප්‍රගතිය මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික ආර්ථිකයේ ප්‍රතිලාභ රටේ සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

එහිදී රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කරමින් කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවාවක් ඇති කිරීමේ සැලසුම්ද පැහැදිලි කළ ජනාධිපතිවරයා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයිමේදී කෘත්‍රීම බුද්ධිය සහ ඩිජිටල්කරණය පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද පැවසීය. ඒ අනුව ජනතාවට සේවා සැපයීමේදි ගම සහ නගරය අතර දුරස්ථභාවය අවම කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන ගනුදෙනු පහසු කර ගැනීමේ හැකියාවද සාකච්ඡාවට ලක් විය.

පිරිවැය අවම වූ විදුලි සැපයුමක් සහිත කලාපයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා විදේශ ආයෝජන කැඳවා ගැනීමේදී දත්ත මධ්‍යස්ථානයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත්,  කෘෂිකර්ම, ධීවර ආදි ක්ෂේත්‍රයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙළක් රජය සතුව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව ප්‍රතිසංස්කරණ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කළේය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය ව්‍යාපාරවලින් ලද රු. මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරයට භාරදෙයි….

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරවලින් ලද රුපියල් මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරය වෙත භාරදී තිබේ.

අද (07) දින පාර්ලිමේන්තුවේ දී කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට මෙම ලාභාංශය නිල වශයෙන් භාර දී ඇත.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශවලින් කොටසක් මෙලෙස භාරදුන් බව සඳහන්ය.

ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් ආයතනයේ වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල මහතා රුපියල් මිලියන 500ක මුදලක් පසුගිය මාස 9 කාලයේදී ලැබූ ලාභාංශවලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුනි.

මෙම වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 5ක ආදායම් ඉලක්කවලට යාමට උත්සාහ කරන බවද වැඩබලන සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

BCC Lanka Limited ආයතනය වෙනුවෙන් එහි සභාපති H.A. ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා රුපියල් මිලියන 50ක් තම ආයතනයේ ලාභාංශවලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුන් අතර එහි විශේෂත්වය වන්නේ BCC ආයතනය දිගින් දිගටම පාඩු ලැබූ නිසා ඈවර කිරීමට නියමිතව තිබූ ආයතනයක් වීමය.

එලෙසින් ම මෙම ආයතනය මේ වන විට මෙම වර්ෂය තුළ මිලියන 105 ක ස්ථාවර තැන්පතු රැස් කර ඇත.

ජාතික ලුණු සමාගම වෙනුවෙන් එහි සභාපති ගයාන් වෙල්ලාලගේ මහතා රුපියල් මිලියන 100ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබාදුන් අතර වර්ෂය මුල් භාගයේදී රට ලුණු හිඟයකට මුහුණ දී තිබූ දුෂ්කර අවධියක් ගතකළ තත්ත්වයක ජාතිය ලුණු සමාගම ඉතිරි මාස 6 ක කාලය තුළ තම සමාගම උපරිම තලයකට රැගෙන සමත් වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඉතිහාසයේ උපරිම නිෂ්පාදන ආදායමක් මෙම වර්ෂය අවසානයේ ළඟාකර ගත හැකි වනු ඇති බවයි.

ලංකා පොස්පේට් ආයතනය වෙනුවෙන් මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා සහභාගි වූ අතර එතුමා ඉදිරි සතිය තුළ රුපියල් මිලියන 100ක් භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවත් ඉතිරි ලාභාංශ තම ආයතනයේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන බවත් ප්‍රකාශ කළේය.

ලංකා ග්‍රැෆයිට් ආයතනය වෙනුවෙන් එහි සභාපති P.V.A හේමලාල් මහතා මෙම අවස්ථාවට සහභාගි වූ අතර එතුමන් රුපියල් මිලියන 7.4 ක මුදලක් භාණ්ඩාගාරයට මීට පෙර ලබා දී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය භාණ්ඩාගාරයට මුදල් ලබා දී තිබුණේ වසර 14කට පසු වීමයි.

මෙම ලබාදුන් මුළු මුදල්වල එකතුව රුපියල් මිලියන 757.4 කි.

මෙම එකතුව අර්ධ වාර්ෂික ලාභාංශයකින් ඉදිරිපත් කළ මුදලක් වන අතර ඉදිරි කාලය තුළදී පූර්ණ ලාභාංශ තුළින් මුදල් ලබාදීමට හැකියාව පවතින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික යථාවත් වීම තවමත් අසම්පූර්ණයි – ලෝක බැංකුව…..

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මේ දක්වා අසම්පූර්ණව පවතින බවත්, ආර්ථික වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බව ද ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන කිරීම් (SRI LANKA DEVELOPMENT UPDATE) පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කරමින් ලෝක බැංකුව මේ බව සඳහන් කරයි.

මෙම වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ඉක්මන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වඩාත් කාර්යක්ෂම, වඩා හොඳින් ඉලක්ක කරගත් රාජ්‍ය වියදම් කිරීම් අවශ්‍ය වනු ඇති බවය.

අද (07) නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම් නවතම වාර්තාවට අනුව 2025 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.6%ක වර්ධනයක් වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර සිටී.

කෙසේවෙතත් මෙය 2026 වසරේ දී 3.5% ක් දක්වා මන්දගාමී විය හැකි බව ලෝක බැංකුව පෙන්වා දේ.

රන් මිලේ දැනෙන වෙනසක්….

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.290,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 283,000ක් ලෙසය.

මේ අතර සෙනසුරාදා රු. 306,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 314,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ජයග්‍රාහී මාවතක…..

ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට 5%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.

එහිදී කොසැක් මහත්මය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවය.

තවදුරටත් අදහස් දැක්වූ කොසැක් මහත්මිය,

“ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මට කිව හැකි දේනම් එය අඛණ්ඩව ආකර්ෂණීය ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. උද්ධමනය තවමත් අඩු මට්ටමක පවතින අතර, රජයෙන් ආදායම් රැස්කිරීම වැඩිදියුණු වෙමින් පවතිනවා. 

ඒ වගේම ජාත්‍යන්තර සංචිත එකතු වෙමින් පවතිනවා. 2024 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කැපී පෙනෙන ජයග්‍රහණයක්. 

අයවැයේ ආදායම්-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 2022 පැවති 8.2% සිට 13.5% දක්වා වැඩිදියුණු වෙලා තිබෙනවා. එය සැලකිය යුතු වැඩිවීමක්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝදුරට සම්පූර්ණ වෙලා තිබෙනවා. 

සමස්තයක් ලෙස වැඩසටහන් කාර්ය සාධනය ඉතා ශක්තිමත් බව කිව හැකියි. රජය විස්තීර්ණ අරමුදල් වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින බවත් කිව හැකියි. 

විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි පස්වන සමාලෝචනය පැවැත්වීම සඳහා අපේ කණ්ඩායම දැන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව පස්වැනි සමාලෝචනයේ කාලවකවානු පිළිබඳව අපේ කණ්ඩායම ඉදිරියේදී දැනුම් දේවි” ඇය පවසයි.