ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 76 වන වියේ පසු වුණා.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි ගීත රැසක් සඳහා ඔහු සිය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.

මෙරට විදෙස් ප්‍රේෂණ ලැබීම් හා සංචාරක ඉපැයීම් ඉහළට – මහ බැංකුව

මෙරට විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා වූ කාලය තුළ විදෙස් ප්‍රේෂණ මිලියන 964ක ප්‍රමාණයක් රටට ලැබී ඇති බවයි අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකුව සඳහන් කළේ.

එසේම ලක්ෂ 2 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට මේ වනවිට පැමිණෙමින් ඇති බවත්, ගෙවුණු මාස දෙක තුළ සංචාරකයින්ගෙන් ඉපැයු ආදායම ඩොලර් මිලියන 687 ක් බවයි මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා දිවයිනට – ආනයනකරුවන්ගේ සංගමය

ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා වනවිට චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඊට අමතරව තවත් ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙරටට ළඟා වන බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

ඒ අනුව ජනතාවට ලොකු ළුෑණු හිඟයකින් තොරව ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කැලණි සරසවි සිසුන් විරෝධතාවක

කැලණිය විශ්වි විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබුණා.

කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම හෝ වෙනත් වාහනයක් විශ්ව විද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහු රෝහල්ගත වීම ප්‍රමාද වු බවයි විශ්ව විද්‍යාල සිසුන් චෝදනා කරන්නේ.

අඛණ්ඩව ජල සැපයුම ලබාදිය හැකි පරිදි කටයුතු කිරීමේ වගකීම ජල පාරිභෝගිකයින් සතුයි – ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල​ය

මුර ක්‍රමයට ජලය ලබාදීම වෙනුවට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දිය හැකි පරිදි කටයුතු කිරීමේ වගකීම ජල පාරිභෝගිකයින් සතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

වියළි කාලගුණ තත්ත්වයක් පවතින මෙම දිනවල ජල පාරිභෝගිකයින් ජලය පරිහරණය කිරීමේදී මනා කළමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කිරීම අතිශය වැදගත් බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ හේතුවෙන් පානීය ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කිරීමට ජල පාරිභෝගිකයින් වග බලා ගත යුතු බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සංවර්ධන, අනෝජා කළුආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයක උණුසුම් කාළගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පළාත් කිහිපයක උණුසුම් කාළගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකල යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එබැවින් දහවල් කාලය තුළ වැඩිපුර ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින්නැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

6600e6e77fa6fpdf_page_1 6600e6e6bc7f9pdf_page_0

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනගෙන් අද දිනයේදී ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනගෙන් අද දිනයේදී ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී මෙම ප්‍රකාශය සටහන් කර ගත් බව ය.

කෙසේ වෙතත්, මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණෙන තුරු බලා සිටි මාධ්‍යවේදීන් මග හරිමින් ඔහු ඉන් පිටව ගිය බව මාධ්‍යවේදීහු පවසති.

57 වන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 06 පැවැත්වෙයි

වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06 දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න සඳහන් කළේ.

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙන්ම 2024 යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙම උත්සවයේ අරමුණ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම දීර්ඝ කෙ​රේ

ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් කළ අතර එය ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස සිය ජන්ම භූමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ අද (24) වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමාමහ පෙළහර පෑම, ශුද්ධෝදන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරිම, රාහුල කුමරු මහණ කරවීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම ද අද වැනි පොහෝ දිනක සිදුව තිබෙනවා.

අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා සංවිධානය කර තිබෙනවා.