A/L උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී ඇති බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් පවසනවා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදුන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් පිළිගත හැකි ප්‍රකාශයක් සිදුකරන තුරු මෙම උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත්වීමේ ක්‍රියාවලිය සිදුකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කරනවා – ගැමුණු විජේරත්න

ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන්, අනිවාර්යයෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අවම ගාස්තුව රුපියල් 35 ක් විය යුතු බවත්, එසේ වැඩි නොවුනහොත් අකමැත්තෙන් හෝ වෘත්තිය ක්‍රියාමාර්ගවලට යෑමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 878 ක් අල්ලයි.

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 878 ක් අල්ලයි.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 649 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 229 ක් සමගින් මුළු සැකකරුවන් 878 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 130g
අයිස් 134g
ගංජා 01kg 200g
මාවා 136g
මදනමෝදක 01kg 100g
මත්පෙති 2,211

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 649 දෙනා අතරින් සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 04 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 15 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 229 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 26 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 03 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 08 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත

නිදහස් දිනය වෙනුවෙන් සුරාසල් වැසේ

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි එම න‍ිවේදනයේ සඳහන් වන්නේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

පේරාදෙණිය තානායම ආසන්නයේදී මෙලෙස පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණෙයි

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කලාපීය ප්‍රධාන කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කොළඹ වරායට එන නැව් සංඛ්‍යාවේ ඉහළ යෑමක්

2024 වසරේ ගත වූ දින 29 තුළ පමණක් නෞකා 330කට අධික ප්‍රමාණයක් කොළඹ වරායට සේන්දු වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ යූ. කුමාර සඳහන් කරනවා.

රතු මුහුද ආශ්‍රිතව පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ කොළඹ වරායට සේන්දුවන නෞකා සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ඉහළ ගොස් තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

එසේම, කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව ද ඉහළ ‍ගොස් ඇති බවත්, පසුගිය දින 29 තුළ පමණක් වරාය අධිකාරියට අයත් පර්යන්තවල සිදු කළ බහාලුම් මෙහෙයුම් ධාරිතාවය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 60.9% කින් ඉහළගොස් ඇති බවයි මෙහෙයුම් අධ්‍යක්‍ෂකවරයා වැඩිදුරටත් පවසන්නේ.

යුක්තියේ මෙහෙයුමට හසු නොවන අවුරා ලංකා තාඹුගල නැවතත් රාජාංගනය වනසමින් සිටින බව ට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර චෝදනා කර සිටී.

 

සජීව චාමිකර මහතා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර එක්ලක්ෂ හාරදහසක් තිස් අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා ගෙන අපනයනය සඳහා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමේ විරංජිත් තාඹුගල නැවත වරක් රාජාංගන යාය 18 ගම්මානයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ව නීති විරෝධී ව වගා බිම් සැකසීම ආරම්භ කර ඇත. පාරිසරික හෝ ඉඩම් අනුමැතීන් ලබා ගැනීමකින් තොර ව රජයට අයත් ඉඩම් හා වනාන්තර බලහත්කාරයෙන් අත්පත් කර ගෙන භූමිය සැකසීම යළිත් වරක් මේ ආකාරයෙන් සිදු කරමින් පවතී.
රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාව පීඩනයට ලක් කරමින් ඔවුන් ගේ වගා බිම් හා කුඹුරු ඉඩම් පමණක් නොව කහඹිලියාපිටිය වැව අත්පත් කර ගැනීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට තාඹුගල ගේ මුදල් මත යැපෙන 456 තුළාන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී ඩී. එල්. ජගත් චමින්ද සිරි විසින් සහයෝගය ලබා දේ. මීට අමතර ව මෙම සමාගමේ නීති විරෝධී ක්‍රියා සියල්ලට ම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර ගේ සහයෝගය ලැබෙන බව ද වාර්තා වේ. මේ සියලු සහයෝගයන් මත තාඹුගල රාජාංගනය යාය 18 ගම්මානය ඔහු ගේ අණසකට නතු කර ගෙන ඇත.
අවුරා ලංකා සමාගම් ජාලයේ සභාපතිවරයා ලෙස පෙනී සිටින විරංජිත් තාඹුගල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා හමුදා බුද්ධි අංශ මගින් පරීක්ෂණ පවත්වා ඔහුගේ සියලු ම නීති විරෝධී ක්‍රියා මේ වන විට අනාවරණය කර ගෙන තිබේ. නමුත් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජිව මහානාම විසින් තාඹුගල ගේ මුදල් බලය මත ඔහු ව අත් අඩංගුවට ගැනීමේ කටයුතු වලට බාධා කරමින් පවතී. මේ නිසා පසුගිය කාලයේ තාවකාලික ව නතර කර තිබූ නීති විරෝධී ඉඩම් සංවර්ධන කටයුතු නැවත වරක් ආරම්භ කර ඇත.
බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ යුක්තියේ මෙහෙයුම දේශපාලන හා ව්‍යාපාරික බලය නොමැති පුද්ගලයන් මත පමණක් ක්‍රියාත්මක වන බව ය. ඒ අතරතුර විරංජිත් තාඹුගල වැනි ජාවාරම්කරුවන්ට යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ගෙන් රැකවරණය ලැබීමෙන් මේ බව තවදුරටත් තහවුරු වේ.
පසුගිය කාලයේ දී එස්. එම්. චන්ද්‍රසේන හිටපු ඉඩම් අමාත්‍යවරයා හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ලැබුණු දේශපාලන රැකවරණය අද වන විට තාබුගල විසින් ලබා ගෙන ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, විජේදාස රාජපක්ෂ ගෙන් හා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ගෙනි. රජරට ගොවි තරුණ තරුණියන් විදේශ රටවල සේවයට යවා ඉඩම් නිදහස් කර ගැනීමට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා හරහා මේ වන විට සැලැසුම් සකස් කර ඇති අතර විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහයෝගය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් ගේ වගා බිම් හා වනාන්තර ඉඩම් අවුරා ලංකා, කෝමාරිකා වගා ව්‍යාපෘතියට ලබා ගැනීමට පියවර ගනිමින් සිටී.
නමුත් මේ සියල්ල සිදු කරන්නේ අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමිනි. විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ ඕනෑ ම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු ය. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ඒ සඳහා ක්‍රියාත්මක වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇත.
අවුරා ලංකා සමාගම මගින් ගොවි ජනතාවගේ ඉඩම්, රජයට අයත් පොදු ඉඩම් හා වනාන්තර ප්‍රදේශ එළිපෙහෙලි කිරීම සිදු කරනු ලබන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23 බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙලි කිරීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භුමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.
අවුරා ලංකා සමාගම මගින් කහඹිලියාපිටිය වැව සංවර්ධනය කර ඇත්තේ ද කිසිදු අනුමැතියකින් තොරව ය. ජාතික පාරිසරික පනතේ 23 බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට්‌ නිවේදනයට අනුව පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්ඡයේ සිට මීටර 100 ක් වටා කලාපය හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු කරණ ක්‍රියාවලියට යටත්ව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය තත්ත්වය ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී.
පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23 අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී එවන් පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත
කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් අද වන තුරු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තාඹුගල ගේ මුදල් බලය ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කිරීමට යොමු වී නොමැත.
පාරිසරික පනත් වලට අමතර ව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුරාවස්තු ආඥා පනතේ 43 අ හා 47 වගන්ති යටතේ ප්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට්‌ නිවේදනයට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම, හෙක්ටයාර දෙකක් ඉක්මවන භුමි ප්‍රදේශ එළි කිරීම, ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම යන සියලු ක්‍රියාවලීන් සිදු කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් අවුරා ලංකා සමාගමේ ව්‍යාපෘතිය සඳහා එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත. එහෙත් අද දක්වා මෙම නීති ක්‍රියාත්මක කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත.
ඒ අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥා පනත යන අණ පනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ කරද්දී මේ ආකාරයෙන් වගකිව යුතු රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටළුවට කරුණකි. මේ අනුව පෙනී යන්නේ නීතියේ සමානාත්මතාව, නීතියේ ආධිපත්‍යය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය රට තුළ සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇති බව ය. මේ නිසා අලි – මිනිස් ගැටුම, ජල අර්බුධ, සමාජ ආර්ථික ගැටළු රැසකට ගොවි ජනතාව ගොදුරු වී ඇත. වත්මන් ආණ්ඩුව සමාගම් හා ව්‍යාපාරිකයන්ට රිසි සේ කටයුතු කිරීමට ඉඩ දී ගොවි ජනතාව වගා බිමෙන් අවතැන් කර දරුණු පීඩනයකට ලක් කරන බව ද මේ මගින් තහවුරුව තිබේ. මේ පිළිබඳ ව ගොවි ජනතාව මෙන් ම සියලු ප්‍රජාව ඉතා හොඳින් අවබෝධ කර ගත යුතු අතර ඊට එරෙහිව කටයුතු කිරීමට පෙරමුණ ගත යුතු ය. එසේ නොමැති වුවහොත් ඉතා කෙටි කාල සීමාවක් තුළ දී ගොවි බිම් හා වනාන්තර යන සියල්ල සමාගම් හා මහ පරිමාණ ව්‍යාපාරිකයන් සතු වීම මත ගොවි ජනතාව අවතැන් වීම වළක්වා ගත නොහැකි වනු ඇත.

WhatsApp Image 2024-01-30 at 20.41.39

සමගි ජන බලවේගයේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාව සඳහා විපක්ෂ නායකවරයාද මේ වන විට එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය ආරම්භ වෙයි

සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව විහාරමහාදේවී උද්‍යානය අසලින් එම විරෝධතාව මේ වන විට ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම විරෝධතා රැළියට එරෙහිව අධිකරණ නියෝග කිහිපයක්ද මේ වන විට ලබාදී තිබෙනවා.