පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය පනී

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර්  බිලියනය ඉක්මවා ගොස් තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,033.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයකි.

මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වය වන්නේ, හුදෙක් පොල් ගෙඩි පිටරට පැටවීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන (Value-added products) කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමය.

මේ යටතේ දියරමය පොල් කිරි, වර්ජින් පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල් (DC), ඇක්ටිවේටඩ් කාර්බන් (Activated Carbon) සහ කොකෝ පීට් (Coco Peat) වැනි නිෂ්පාදන සඳහා ඉහළ ගෝලීය ඉල්ලුමක් නිර්මාණය වී ඇත.

මේ වන විට මෙරට සමස්ත අපනයන ප්‍රමාණයෙන් 7.2% ක්ම නියෝජනය කරනු ලබන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්ය.

මෙම සාර්ථකත්වය පොල් කර්මාන්තකරුවන්ගේ සමූහ අධිෂ්ඨානයත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවල සම නායකත්වයෙන් කළ උත්සාහයෙනුත්, විශේෂයෙන්ම දේශීය නාස්තිය අවම කර අපනයන වෙත පොල් යොමු කිරීමේ විද්‍යාත්මක අවශ්‍යතාව තේරුම් ගත් ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගයත් වැදගත් විය.

අනාගත ඉලක්ක සහ තිරසාර වර්ධනය රජයේ ඉදිරි සැලසුම් අනුව 2030 වසර වන විට පොල් ක්ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක අපනයන ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කර ඇත.

මේ සඳහා දීර්ඝකාලීන පියවරක් ලෙස “උතුරු පොල් ත්‍රිකෝණය” ස්ථාපිත කර ඇති අතර, එහි අක්කර 16,000 ක් ද ඇතුළුව සමස්තයක් ලෙස අලුතින් පොල් අක්කර 36,000ක් වගා කිරීමේ කටයුතු සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් එම පියවරවල ප්‍රතිඵල දැක ගත හැක්කේ මධ්‍යම හා දිගු කාලීනව වුවද කෙටි කාලීන වශයෙන් දේශීය පරිභෝජනය රටා වෙනස් කිරීම වෙනුවෙන්, ගෘහස්ථ මට්ටමේදී පොල් භාවිතය වඩා කාර්යක්ෂම කර ගැනීම (පොල් වතුර, පොල් කටු, පොල් ලෙලි), දෛනික පරිභෝජනය සඳහා විකල්ප නිෂ්පාදන භාවිතයට ගැනීම (පිටි හා කිරි), දේශීය නාස්තිය අඩු කිරීම සඳහා සරල තාක්ෂණ භාවිතය මෙන්ම පොල් අපනයනකරුවන්ට නැවත අපනයනය සඳහා පමණක් සීමා කරමින්, පොල් කිරි සහ පොල් ගෙඩි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට අවසර ලබා දීම වැනි තීරණ කිහිපයක් රජය විසින් ගන්නා ලදි.

මෙලෙස ආනයනය කළ ප්‍රමාණය ඉතා සීමිත වුවද, මෙම කාලෝචිත ප්‍රතිපත්ති තීරණය මඟින් දේශීය වෙළඳපොළේ හිඟයක් ඇති නොවීමටත්, එකවරම අපනයන කර්මාන්තයේ ගමන්මග ආරක්ෂා කිරීමටත් හැකි වී තිබේ.

මෙම සාර්ථකත්වය පොල් කර්මාන්තකරුවන්ගේ සමූහ අධිෂ්ඨානයත්, වැවිලි හා ප්‍රජා යටිතලපහසුකම්  අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සමනායකත්වයෙන් කළ උත්සාහයෙනුත්, විශේෂයෙන්ම දේශීය නාස්තිය අවම කර අපනයන වෙත පොල් යොමු කිරීමේ විද්‍යාත්මක අවශ්‍යතාව තේරුම් ගත් ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගයත් වැදගත් විය.

කෙසේ වුවද මෙම ඉලක්කය පිළිබඳව 2025 ජනවාරි මස පැවති මාධ්‍ය හමුවක දී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කියා සිටියේ 2025 වසර අවසානයේ ඩොලර් බිලියනය ඉක්මවූ අදායමක් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා හැකි අයුරින් පොල් පරිභෝජන රටාව සහ නාස්තිය අවම කරගන්නා ලෙසත්ය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා…

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීම සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ගෘහස්ථ රැකවරණ, කෘෂිකර්මය, ඉදිකිරීම්, ඇතුළු අංශයන්හි රැකියා සඳහා බඳවා ගැනීමට අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට වරින් වර අත්සන් තබා තිබුණි.

එම ගිවිසුම් යටතේ ඊශ්‍රායලයේ වාණිජ හා සේවා අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවාගැනීමට ඊශ්‍රායලය නිල වශයෙන් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

ඒ අනුව, එම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට හැකි වන පරිදි ගනු ලැබ ඇති පියවර සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබේ.

ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචියට ලබාදී ඇති කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්….

ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචි කිරීමට දෙසැම්බර් 16වනදා දක්වා කර්මාන්ත අමාත්‍යාංශය ලබාදී තිබූ කාලය, ජනවාරි 16වනදා තෙක් දීර්ඝ කරන ලෙස සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා සදහන් කළේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට කර්මාන්ත ක්ෂ්ත්‍රයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවය.

ව්‍යාපාරික ආයතනවලට සහ රටේ ජනතාවට ස්ථීර වශයෙන් ප්‍රාග්ධන ආයෝජනයක් සහ ණය ලබා ගැනීමේ දී සහන පොලී අනුපාතයක් සමග මෙම ව්‍යාපාර ගොඩ නගා ගැනීමට අවශ්‍ය සහයෝග ලබා දෙන ලෙස ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.

එහිදී අදහස් දැක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා,
”විනාශ වෙච්ච ව්‍යාපාර ලියාපදිංචි කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා.. හැබැයි ඒක දෙසැම්බර් 16න් අවසන් වෙනවා.. මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේක ජනවාරි 16 වනදා දක්වාවත් දීර්ඝ කරන්න කියලා මොකද තාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා දිසාපතිවරුන්ට තවමත් සංගණනයක් කරලා මේ සම්බන්ධව එකතු කිරීමක් කරගන්න බැරිවෙලා තියෙනවා.. මුදල් අමාත්‍යංශ ලේකම්වරයත් කියන්නේ තවම මේක දිස්ත්‍රික් ලේකම්ව‍රුන් හරහා ලැබෙමින් පවතිනවා කියලා.. මොකද රුපියල් ලක්ෂ දෙකයි දෙන්නේ.. මම හිතන්නේ නෑ ලක්ෂ දෙක ප්‍රමාණවත් වෙයි කියලා..”

2025 මුල් මාස 11 දී රාජ්‍ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයි….

2025 වසරේ මුල් මාස 11 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,613ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 2,105ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 2,223ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 213ක් ලෙසින් බදු ආදායම් උපයා ඇති අතර වෙනත් වශයෙන් රු. බිලියන 70ක් සඳහන්ව ඇත.

2025 වසරේ මුල් මාස 11 දී තුළ බදු ආදායමට වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වන අතර, එය සමස්ත බදු ආදායෙමන් සියයට 48.2කි.

මෙම කාලය දෙවැනි වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වන අතර, එය සමස්ත බදු ආදායමෙන් සියයට 45.7ක් නියෝජනය කරයි.

මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2025 වසරේ මුල් මාස 11 දී, වාහන ආනයනය හරහා උපයා ඇති බදු ආදායම, රු. බිලියන 410.5ක් දක්වා රු. බිලියන 355කින් ඉහළ ගොස් තිබේ.  2024 වසරේ මුල් මාස 11 හි වාහන ආනයන බදු ආදායම වාර්තා වූයේ රු. බිලියන 54.6ක් ලෙසිනි.

මේ අතර 2025 වසරේ පළමු මාස 11 කාලය තුළ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,945.8 දක්වා සියයට 35.5 කින් ඉහළ ගොස් තිබේ. 2024 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයේ දී එම අගය රු. බිලියන 3,650.9 ක් ලෙසින් වාර්තා වේ.

මෙම කාලය තුළ ආදායම් බදු ආදායම ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින්, 2024 වසරේ පළමු මාස 11 තුළ රුපියල් බිලියන 969.2 සිට 2025 වසරේදී රුපියල් බිලියන 1,096.9 දක්වා සියයට 13.2 කින් ඉහළ ගොස් ඇත.

එමෙන්ම, VAT බදු මඟින් ලැබුණු ආදායම 2024 වසරේ එම කාලය තුළ වූ රුපියල් බිලියන 1,174.0 සිට 2025 වසරේදී රුපියල් බිලියන 1,579.0 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 34.5ක වර්ධනයක් ලෙස සටහන් වේ.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, බදු පද්ධතියේ වැඩි කාර්යක්ෂමතාව, ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩි වීම සහ ආදායම් එකතු කිරීමේ ක්‍රමවේද ශක්තිමත් වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු ලෙස පවතින බවය.

රන් මිල රු 7,000කින් ඉහළට…..

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

අද (23) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,485  දක්වා ඉහළ ‍ගොස් ඇත.

මෙරට රත්‍රං මිල ඊයේ (22) දිනයට සාපේක්ෂව රුපියල් 7,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 325,600ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 344,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 352,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්…..

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන සඳහා වූ අපනයන ආදායමත් එක්ව ඩොලර් මිලියන 15776.36 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.

2025 නොවැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52 කි.

එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.56% වාර්ෂික වර්ධනයකි.

මේ පිළිබදව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, 2025 ජනවාරි සිට නොවැම්බර් කාලය තුල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 15776.36 ක් වූ බවත්, එය වාර්ෂිකව ශක්තිමත් වර්ධනයක් පිළිඹිබු කරන බවත්ය.

ප්‍රධාන වෙළඳපොළවල් යථා තත්ත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය අවධාරණය කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම වර්ධනය ගෝලීය වෙළදාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒකාබද්ධ වීමත්, වෙළදපොල අවස්තා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරිමට දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වය ඉස්මතු කරයි.

අපගේ අපනයනකරුවන් වෙනස්වන ගෝලිය වෙළදපොලට අනුවර්තනය වන ආකාරයත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත් මෙමගින් නැවතත් පෙන්වා දී ඇත.

2025 නොවැම්බර් මාසය අවසන් වන විට වාර්ෂික අපනයන ඉලක්කයෙන් 86.3%කට වඩා වැඩි ප්‍රමාණයක් ළඟා කර ගැනීම ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රජාවේ ශක්තිය හා කැපවීම පිළිබඳ පැහැදිලි සංකේතයක් බව ද ඔහු අවධාරණය කළේය.

නොවැම්බරයේ උද්ධමනය පහළට…..

2025 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ දී 2.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 නොවැම්බර් මාසය සඳහා 2.4% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2025 ඔක්තෝම්බර් මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ දී   3.6% ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම, 2025 ඔක්තෝම්බර් මාසයේ දී 1.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ දී 1.5% ක් ලෙස නොවෙනස්ව පවතී.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉතිහාසගත ආදායමක්…

2025 වසර සඳහා රජය විසින් ලබාදුන් රු බි 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය සපුරාලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වන අතර, ඉදිරි දින කිහිපය තුළ එය තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ සඳහා ඍජු සහ වකු බදු ගෙවන්නන් දැක්වූ ආදායකත්වයට රජය සහ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදාළ නිවේදනය මඟින් ස්තූතියද පුදකර ඇත.

දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය ඩොලර් බිලියන 4.1ක් – ලෝක බැංකුව කියයි….

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන්  මෙරට ගොඩනැගිලි හා ඒවායේ  අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතලපහසුකම්වලට සිදුකර ඇති භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් බවට ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකු සමූහය විසින් අද (22) දින ප්‍රකාශයට පත් කරන ලද Global Rapid Post-Disaster Damage Estimation (GRADE) වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයකට සමාන වනු ඇති බවයි.

මෙම වාර්තාවට අනුව වැඩිම හානිය මධ්‍යම පළාතෙන් වාර්තා වන අතර එය ඩොලර් මිලියන 689ක් ලෙසින් ඇස්තමේන්තු කර ඇත.

එසේම මාර්ග, පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය ඩොලර් බිලියන 1.735ක් ලෙසින් ගණනය කර ඇති අතර එය සමස්ත හානියෙන් 42%ක ප්‍රමාණයකි.

ලෝක බැංකුව පවසන පරිදි නේවාසික ගොඩනැගිලිවලට මෙම දිට්වා ව්‍යසනයෙන් සිදුව ඇති හානිය ඩොලර් මිලියන 985කි.

මේ අතර වී, එළවළු, වෙනත් වාණිජ භෝග, පශුසම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සිදුවී ඇති හානිය ඩොලර් මිලියන 814ක් ලෙසින් වාර්තා වේ.

මේ අතර රෝහල්, පාසැල්, ව්‍යාපාරික ස්ථාන, මහාපරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 562 ක් ලෙසින් ගණන් බලා ඇත.

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට…..

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වූ අතර ඒ හේතුවෙන් මේ දිනවල එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතියි.

උඩරට එළවළුවලට සාපේක්ෂව පහතරට එළවළු මිල සැලකිය යුතු ලෙස දෛනිකව ඉහළ යන බවක් දැකගත හැකි බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල දර්ශනයට අනුව ඊයේ වනවිට පිටකොටුව, දඹුල්ල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක් රුපියල් 600ත් 800ත් අතර සිල්ලර මිලකටත් තක්කාලි කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර සිල්ලර මිලකටත් පතෝල කිලෝවක් රුපියල් 600ත් 700ත් අතර සිල්ලර මිලකටත් අමු මිරිස් කිලෝවක් රුපියල් 1100ත් 1200ත් අතර සිල්ලර මිලකටත් අලෙවි වී තිබුණි.

එමෙන්ම වම්බටු කිලෝවක් රුපියල් 550ත් 800ත් අතර සිල්ලර මිලකට අලෙවි වී ඇති අතර කැරට් සහ ගෝවා කිලෝවක් රුපියල් 300ත් 500ත් අතර සිල්ලර මිල ගණන්වල පවතින බව වාර්තා වේ.