ජනාධිපති සමග පැවති සාකච්ඡා සාර්ථකයි – බැසිල්

පසුගිය 21 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ පවසනවා.

මැතිවරණ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගත් නමුත් අවසන් තීරණයකට එළඹියේ නැති බවද, තම පුද්ගලික අදහස නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (22) රාත්‍රියේ සිය පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.

යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ඇරඹේ

යල කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මේ වනවිට ප්‍රධාන ජලාශ 73 ක ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බවයි එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි සඳහන් කළේ.

මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට

අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව, දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකථන අංකය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළු කරන බවයි ඔහු පවසන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් අදයරට – The Hindu

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙන බවයි ඉන්දියාවේ The Hindu වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවත් කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවය ඉක්මණින් එළඹෙනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියලා මම දන්නවා – මෛත්‍රී

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් අද (22) දින එක් වූ ඔහු අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළකර තිබෙනවා.

එසේම එය රහසිගතව තබා ගැනීමට විනිසුරුවරුන්ගේ කාර්යක් වන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.

කැකිරාවේ රිය අනතුරකින් 12 හැවිරිදි පාසැල් සිසුවෙක් එම ස්ථානයේදීම මරුට.

24-03-21
කැකිරාව කුෂාන් ජයවර්ධන

කැකිරාවේ රිය අනතුරකින් 12 හැවිරිදි පාසැල් සිසුවෙක් එම ස්ථානයේදීම මරුට.
============

කැකිරාව ගනේවල්පොල මාර්ගයේ ඇඹුල්ගස්වැව ප්‍රෙද්ශයේදී අද (21) සවස සිදුවූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 12ක පාසැල් සිසුවකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව බස්තියන් සිල්වා විද්‍යාලයේ 06 වැනි වසරේ ඉගෙනුම ලැබූ කුසල යුගත් සංජීව නම් 12 වැනි වියෙහි පසුවූ පාසැල් සිසුවෙකි. එම පවුලේ එකම දරුවා ද ඔහුය. මිය ගිය සිසුවා කැකිරාව නෙල්ලියගම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අයෙකි.
කුඩා කල සිට ඇඹුල්ගස්වැව මහ විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති මෙම සිසුවා මින් දින තුනකට පමන ඉහතදී කැකිරාව බස්තියන් සිල්වා විද්‍යායට ඇතුළත්ව තිබිණ. පළමු වරට බස්තියන් සිල්වා විද්‍යාලයට ගිය ඉකුත් දිනයේ එහි සිහිවටනයක් ලෙස එම පාසැලේ නිලඇදුමින් සැරසී සිහිවටන ඡායාරෑපයක් ද ලබා ගැනීමට එම සිසුවා කටයුතු කර තිබිණ.
මිය ගිය සිසුවාට කලක පටන් පිය සෙනෙහසද අහිමිව සිට ඇති අතර මව ද කලකට ඉහතදී විදේශ ගතව ඇති අතර එම සිසුවා සිය මිත්තනිය භාරයේ සිට අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට ඇත.
සුපුරුදු පරිදි අද(21) දිනයේ පාසැල් ගොස් ඇති සිසුවා පාසැලේ පැවැති විශේෂ පුහුනු වැඩසටහනකට සහභාගී වීමට ක්‍රීඩා ඇදුමින් සැරසී පාසැල් ගොස් තිබිණ. සිය පාසැල් කටයුතු නිම වීමෙන් පසුව අද සවස පොදු ප්‍රවාහන බස් රථයකින් නිවසට පැමිණීමට එම සිසුවා කටයුතු කර තිබිණ. එලෙස නිවස බලා පැමිණි සිසුවා ඇඹුල්ගස්වැව මංසන්දියේදී බසයෙන් බැස පාර මාරුවීමට ගිය අවස්ථාවේ ගනේවල්පොල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි. සිසුවා පාර මාරුවීමට ගිය අවස්ථාවේ ලොරි රථය එනු දැක ඇති ඒ ආසන්නයේ සිටි කාන්තාවක විසින් දැක ඇති අතර නවතින ලෙස දරුවාට ඒ බව දන්වා කෑ ගසා ඇති බවද පොලිසිය සිදු කළ විමර්ශණවලදී හෙළිව තිබේ. කෙසේ වෙතත් එම අවස්ථාවේ පාර මාරුවෙමින් සිටි සිසුවා ලොරි රථයේ ගැටී ඇවැටී ලොරි රථයට යටවී ඇතැයි පොලිසිය කියයි , ලොරි රථයේ ගැටීමෙන් හා ඊට යටවීමෙන් සිසුවාගේ හිසට බරපතල හානි සිදුව තිබිණ. බරපතල තුවාල ලත් සිසුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ අතර මිය ගිය පාසැල් සිසුවාගේ පාසැල් පොත් බෑගය ද සිසුවාගෙ මෘත ශරීරයෙහි කරෙහි එම අවස්ථාව වනවිටත් දක්නට ලැබිණ..
ලොරි රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය පැදවීම අනතුරට හේතු වී ඇති බව සිදු කළ විමර්ශණ වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර සැලවීමත් සමග ප්‍රෙද්ශවාසී බොහෝ දෙනෙකු එම ස්ථානයට එක්රොක්ව සිටියහ.
අනතුර සිදුවූ ස්ථානයට පැමිණි කැකිරාව මහේස්ත්‍රාත්වරිය විසින් සිසුවකුට මරු කැදවූ එම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබීය. අදාළ සිසුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණක් පැවැත්වීම සදහා සිරුර අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට එහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මිය ගිය සිසුවාගේ මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කරනු ලැබීය.
සිසුවාට මරුකැදවූ මාරක රිය අනතුරට සම්බන්ධ ලොරි රථය හා එහි රියදුරු මේ වනවිට සිදු කෙරෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති රියදුරු මුන්දලම ප්‍රෙද්ශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ලොරි රථයේ රියදුර හෙට(22) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කැකිරාව පොලිසිය පවසයි.
කැකිරාව- ගනේවල්පොල මාර්ගය මෑතකදී අලුත්වැඩියා සිදුකළ එකක් වන අතර එම මාර්ගයේ මාර්ග සංඥා හෝ පදික මාරු යොදා නොතිබීම නිසා මෙවැනි අනතුරු සිදුවන බව මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රෙද්ශවාසීහු පවසති. ඇඹුල්ගස්වැව මංසන්දිය නිරන්තරයෙන් පාසැල් සිසුන් ගැවසෙන ස්ථානයක් වන බැවින් බලධාරීන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළයුතු බව ද එම මාර්ගයේ මාර්ග සංඥා කඩිනමින් යෙදිමට කටයුතු කළ යුතු බවද එම ප්‍රෙද්ශවාසීහු වැඩිදුරටත් පවසති.
ප්‍රෙද්ශය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කැකිරාව පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ මෙහෙයවීම මත කැකිරාව පොලිස් රථවාහන අංශයේ වැඩ බලන ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක බී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන්වරුන් වන 36918- බණ්ඩාරනායක 51535- රාජකරුණා මගින් මෙම අනතුර සම්බන්ධයෙන් වූ වැඩි දුර විමර්ශණ සිදුකරයි.

රත්මලාන ප්‍රදේශයේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් නොහොත් ” රත්මලානේ උපුලා ” නමැත්තා හොරයින් මත්කුඩු ග්‍රෑම් 25 ක් සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය21) සඳහන් කරයි

දර්ශාන් කානිල් ප්‍රනාන්දු – මොරටුව 0773710807
21/03/2024

රත්මලාන ප්‍රදේශයේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් නොහොත් ” රත්මලානේ උපුලා ” නමැත්තා හොරයින් මත්කුඩු ග්‍රෑම් 25 ක් සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය21) සඳහන් කරයි
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු මෙම ජාවාරම්කරු සම්බන්ධයෙන් යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතා සහ පොලිස් කණ්ඩායමක් විසින් රත්මලාන දුම්රිය පොල ප්‍රදේශය වටලා වයස අවුරුදු 40 ක් වන රත්මලාන ප්‍රදේශයේම පදිංචි මෙම සැකකරු මත්ද්‍රව්‍ය සිය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පැරිස් රාජ්‍යයේ සිට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන “පැරිස් අංජු යන අනුවර්ත නාමයෙන් හදුන්වන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංජු නමැත්තාගේ ගෝලයෙකු වන මෙම සැකකරු මත්ද්‍රව්‍ය බෙදාහරින බවත් මීට පෙර විශාල අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර ඇති බවත් ගල්කිස්ස පොලිසිය පැවසීය.
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් පො.සැ.71342- ගුණවර්ධන, පො.කො. 82423 – වීරතුංග, පො.කො. 51568 – උදයංග, පො.කො.රි. 80193 – කුලරත්න යන නිලධාරීන් විසින් විමර්ශණ සිදුකරන බව ගල්කිස්ස පොලිසිය මූලස්ථානය පැවසීය.

WhatsApp Image 2024-03-21 at 16.00.06

අනුරාධපුර- නුවර වැවේ සැකකටයුතු මළ සිරුරක්

24-03-21
කැකිරාව කුෂාන් ජයවර්ධන

අනුරාධපුර- නුවර වැවේ සැකකටයුතු මළ සිරුරක්
===========

ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල සහිත සැක කටයුතු ලෙස මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අනුරාධපුර නුවර වැවෙහි පාවෙමින් තිබියදී ඊයේ(20) සවස සොයා ගත් බව අනුරාධපුර පොලිසි පවසයි.
නුවර වැවෙහි මළ සිරුරක් තිබෙනු දැක ඇති ප්‍රෙද්ශවාසියකු කළ දැනුම් දීමක් අනුව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගල මළ සිරුර සොයාගැනීමට හැකිවූ බව අනුරාධපුර පොලිසිය කියයි.
මියගොස් සිටින පුද්ගලයාගේ වයස අවුරුදු 35ත් 40ත් අතර වන බවට පොලිසිය අනුමාන කරයි. මළ සිරුරෙහි ස්ථාන කිහිපයක තුවාල කිහිපයක් ද දක්නට ඇති බවත්, මිය ගිය පුද්ගලයා කවුරුන්ද කිනම් ප්‍රෙද්ශයක ද යන්න මෙතෙක් තහවුරු කරගැනීමට නොහැකිවූ බවත්, පොලිසිය කියයි.
ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සැක සහිත බැවින්, එම අභිරහස් මරණය සම්බන්ධයෙන් සොය බැලීමට අනුරාධපුර පොලිස් ස්ථානය මඟින් මේ වනවිට පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර පොලිස් සොකෝ ඒකකයේ පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ සිද්ධියට සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කර තිබේ. ඊයේ (20) සවස එම ස්ථානයට පැමිණි අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත ඔහු ඉදිරියේ මළ සිරුර ගොඩ ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණ..
මළ සිරුර පරීක්ෂාවෙන් පසුව හදිසි මරණ පරීක්ෂකවරයා ලබා දුන් නියෝගයක් අනුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණ.
අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ. .

මතුගම, මලබඩ හංදිය අසලදී මාරක රිය අනතුරක් සිදුවී කාන්තා පොලිස් සැරයන්වරියක් මියයි.

මතුගම, මලබඩ හංදිය අසලදී මාරක රිය අනතුරක් සිදුවී කාන්තා පොලිස් සැරයන්වරියක් මියයි.

ගල්පාත චන්දන පෙරේරා

මෙසේ මියගොස් ඇත්තේ කලුතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන ඇට්ටෝරවිල, පුහාඹුගොඩ, දොඩම්ගොඩ පදිංචි කා. පො. සැ.6448 පී. ඩී. දමයන්ති වීරසූරිය නිලධාරීනිය බරපතල තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත. ඒ වනවිට නිලධාරීනිය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත.

මෙම නිලධාරිණිය අද දින(20) සේවය අවසන්කොට නිවස බලා යමින් සිටියදී මලබඩ හංදියේදී බසයෙන් බැස පදිකමාරුවෙන් පාර මාරුවීමට යාමේදී මතුගම දෙස සිට කලුතර දෙසට ගමන් කරමින් තිබූ බූම් ට්‍රක් රථයක සවස 5.30ට පමන ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇත.

බූමූ ට්‍රක් රථය සහ එය පැදවූ රියදුරු මතුගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මාරක රිය අනතුර සම්බන්ධව මතුගම පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත මතුගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඉන්දික මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ පුද්ගලයින් 29ක් අත්අඩංගුවට

ජන අරගල ව්‍යාපාරය අද (20) දහවල් කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් ද වන බවයි වාර්තා වෙන්නේ.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණා.

පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය පිරිස විසුරුවාහැරීම සඳහා ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කළා.