මැතිවරණ ප්‍රතිඵල විකාශය වන අතරතුර, පුළුල් තිර යොදා ජනතාව ඒකරාශී කිරීම නීතියෙන් තහනම් – මැතිවරණ කොමිසමේ සභාපති

ඡන්ද දායකයින් විසින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ අවස්ථාව දක්වා නිවෙස්වල රැඳී සිටින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක දන්වා සිටිනවා.

ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ,  රූපවාහිනී හෝ පුළුල් තිර යොදා කණ්ඩායම් වශයෙන් මහා මාර්ගය අසළ එය නැරඹීම නොකළ යුතු බව අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.

මැතිවරණ ප්‍රතිඵල විකාශය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් රතිඤ්ඤා දල්වමින් පාරවල්වල විනෝද වීමද, ආලෝක බැලූන් ගුවනේ පා කර හැරීමද නීතියෙන් තහනම් බවයි ඔහු සඳහන් කළේ.

මෙලෙස එක්රැස්වීම් සියල්ල අයුතු ජන රාශිය යන වරදට යටත් වන බවත්, ඒවා විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධ වන පුද්ගලයින් ගැන ආරක්ෂක අංශ විසින් කටයුතු කරනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට 21 තෙක් තැපැල් කාර්යාලවලින් පත්‍රිකා ලබාගැනීමේ අවස්ථාව

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදාහැරීම මේ වනවිට සියල්ල අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින් සිටී නම්, අද (19) සිට 21 වැනිදා තෙක් තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගන්නා ලෙසයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබාගත හැකි අතර, කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද, හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ දී විවෘත කෙරේ

කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝ මොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කර තිබෙනවා.

මෙය දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව බවත්, මෙම කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27 ක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම කර්මාන්ත ශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66ea6126dd929pdf_page_0 66ea61282064bpdf_page_1

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පීලි පැනීමක් නිසා දුම්රිය ගමනාගමනයට බාධා

පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

කිරුලපන ප්‍රදේශයේදී මෙම දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරය, කොට්ටාව, නුගේගොඩ සහ පිළියන්දල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් එම රැලි සංවිධානය කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල ඇතිවන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පොලීසියෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

66ea53dea3818

66ea53df1a52c

මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන් වෙයි

ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන පුද්ගලයන් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

නිහඬ කාලය තුළ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වැනි ක්‍රියා සිදු කිරීම කළ නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බිනර පුර පසළොස්වක පොහොය දිනය අද

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවත් සඳහන්ව තිබෙනවා.

එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සලකනු ලබනවා.

බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබෙනවා.

ජ’පුර ගැටුම ගැන සජිත් ප්‍රේමදාස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වූ ගැටුම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයින් පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඇති බවට එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිසුන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පැහැදිලිව දන්වා සිටි අදාළ සිද්ධිය, දේශපාලන පක්ෂ දෙකක් අතර සිදු වූ ගැටුමක් බවට ඔවුන් සමාජ ගත කරමින් සිටින අතර එය පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද දායකයින් අතුරින් දහස් ගණනක් නියෝජනය කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බරපතල ලෙස අගතියට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යොමු කළ පැමිණිල්ල පහතින්.

66e7b91228225

ලාංකීය ජනතාව තෝරා පත්කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට සූදානම් – Julie Chung

මෙරට ජනතාව තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට අමරිකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Julie Chung පවසනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ හැකි වැදගත්ම කාර්යය බවයි X පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ.

අදාළ X පණිවිඩය පහතින්.

66e78f66a31a8

කෝටි දෙකක දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පිරවීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව එම ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකුද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ

ඔහු විසින් රැගෙන ආ ගුවන් මලු තුළ දුම්වැටි 120,400ක් අඩංගු දුම්වැටි කාටූන් 602ක් සඟවා ගෙන පැමිණ සිටියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙලෙස සොයා ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.