මාස 11කට පසු කොළඹ උද්ධමනය ධන වෙයි…..

අඛණ්ඩව මාස 11ක් පැවැති අවධනමන තත්ත්වයෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ධන අගයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 ජූලි මාසයේ පැවැති 03%ක අවධමනයට සාපේක්ෂව 2025 අගොස්තු මාසයේදී 1.2%ක ධන අගයක් වාර්තා කළ බවය.

මේ අතර ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 ජූලි මාසයේදී වාර්තා වූ 1.5% හි සිට  අගෝස්තු මාසයේදී 2.0%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසයි.

2024 සැප්තැම්බර් මාසයේ සිට සෘණ අගයක පැවැති ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනයද 2025 ජූලි මාසයේදී පැවැති 1.2ක අවධමනයට සාපේක්ෂව 2025 අගෝස්තු මාසයේදී සියයට 0.8ක ධන අගයක්ද වාර්තා කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

සංචාරක කර්මාන්ත අංශයට අදාළව 2026 පූර්ව අයවැය සාකච්ඡාවක්…..

සංචාරක කර්මාන්ත පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ ජනපති අනුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

2026 වසරේ සංචාරක ‍ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතු බවත් එහිදී ජනාධිපති සඳහන් කළේය.

නුවරඑළිය, අනුරාධපුර, මහියංගනය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන ලෙස ද මෙහිදී ජනපති විසින් ව්‍යාපාරිකයන්ට ආරාධනා කර ඇත.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම ක්‍රියාවට නංවන බවය.

ASPI ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි…

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ දී ඒකක 21,000 සීමාව ස්පර්ශ කිරීමට සමත්විය.

දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 21,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වනු ඇත.

අද පෙරවරු 11.00ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ.

ඒ වන විට පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 203.71 කින් ඉහළ ගොස් ඒකක 21,003.97ක් ලෙසින් සටහන්ව තිබුණි.

මහ බැංකුවේ 75 වන සැමරුමට රු 2,000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ….

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2,000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් ලෙස මෙය නිකුත් කර තිබෙන අතර, මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුවයි.

ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු කරමින් “සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන සංවත්සර තේමාව අනුව මෙම මුදල් නෝට්ටුව නිකුත් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්.දවුලගල, සහකාර අධිපති කේ.ජී.පී.සිරිකුමාර, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිපති පී.ඩී.ආර්. දයානන්ද යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඩොලර් සංචිත වැඩි කරගන්න ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේදී පැවැත්විණි.

සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමටත්, ආර්ථිකයෙහි යම් ස්ථාවරත්වයක් ඇති කිරීමටත් ශ්‍රී ලංකා රජය මේ වන විට සමත් වී ඇති නමුත් රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ඉතා වැදගත් වන ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීමේ අභියෝගය ජය ගැනිම සඳහා ව්‍යාපාරිකයන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

එහිදී ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජය, ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදුකළ යුතු බවද පෙන්වා දී ඇත.

ආර්ථිකයට තිරිංග යොදා සීමා කළ නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද මෙහිදී අවධාරණය කළේය.

ආනයන සීමා ලිහිල් කිරීම මඟින් රජය සතු ඩොලර් සංචිතයට සිදුවන බලපෑම වළක්වා ගනිමින් ඩොලර් සංචිත ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අපනයන ආදායම් වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා නිශ්චිත වැඩසටහනක් රජය සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙහිදී තේ, පොල් සහ රබර් යන වගා ආශ්‍රිත අපනයන සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, එහිදී එම ක්ෂේත්‍ර තුළ වර්තමානයේ මතු වී ඇති අභියෝග සහ ගැටලු මෙන්ම, ඒවාට සාර්ථකව මුහුණදීම සඳහා වන යෝජනාද මෙම සාකච්ඡාවට එක් වූ නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසද ඔවුහු එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරුද, තේ, රබර්, පොල් වගා ආශ්‍රිත කර්මාන්තයන්ට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සහ අපනයන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආනයනික අල – ළුෑනු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට….

ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඊයේ (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ආනයනික බොම්බයි ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දමා තිබේ.

මෙම බදු සංශෝධනය ඊයේ දිනයේ සිට මාස 03ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

මෙරට දේශීය අර්තාපල් සහ බොම්බයි ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර සිය අස්වනු සඳහා නිසි මිලක් නොමැති බවට පසුගිය දිනවල ගොවීන් චෝදනා කරනු ලැබීය.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව අයවැය පූර්ව සාකච්ඡාවක්……

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 29 මගින් 2025 අයවැය ප්‍රතිපාදන අනුව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය, එහිදී මතුව ඇති ගැටලු සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

පොල් වගාව සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ඒ සඳහා වාණිජ වගාවන් සහිත ඉඩම් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අලුතින් පොල් වගාවට වඩා පවතින වගාවන්හි ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අවධානය යොමු කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ඌන උපයෝජන සහිත පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින පොල් වතු ප්‍රශස්ත ලෙස උපයෝජනය සඳහා දැනට පවතින නීති, රීති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

එමෙන්ම මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු උපයෝජනය නොවූ ඉඩම් උපයෝජනය සඳහා සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

වතු නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය, වතු යටිතල පහසුකම් සංවර්ධනය, වතු පාසල්හි සුහුරු පන්ති කාමර පිහිටුවීම සහ වතු අංශයේ ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

තේ සහ රබර් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කටයුතු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ලංකා කුරුදු නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ගෝලීය ප්‍රවේශය වැඩි දියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

බස්නාහිර පළාත තුළ කුරුදු වගාව ප්‍රවර්ධනය කිරීම සහ එමගින් ඉහළ ඵලදායීතාවක් මෙන්ම ඉඩම් උපයෝජනය ඉහළ නංවා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට මෙරට නිර්මාණය වී තිබෙන කෘත්‍රිම වෙළෙඳපළ හේතුවෙන් බොහෝ කර්මාන්ත ඌන ධාරිතාවක් සහිත තත්ත්වයට පත්ව ඇති බැවින්, මේ පිළිබඳ නිසි ඇගයීමක් සිදු කර මෙරට කර්මාන්ත සංවර්ධනයට අදාළ උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි ද්වීකරණ අවස්ථා හඳුනාගෙන එසේ හඳුනාගත් ආයතන ඒකාබද්ධ කිරීමත්, ඈවර කළ යුතු ආයතන ඈවර කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම වැවිලි ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම සහ අපේක්ෂිත ඉලක්ක පිළිබඳවද සාකච්ඡාවට බදුන් විය.

iPhone 17 Pro Max සැප්තැම්බර් මුල වෙළෙඳපොළට?

ඇපල් සමාගම විසින්  iPhone 17 Pro Max ජංගම දුරකථනය සැප්තැම්බර් මස මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගෙවුණු වසරේ iPhone 16 දුරකථන මාලාව නිකුත් කිරීමෙන් පසුව, මෙම iPhone 17,iPhone 17 Pro සහ iPhone 17 Pro Max ඇතුළු iPhone 17 මාලාව ඉක්මනින් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කෙරුණි.

මෙම iPhone 17 Pro Maxහි ඇති විශේෂාංග පිළිබඳව නිල වශයෙන් තවමත් සඳහන් කර නොමැත.

මේ අතර ඇපල් සමාගමේ iPhone 17 මාදිලිය ඉන්දියාව තුළ එකලස් කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වෙනුවෙන් ඉන්දීය කර්මාන්ත ශාලා 5ක් සුදානමින් ඇති බවත්, මෙය ඉන්දියාව තුළ iPhone නිෂ්පාදනයක් ලෙස එක්ලස් කිරීමේ කටයුතු සිදුකරන පළමු අවස්ථාව ලෙසත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ජාතික විගණන කාර්යාලය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමැතිය….

ජාතික විගණන කාර්යාලය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

පසුගියදා (19) වනදා රැස්වූ මුදල් කාරක සභාවේ දී ඒ පිළිබඳව සළකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ යෝජනා සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

2018 අංක 19 දරන විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව මෙම සළකා බැලීම සිදුවිය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා 19 වනදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

වැඩබලන විගණකාධිපති ජී.එච්.කේ ධර්මපාල මහතා ඇතුළු ජාතික විගණන කාර්යාල නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ජාතික විගණන කාර්යාලයේ පවතින ගැටලු පිළිබඳව ද අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි..

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විදේශ ව්‍යාපෘති හා රාජ්‍ය ව්‍යාපාර ඇතුළු ආයතන 2000කට ආසන්න ප්‍රමාණයක් විගණනය කිරීම සිදු කරන විගණන කාර්යාලයේ සේවක හිගය, නවීන තාක්ෂණය ඇතුළත් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

වරලත් ගණකාධිකාරී මට්ටමේ උසස් නිලධාරීන් 35ක් පමණක් ජාතික විගණන කාර්යාලයේ දැනට සේවය කරන බවත් වත්මන් වැටුප් තල හමුවේ ගණකාධිකරණ උසස් විභාග සමත් නිලධාරීන් රඳවාගැනීමේ ගැටලුවක් ඇතිබවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.

මීට අමතරව ජාතික විගණන කාර්යාලය යටතේ පළාත් මට්ටමින් කාර්යාල පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැදගත්කම, කෘතීම බුද්ධිය වැනි නවීන තාක්ෂණික අංග යොදා ගෙන අවම සේවක ප්‍රමාණයකින් කාර්යක්ෂමතාව වැඩිකිරීමේ හැකියාව යනාදී කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මුදල් කාරක සභාවේ සාමාජිකයන් වන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්ඡි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

සංස්ථා ලුණු මිල පහළ යයි…..

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දමා තිබේ.

එම සංස්ථාවේ සභාපතිවරයා අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 20කින් මිල පහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30කින් පහළ දමා තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 100ක මිලකට ද කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 200 මිලකට සහ කිලෝග්‍රෑම් 1 කැට ලුණු පැකට්ටුවක් රුපියල් 150ක වැනි මිලකට ලබන සතියේ සිට අලෙවි වනු ඇත.

මේ අතර සතොසෙන් සංස්ථා ලුණු කුඩු ග්‍රෑම් 400 පැකට්ටුවක් රු 90ක වැනි මිලකට ලබාගත හැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හම්බන්තොට මහලේවායේ, බුන්දල ලේවායේ සහ පලටුපාන ලේවායේ ලුණු අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති බැවින් ජනාතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙලෙස මිල ගණන් පහළ දැමූ බව ද සභාපතිවරයා පැවසීය.